නර්තනය කියන්නේ ඕනෑම පුද්ගලයෙකු ආමන්ත්‍රණය කළ හැකි, ඕනෑම කෙනෙකුට දැනෙන භාෂාවක්. මේ භාෂාව සිය ජීවිතය කරගත් ඒ වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ කලාකරුවෙක් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නට 'මිරර් ආට්ස්' අපි සුදානමින්. ඔහු නමින් කේසර කපිල පලිහවඩන. ජාත්‍යන්තරය දිනු “නටන්ඩා” නම් සමකාලින නර්තන පර්ෂදයේ නිර්මාතෘ ඔහුයි. නර්තනයේ සියුම් තැන් ස්පර්ශ කරන ඔහු වෙත අපි අපේ පළමු ගැටලුව ඉදිරිපත් කළා.
“නටන්ඩා” කියන්නේ මොකක්ද ? නොදන්නා කෙනෙක්ට දැනගන්නත් එක්ක අපි පැහැදිලි කරමු.
“නටන්ඩා” කියන වචනය හැදිලා තියෙන්නේ භාෂා හතරක් එකතු වෙලා. “න” අක්ෂරයෙන් සංඛේතවත් වන්නේ සිංහල භාෂාවෙන් නර්තනය, “ට” අක්ෂරයෙන් සංඛේතවත් වන්නේ “ටන්ස්”. එය නර්තනය හඳුන්වන ජර්මන් වචනයක්. “න්” අක්ෂරය ගන්නේ ‘ටන්ට්සේවට්’ යන රුසියන් වචනයෙන්. අන්තිමට “ඩා” කියන්නේ ඩාන්ස් කියන ඉංග්‍රීසි වචනයට.
නටන්ඩා සමකාලින නර්තන පර්ෂදය අපි ආරම්භ කළේ 2003 වර්ෂයේ. නමුත් වෘත්තියමය වශයෙන් ස්ථාපිත කළේ 2005 දී. මම ජර්මනියේ සමකාලින නර්තනය හැදෑරුවා. ඉන්පසුව ලංකාවට ඇවිත් 2005 ඉඳලා තමයි වෘත්තියමය මට්ටමින්, ජාත්‍යන්තර වශයෙන් නර්තන ශිල්පින් සහභාගී කරගනිමින් නටන්ඩා ස්ථාපිත කළේ.
නටන්ඩා සඳහා මේ වනවිට දායකත්වය ලබා දෙන්නේ අවුරුදු 14 ක් 15 ක් පමණ මගෙන් පුහුණුව ලැබූ පිරිසක්. උඩරට නර්තනය හැදෑරු සහ හදාරා නැති ළමයින් යන දෙපිරිසම ඒ අතර ඉන්නවා. නර්තනයට ඇති බැඳීම සහ ලැදියාව එක්ක ඔවුන් මා ලඟට ආවේ ඉගෙන ගැනීමේ පරමාර්ථයෙන්. ඔවුන් කුඩා කාලයේ පටන් ගුරුහරුකම් ලබාගෙන ජාත්‍යන්තර මට්ටමට ඇවිත් තියෙන්නේ වසර ගණනාවක පුහුණුවක් ලැබූ නිසා. මගේ පුහුණුව යටතේ ඉගෙනුම ලැබූ විදේශික ජාතිකයන් අපේ නර්තන ආයතනයේ සිටිනවා.
මේ ගෙවුණු වසර ගණනාව ඇතුලත නටන්ඩා සිදු කළ නිර්මාණයන් මොනවද?
අපි වෘත්තිමය නර්තන ශිල්පින් සහභාගී කරගෙන 2005 සිට 2017 දක්වා සෑම වසරකම එක මුද්‍රා නාටකය බැගින් මුද්‍රා නාට්‍යය 12 ක් රඟ දක්වා තිබෙනවා. අපි එහිදී ඇස පිනවීම පමණක් අරමුණු කරගන්නේ නැහැ සමාජයට යම්කිසි පණිවිඩයක් ලබා දෙන නර්තන නිර්මාණ අපි ඉදිරිපත් කළා. මොකබාලෝ, මොගබෝන්, ඉසුකි, රේවන් වැනි නම් වලින් මේ මුද්‍රා නාට්‍යයන් නම් කර තිබුණා.
