අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ. වයස 6දී 7දී විතර ඉඳන් මම ක්ෂේත්රයට එනතුරා හා ඉන් පසු කාලය දක්වා දිව යන කතාවක් තමයි ඒ රහස.
එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. අපේ තාත්තා ක්රිකට්වලට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තා සාලේ ටී.වී. එකේ මැච් එකක් බලනවා. මමත් නිකමට වගේ එතැනට ගිහින් ටී.වී. එකට එබිලා බැලුවා. එතකොට හරිම ලස්සන පිරිමි ළමයෙක් බැට් එකක් අරගෙන සෙල්ලම් කරනවා. ඒ වෙද්දී මම ඒ තරම් ලස්සන පිරිමියෙක් දැකලම නැහැ. මටත් පුදුමයි එයා දැක්කම අවුරුදු හතේදී මට ඇතිවූ හැඟීම ගැන. ඒ හැඟීම මොන වගේද කියලා මට තේරෙන්නේ නැහැ. මම තාත්තාගෙන් ඇහුවා ඒ කවුද කියලා.
“රොෂාන් මහානාම”
තාත්තා උත්තර දුන්නා. ඒ වෙලාවේ ඉඳන් තමයි මම මැච් බලන්න පටන් ගත්තේ. ඔය අතරේ රොෂාන් නැහැ.
“රොෂාන් මහානාම කෝ?” මම තාත්තගෙන් ඇහුවා. “එයා අවුට් වුණා” තාත්තා කිව්වා.
“අවුට් වෙනවා කියන්නේ මොකක්ද?” මම දිගින් දිගටම ප්රශ්න කළා.
“ඔයාට ඕන මැච් එක බලන්නද. රොෂාන් බලන්නද?”
තාත්තා ඇහුවේ මගේ හරස් ප්රශ්න තාත්තට කරදරයක් හින්දා. ඊට පස්සේ මම තාත්තගෙන් හරස් ප්රශ්න අහන්න ගියේ නැහැ. ක්රිකට් ගැන තනියම හොයා බැලුවා. රොෂාන් ගැනත් තොරතුරු හෙව්වා. කාලයක් යද්දී ක්රිකට් ගැනයි රොෂාන් ගැනයි ගොඩක් දේ දැනගත්තා. එදා ඉඳන් මම ටී.වී. එකේ මැච් බැලුවා. පත්තරවල ක්රිකට් ගැන පළවුණු ලිපි කියෙව්වා. හැබැයි මම ක්රිකට්වලට කැමති නැහැ. රොෂාන්ට තියෙන ආශාවටයි ඒ තොරතුරු හෙව්වේ. අවුරුදු 14 - 15 වෙද්දී ඒ ආශාව උමතුවකට හැරුණා. මගේ මේ “රොෂාන් උමතුව“ ගෙදර අයයි ඉස්කෝලේ යාළුවොයි දැනගත්තා.
“එයා බැඳලා ළමයිනුත් ඉන්නවා..” යාළුවෝ කිව්වා. ඒත් මගේ උමතුව හොඳ වුණේ නැහැ.
“අපරාදේ අපේ අක්කා ඉපදුන වෙලාවේ මම ඉපදුනා නම් මට කෙළින්ම රොෂාන්ට මගේ කැමැත්ත කියන්න තිබුණා...”
මට එහෙම හිතුණා. මගේ මේ උමතුව හින්දම ගෙදර අය මාව මැච් එකක් බලන්න එක්ක ගියා. අපේ අයියා කෙනෙක් හිටියා එයා අපිව රොෂාන් ළඟට එක්කරගෙන ගියා. ඔහු හරිම සුහදව අපිට කතා කළා. මෙච්චර කාලයක් ටී.වී.එකේ දැකපු කෙනා ඇත්තටම දකිනකොට මම උමතුවෙන් වගේ ඒ දිහා බලාගෙන හිටියා.
මම ටික ටික තරුණ වයසට ආවා. පිරිමි ළමුන්ගේ ආදර යෝජනා එන කාලෙනේ ඔය. ඒත් මම හෙව්වේ රොෂාන් වගේ කෙනෙක්. ඒ හිනාව ගමන බිමන ටිකක් හරි තියෙනවා නම් මම එයා ගැන උනන්දු වුණා. ඒත් එයා මට ළංවෙද්දී මේ පුද්ගලයා රොෂාන් වගේ නැහැ කියලා හිතුණම මම එයාගේ යෝජනාව ප්රතික්ෂේප කළා.
වයසත් එක්ක අපි පරිණත වෙනවා. බොළඳ හිත වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මටත් ඒක පොදුයි. පස්සේ මම නිවේදිකාවක් වුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ. එහි උදේ වැඩසටහන් අතර ප්රසිද්ධ පුද්ගලයෙකුගේ නිවසට ගිහින් කරන වැඩසටහනකුත් තිබුණා. එහි පළමු වැඩසටහනේ නිවේදිකාව ලෙස තෝරාගෙන තිබුණේ මාවයි. නිවේදිකාවක් විදිහට හා හා පුරා මට කාගේ ගෙදරට යන්න වෙයිද කියලයි මමත් හිත හිතා හිටියේ.
“ඔයාට තියෙන්නේ රොෂාන් මහානාමගේ ගෙදරට ගිහින් එයාව ඉන්ටවිව් කරන්න...”
නිෂ්පාදකවරයා එහෙම කියනවා මට ඇහුණේ හීනෙන් වගේ. ඊට පස්සේ මම මගේ කුළුඳුල් සම්මුඛ සාකච්ඡාව කළා. රොෂාන් ඔහුගේ බිරිඳ දරුවෝ මට හමුවුණා. නිවේදිකාවක් විදියට ඒ අය මට සුහදව සැලකුවා. හැබැයි ඒ වේලාවෙත් රොෂාන් එක්ක කතා කරද්දී මොකක්දෝ තිගැස්මක් මගේ හිතේ තිබුණා.
ආරියවංශ කුලතිලක