අපේ වෘත්තිමය නර්තන ශිල්පින් සමඟ ගොළු සහ බිහිරි පිරිසක් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ භාෂාව හරහා නර්තන නිර්මාණයක් 2011 දී සිදු කළා. එහිදී ඔවුන්ට වැඩමුළු පවත්වලා, පුහුණු කිරීමෙන් පසුව නිර්මාණ සඳහා ඔවුන්ගේ දක්ෂතාවයන් සම්බන්ධ කරගත්තේ. අවසානයේදී අපිට ඒ පිරිස ජාත්‍යන්තරයට පවා ගෙන යාමට හැකි වුණා. ඔවුන් ඉන්දියාවේ නර්තන උළෙලකදී සිය දක්ෂතාවයන් ඉදිරිපත් කළා. ඒ ළමයින් එවැනි අත්දැකීමක් ලබාගත්තේ ප්‍රථම වතාවට.
2014 දී අපි “ටච්” නමින් මුද්‍රා නාටකයක් කළා. ඒ සඳහා පාදක වී තිබුනේ කාන්තාවන්ට සමාජයේ විවිධ ආකාරයෙන් සිදු වන අතවර, හිරිහැර පිළිබඳව. අපේ නර්තන පාසලට පැමිණෙන ගැහැණු ළමයින්ට මුහුණ දීමට සිදුවුණු අත්දැකීම් අපි සාකච්ඡා කළා. මේ දේවල් සමහරුන්ට මානසික වදයක් වන තරමටම පීඩනයක් එල්ල කර තිබුණා. අපි මේ සම්බන්ධයෙන් නිර්මාණයක් කරන්නට තීරණය කළේ ඒ හේතුව නිසා. ටච් කියන වචනය විවිධ අර්ථ ගෙන එනවා. වෙනත් විදියකින් බලනවා නම් ටච් කියන දේ ඒ කියන්නේ ආදරය, රැකවරණය නැති වුණාමත් ප්‍රශ්නයක්. මේ සරල වචනය තුලින් පිළිබිඹු කෙරෙන පැති දෙකක් මේ නිර්මාණයෙන් එළිදරව් වුණා. මෙවැනි ව්‍යාපෘතීන් 12 ක් අපි සිදු කළා.
2015 දී අපේ හිත්වල තිබුන ලොකු සිහිනයක් යථාර්තයක් බවට පත් කරගන්නට හැකි වුණා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් 5 ක්: මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ලෙබනන්, ඉන්දියාව සහ කොරියාව සම්බන්ධ කරගනිමින් සමකාලින නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නට අපිට හැකි වුණා. ඒ සඳහා යාපනය, රත්නපුර, මහනුවර සහ කොළඹ යන ප්‍රදේශ වලින් කණ්ඩායම් 6ක් මෙහි ඉදිරිපත් කිරීම් සිදු කළා. නටන්ඩා හරහා ලබාගත් අත්දැකීම් සියල්ල එකතු කරගෙන වෘත්තිමය විදේශ නර්තන ශිල්පින් රැසක් සහභාගී කරගනිමින් තමයි අපි මේ ප්‍රසංගය සිදු කළේ. මේ උළෙල ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දින 5 ක් පුරා පැවැත්වුණා. මේ උළෙල හඳුන්වන්නේ “නැට්ෆෙස්ට්” නමින්.
නැට්ෆෙස්ට් පවත්වන්න ප්‍රධාන අරමුණක් තියෙනවා ද?
නැට්ෆෙස්ට් කියන්නේ නිකම්ම නර්තන උළෙලක් නෙවෙයි. ප්‍රසංගයේ අරමුණක් තමයි බෙදී සිටින ජනතාව කොහොමද එකට එක්කාසු කරන්නේ කියන කාරණය. සංහිඳියාව උදෙසා ජාතින් එකට එක්කාසු කිරීම මෙහි අරමුණක්. විශේෂයෙන්ම කලාකරුවන් ලෙස සියලු දෙනාගේම කලාවන් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම යන කාරණය කෙතරම් වැදගත් ද දේ අපි තේරුම් ගත යුතුයි. වෙන සම්ප්‍රදායන් එකට එකතු කරගෙන අපි වැඩ කටයුතු සිදු කළ යුතුයි. අපිට වෙනත් ජාතින් එකතු කරගෙන කලාවට යම්කිසි දෙයක් කරන්නට ලැබෙනවානම් එය අපේ ආත්ම තෘප්තියක් පමණක් සිමා නොවන්නක්. විදේශිකයන් පවා ස්වේච්ඡාවෙන් මේ සඳහා දායක වෙන්නේ ඒ හේතුව නිසයි. නර්තන ශිල්පින් උදෙසා නර්තන ශිල්පින් නිර්මාණය කරගත් ප්‍රසංගයක් නිසා ඔවුන් අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ප්‍රසංගයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා අඛණ්ඩව තෙවැනි වතාවටත් මේ වසරේ දෙසැම්බර් මසදී උළෙල පවත්වන්න කටයුතු මේ වනවිට සුදානම් කරමින් සිටිනවා.
ඒ කවදා ද?
2017 උළෙල දෙසැම්බර් 7 සහ 8 කොළඹ නාඩා රඟහලේදී පැවැත්වෙනවා. නැට්ෆෙස්ට් සමාරම්භක උළෙල දෙසැම්බර් 1 වැනිදා යාපනයේ දී පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා.
මේ සඳහා නර්තන ශිල්පින් තෝරාගන්නේ කොහොමද?
තෝරාගැනීම් සිදු කරන්නේ වැඩමුළු හරහා. මම නුවර, මඩකලපුව, යාපනය වැනි ප්‍රදේශ වල නර්තන වැඩකටයුතු සඳහා සහභාගී වෙනවා. ඒ හරහා දැන හඳුනාගත් පිරිසක් තමයි බොහෝවිට වැඩමුළු පවත්වන්නට මට ආරාධනා කරන්නේ. වැඩමුළු හරහා මම ඔවුන්ට ගුරුහරුකම් ලබා දෙනවා.
වැඩමුළු සඳහා යාපනය වැනි ප්‍රදේශවල සහභාගිත්වය කොහොමද?
යාපනය වගේ පැතිවල ජිවත් වෙන උදවිය ඔවුන් නොදන්නා විදේශීය දේවල් ඉගෙන ගැනීමේ ලොකු ආශාවකින් පෙළෙනවා. වැඩමුළුවකට ආරාධනා කළාම වෙලාවට කලින් ඇවිත් බලාගෙන ඉන්නවා. සමහර කොළඹ අයට නැති උනන්දුවක් ඔවුන්ට තියෙනවා. එහෙම අවස්ථාවලදී ඇත්තටම කණගාටුවක් ඇති වෙනවා පහසුකම් තියාගෙනත් ඔවුන් උනන්දුවක් නොදක්වන නිසා.
විදෙස් රටවල ඉගැන්වීමේ කටයුතු සිදු කළා ද?
මම දැනට ඇමරිකාවේ විශ්වවිද්‍යාල 5 ක ඉගැන්වීමේ කටයුතු සිදු කර තිබෙනවා. 2012 දී මම ඇමරිකාවේ වෘත්තිමය නර්තන කණ්ඩායමකට නිෂ්පාදනයක් සිදු කළා චක්‍ර යන නමින්. ඒ තමයි ජාත්‍යන්තරයට කළ මගේ පළමු නිර්මාණය. මම ලංකාවේ විශ්වවිද්‍යාල වල නම් ඉගැන්වීම් කටයුතු කරලා නැහැ.
එසේ නොකරන්න විශේෂ හේතුවක් තියෙනවද? කිහිප දෙනකුගෙන් චෝදනා එල්ල වෙනවා ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු කිරීමට අපහසුයි කියලා?
එක අතකින් ඒ චෝදනා සාධාරණයි. මම විශ්වවිද්‍යාල වලට වැරද්දක් කියනවා නෙවෙයි. සරසවිවල ඉන්න නර්තනය සම්බන්ධ ගොඩක් ගුරුවරු ලංකාවේ අධ්‍යාපනය ලබපු, ලංකාවේ නර්තන කලාව පිලිබඳ හොඳ දැනීමක් තියෙන පිරිසක් පමණයි. විදෙස් නර්තන සම්ප්‍රදායන් සම්බන්ධයෙන් හැදෑරීමක් කළ දැනුමක් ඇති උදවිය විශ්වවිද්‍යාල සඳහා දායක කරගැනීමේ දුර්වලතාවයක් තියෙනවා. ඒ උදවිය තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා පමණයි. උදාහරණයක් විදියට ගත්තොත් මම ඇමරිකාවේ විශ්වවිද්‍යාල 5 ක ඉගැන්වීම් කළත් මෙහෙ කවුරුත් ඒ දේ දන්නේ නැහැ. ලංකාවේ සිදු කෙරෙන මගේ නිෂ්පාදන කටයුත්තකට දායක වෙන්න කියලා ඔවුන්ට පැවසුවත් සමහරු ඊට සහභාගී වන්නේ නැහැ. මං කියන්නේ අපි වගේ අයගෙන් ප්‍රයෝජයක් ගන්න එක විශ්වවිද්‍යාලය සතු වගකීමක්. අපි කැමතියි ලංකාව වෙනුවෙන්, ළමයින් වෙනුවෙන් දෙයක් උගන්වන්න.
හැබැයි මම උගන්වන ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම වෙනස්. ළමයෙක් ප්‍රමාද වෙලා පන්තියට එන එකට මම හරි අකමැතියි. මිනිස්සු නර්තනය පහත් කොට සලකනවට මම අකමැතියි. නර්තන ශිල්පියෙක් වශයෙන් මගේ තැන මම තීරණය කරනවා. කෙනෙක් තමුන්ගේ තැන හදාගත යුතුයි යන කරුණ පිළිබඳව මම ළමයින් දැනුවත් කරනවා. එතකොටයි ඔවුන්ට ආත්ම අභිමානයක් ඇතිවන්නේ.
නටන්ඩා අපි සෑම දිනකම පුහුණුවීම් ආරම්භ කරන්නේ උදැසන 8.30 ට. අවසන් කරන්නේ සවස 5 ට. වයස වුරුදු 17 වුනත් 35 වුනත් මගේ ශිෂ්‍යයන් හැමෝම එකවගේ. උදර එළියට නෙරා ගිය අය මගේ නර්තන ශිල්පින් අතරේ නැහැ. උදරය ඉදිරියට නෙරා පැමිණි උදවිය නර්තන ශිල්පින් නෙවෙයි. නර්තන ශිල්පියෙක් විශාල කැප කිරීමක් කළ යුතුයි. ඔවුන්ගේ ජිවිතයම නර්තනය විය යුතුයි. ආහාර ගත්තත් හුස්ම ගත්තත් එය නර්තනයම විය යුතුයි.
ලංකාවේ වෘත්තිමය නර්තනය ගැන මොකද හිතෙන්නේ ?
ලංකාවේ නර්තනය හදාරන සහ රැකියාව වශයෙන් නර්තනය සිදු කරන පිරිසට ගොඩක් උදවිය ගරු කරන්නේ නැති තරම්. ඇයි එහෙම වෙලා තියෙන්නේ ? ඒ දේ නිකන් කුලී වැඩක් කරනවා හා සමාන තත්වයකට වැටිලා. ඒ තත්වයට ලංකාවේ නර්තනය ඇවිත් තියෙනවා. හැබැයි කුලියට නර්තනය කළාට එහි ගුණාත්මක බවක් නැහැ. මම දන්නවා සරසවි ළමයි පවා කුලියට නර්තනය කරන්න යනවා. ඒ ළමයිට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. මොකද ඒ ළමයිට සල්ලි නැහැ.
විදේශ රටක සිදු කරන කිසිම වැඩසටහනකට කුලියට නැටීමේ නර්තන ශිල්පින් ගෙන්වන්නේ නැහැ. වෘත්තිමය නර්තන ශිල්පින් වශයෙන් වෙනම පිරිසක් ඔවුන්ට සිටිනවා. ලංකාවේ එහෙම නැහැ ගොඩ දෙනෙක් නර්තනය කරන්නේ වෙනම රැකියාවක් කරන ගමන්.
සමකාලින නර්තනය ලංකාවට හඳුන්වා දුන්නේ ඔබ?
සමකාලින නර්තනය ලංකාවට හඳුන්වා දුන්නේ මම. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මම නර්තනය ඉගැන්වුවා. හඳුන්වලා දුන්නත්, සරසවිවල සමකාලින නර්තනය ඉගැන්වීමේ ඉඩ ප්‍රස්ථාවක් හදල දෙන්න කවුරුත් උනන්දුවක් දක්වලා නැහැ. ඒ දේ නොකරන්නේ හරි ගුරුවරයෙක් නැති නිසා. ගුරුවරයෙක් හිටියා වුනත් ඔහුට එතනට පිවිසීමේදී ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. මොකද අපේ තියෙන සම්ප්‍රදායික මතවාද නිසා. එක සම්ප්රදායකට කොටු වෙන් නැතුව නර්තනය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ලෙස ලෝකයේ සෑම නර්තන සම්ප්රදායක්ම ඉගෙන ගන්න අවශ්‍යයි. ළමයින්ගේ අවශ්‍යතා හඳුනාගෙන විශ්වවිද්‍යාල සතුව එම පහසුකම් නැතිනම් පහසුකම් ඇති ස්ථානයකට ළමයා යොමු කරන්න ගුරුවරු ඉඩ හදා දිය යුතුයි. ඒ වගේම හරියාකාරව ගුරුවරු සම්බන්ධ කරගැනීම ආයතනික පාලකවරුන් විසින් කළ යුතු දෙයක්.
නර්තනය ඉගෙන ගන්න විශ්වවිද්‍යාල සිසුන් මගේ ළඟට එනවා. 15 දෙනෙක් විතර. ඔවුන් කියන්නේ සම්ප්‍රදායික නර්තනයෙන් එහාට ගිය දෙයක් විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න බැහැ කියලා. අනාගත රැකියාව වශයෙන් නර්තනය තෝරා ගත්තත් ඔවුන්ට සම්ප්‍රදයෙන් එහාට ගිය දෙයක් කරන්න බැහැ. එහෙම වුනොත් ඉදිරි ගමන් මාර්ගය පැහැදිලි නැති වෙනවා. ඒක හරි කණගාටුවට කරුණක්.
ඒත් මම කියන්නේ නැහැ මේ කාරණයට සෑම සරසවි ගුරුවරයෙකුම වගකියන්න අවශ්‍යයි කියලා.
තව දෙයක්, විශේෂයෙන්ම නර්තනය උගන්වන ගුරුවරයෙක් නම් ඔහු හෝ ඇය ගුරුවරයෙක් වශයෙන් සේවය කරන්නටත් පුහුණුවක් ලබා තිබිය යුතුයි. සමහර සරසවි ගුරුවරුන්ගේ ශරීර දිහා බැලුවම පේනවා ඒ අය වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පින් නොවන බව.
සම්ප්‍රදායික නර්තනය නොකරන එක ගැටළුවක් ද?
අපි සම්ප්‍රදායික දෙයක් කරන්නේ නැතිනම් අපිට හංවඩුවක් ගහනවා සුද්දන්ගේ නැටුම් නටනවා කියලා. මම කැමතියි ඒ හංවඩු ගහන උදවියට කියන්න අපේ නිර්මාණ දිහා විවෘත මනසින් බලන්න කියලා. අපේ නටන්ඩා නර්තන නිර්මාණයක් දිහා බැලුවොත් පෙනේවි උඩරට, පහතරට, සබරගමු, භාරත යන මේ සම්ප්‍රදායන් බහුතරයකගේ මුලික නර්තන දැනුමින් ශිල්පියා සන්නද්ධ වෙලා සිටින බව. විදේශික දේ අභාශයට අරගෙන ඒ හරහා තමයි අපි අපේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ. මම ජර්මනියේ ඉගෙන ගත්තට ජර්මන් නැටුම් මෙහෙ නටන්නේ නැහැ. මමත් සම්ප්රදාය ඉගෙනගත් පුද්ගලයෙක්.
නටන්ඩා නර්තන ශෛලිය වෙනස්?
ඔව්, නර්තන ශෛලිය ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස්. මම විශ්වාස කරන දෙයක් තමයි අපි හැමෝගෙම ශරීර රිද්මයක් තියෙනවා. අපි හැමෝටම දැනෙන විදියක් තියෙනවා. මනුස්සයෙක් දැක්කහම ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ඇති රිද්මය සහ දැනීම් අධ්‍යනය කරන්න මම හරි කැමතියි. මගේ හැම නර්තන නිර්මාණයක් දිහාම බැලුවොත් පෙනේවි ශිල්පියාටම අවේණික වුනු ශෛලිය ගොඩනැගිලා තියෙනවා කියන එක. මට අවශ්‍ය වෙන්නේ ශිල්පියාගේ ශරීර අභ්‍යන්තරයේ තිබෙන සම්පුර්ණ ශක්තිය සහ නිර්මාණශීලි හැකියාව එළියට ගන්න. මා ළඟ සිටින නර්තන ශිල්පීන්ට මම කවදාවත් කපිල පලිහවඩන වෙන්න කියලා කියන්නේ නැහැ. එහෙම වෙන්නත් බැහැ. ඒ වගේම ඔවුන් බැලේ නර්තනය හොඳින් ප්‍රගුණ කළ අය. බැලේ ශිල්පියෙක් සිදු කරන විශේෂ පුහුණු ක්‍රම නිසා ඕනෑම නර්තන සම්ප්රදායක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඔවුන්ට පිහිටනවා.
මේ වසර ගණනාව ඇතුළත අපි කළ සෑම නිෂ්පාදනයකම චලන විදි එකිනෙකට වෙනස්. එක චලනයක්වත් නැවත කිසිදු නිෂ්පාදනයක් තුලින් එළියට එන්නේ නැහැ. සමහරුන්ගේ නර්තන නිර්මාණ බහුතරයක එකම චලන නිතරම දකින්න ලැබෙනවා. නමුත් නටන්ඩා එහෙම නැහැ. අපේ තියෙන විශේෂත්වයත් එයමයි. අපි අනුකරණය කරන්න නොහැකි වන්නේත් මේ හේතුව නිසාමයි. නටන්ඩා අනුකරණය කරන්න ගියොත් බෙල්ල කඩාගෙන තමයි නවතින්නේ. ඒ තරමට මෙහි නර්තන වින්‍යාසයන් සියුම්. නිසි පුහුණුවක් නැති කෙනෙකුට කරන්න අපහසුයි. මගේ නර්තන ශිල්පින් හැමෝම මගෙන් වගේම ජාත්‍යන්තරව හොඳ පුහුණුවක් ලබා ඇති පිරිසක්. මේ දේවල්වලට ලොකු කැප කිරීමක්, විනයක් මෙන්ම මහන්සියක් දැරිය යුතුමයි.
මේ සඳහා රජයේ අනුග්‍රහයක් තියෙනවා ද?
අපිම මුදල් වියදම් කරගෙන තමයි නැට්ෆෙස්ට් උළෙල සිදු කරන්නේ. අපිට කවුරුත් මුදල් පිරිනමා නැහැ. වැඩ කටයුතු සඳහා සමහර තානාපති කාර්යාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් හැම රටකින්ම සහයෝගය ලැබෙන්නේ නැහැ. ලංකාවේ සංස්කෘතික අමාත්‍යංශය පවා අපිට සහයක් ලබා දෙන්නේ නැහැ. සමහර අයගෙන් උදව් උපකාර ඉල්ලුවම අපිට ලැබෙන දෙයක් නැහැ. ඒ වෙලාවට අපි හරි අසරණ වෙනවා. උදාහරණයක් විදයට 2016 මම ලොකු උත්සහයක් දැරුවා ප්‍රසංගයක් සඳහා නෙලුම් පොකුණ රඟහල ලබාගන්න.සෑහෙන මුදලක් යට කරන්න වෙන නිසා වෙන අතක් බලා ගත්තා . අපි එච්චර සල්ලි තියෙන කලාකරුවෝ නෙවෙයි.
අපිට සහයෝගයක් නැතිව වැඩක් කරගෙන යන්න අමාරුයි. නමුත් ආසාව තියෙන නිසා අත්හරින්නේත් නැහැ. අපේ නිර්මාණ වලට දේශීය වශයෙන් ලැබෙන උපකාර මොනව ද කියලා විදේශිකයන් අහනකොට දෙන්න උත්තර නැති වෙනවා. අපිට රට පවා දෙන්නට බැහැ. මොකද මව්බිමට අපි ආදරෙයි. ඒ නිසා අපි ඔවුන්ට උත්තර බඳින්නේ, වසර 30 ක් පුරා යුද්ධයක් පැවති රටක් නිසා තවමත් මෙහේ පාලකයන්ගේ ඔලුවට කලාව කාවැදිලා නැහැ කියලා.
කලාකරුවන්ට සල්ලි අවශ්‍ය නැහැ. නමුත් යම් කිසි සහනදායි ක්‍රියා පිළිවෙතක් සකස් කළ යුතුයි. අනුග්‍රහයක් ලබා දිය යුතුයි. මම මේ කිසිම පාලකයෙක්ට ආණ්ඩුවකට චෝදනා කරනවා නෙවෙයි. මම කියන්නේ මේ රටේ කලාකරුවන්ට අත්ව ඇති අභාග්‍ය සම්පන්න ඉරණම ගැන. කලාකරුවන් ඇගයීම, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳව සමහරවිට කිසිම අවබෝධයක් බලධාරීන්ට නැතිව ඇති. ඒත් මේ සම්බන්ධයෙන් දැනුවත් පුද්ගලයන්ගේ උපදෙස් ලබා ගන්න එක පාලකයන්ගේ වගකීමක්.
ඒ වගේම තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ වෙන කාටවත් නැති නර්තන සම්ප්‍රදායික උරුමයක් අපිට තියෙනවා. අපි ඒ දේ රැකගන්න අවශ්‍යයි. ඇමරිකාව වගේ වෙන රටවල සම්ප්‍රදායන් යොදා ගනිමින් අමුතුවෙන් නර්තන බිහි කරන්නට අපිට අවශ්‍ය වන්නේ නැහැ. නර්තන ශිල්පින් වෘත්තීය මට්ටමින් වැදගත් තැනකට ඔසවා තැබුවොත් පමණයි ඒ සම්ප්රදාය අපට රැකගන්න පුළුවන් වෙන්නේ.
අවාරා