කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ
ඇගේ හඬ අපට ගෙන එන්නේ අමුතුම මිහිරකි. එය වචනවලින් විස්තර කළ නොහැක. දමයන්ති ජයසූරිය මෙතෙක් කලක් ගැයූ ගීතවලට වඩා වෙනස් ගීත එකතුවක් තිළිණ කරන්නට සූදානම් වන්නීය. ඈ ඒ කාර්යය සිදු කරන්නේ වෙසක් සමයේ වීමද විශේෂත්වයකි. හැටේ දශකයේ අග භාගයේදී ගුවන් විදුලියේ ළමා පිටියට ඇතුළත් වුණු ඇය ළමා රංග පීඨය, කනිටු සරසවිය, සංගීත සන්ධ්‍යාව වැනි ළමා වැඩසටහන් රැසකට ගායනයෙන් පමණක් නොව රංගනයෙන් ද නිවේදනයෙන් ද දායක වූවා ය. සිය මවගේ මග පෙන්වීමෙන් ගුවන් විදුලියට අවතීර්ණ වන්නට වරම් ලද ඈ ළමා ගීත ගණනාවකට සහාය ගායනය මුසු කළාය. කරුණාරත්න අබේසේකර, අශෝක තිලකරත්න, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, ගාමිණී විඡේතුංග, චින්තන ජයසේන, දයාරත්න රණතුංග, අමරා රණතුංග ආදී ප්රවීණයන්ගේ ගුරුහරුකම් ලබමින් ගායිකාවක ලෙසත්, ගායන ක්ෂේත්රයට වැඩදායී ශිල්පිණියක් බවට පත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා මනා පුහුණුවත් ඇයට ගුවන්විදුලියෙන්ම උරුම විය. අමරා රණතුංග මහත්මියගෙන් ශාස්ත්‍රීය සංගීතය හැදෑරූ ඇය ගුවන්විදුලියේ සරල ගී ගායිකාවක බවට පත් වූයේ වයස අවුරුදු 16 තරම් කුඩා දැරියකව සිටිය දී ය. හමුවේවා අපි මතු අත්භවයක..., කඳුළින් අවසන් වන පෙම් පුවතට...., අපි කතා නොකර ඉමු..., ආ මග කෙටියි යායුතු මග දුරයි.... ආදී ගීත ගණනාවක් ගැයූ ඇය සප්ත කන්‍යා චිත්‍රපටයට කමල් අද්දරආරච්චි සමග ගැයූ උන්මාද වූ ප්‍රේමාදරේ... ගීතයෙන් වඩාත් ජනප්‍රිය වූවා ය. එකී ජනප්‍රියත්වයට ඉඩ දෙමින් ඇය බොහෝ කලක් දැඩි නිහඬතාවකින් පසු වූවා ය. වසර දහයක පමණ නිහඬ බවට විරාමය තබමින් ඈ යළිත් කලඑළි බසින්නීය. වෙසක් සිල් සුවඳ මුසු කර රසික සිත් සතන් නිවා සනහාලනු වස් බැති ගී එකතුවක් සමගින් දමයන්ති ජයසූරිය නම් ප්‍රවීණ ගායන ශිල්පිණිය සිය මියුරු ගී හඬ යළි අවදි කරන්නීය. අප්‍රේල් මස 23 වැනි සඳු දින සවස 5.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී ඇයගේ නවතම ගී එකතුව ''සිත නිවන ගී'' නමින් උත්සවශ්‍රීයෙන් එළි දක්වන්නට ඇය සූදානම් වන්නීය. මේ කතාබහ ඒ නිමිත්තෙනි.
බොහෝ කාලයක් නිහඬව ඉඳලා හදිසියේ ම බෞද්ධ ගී එකතුවක් එළිදක්වන්න හිතුණේ ඇයි...... ?
හදිසියේ නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඕනෑකම තිබුණා. නොයෙකුත් දේවල් නිසා දවසෙන් දවස ඒ දේවල් කල් ගියා.
මෙවැනි දෙයක් කරන්න පෙළඹුණේ දැන් ඔබ ආගම දහමට වැඩිපුර යොමු වූ නිසා ද....?
ඒ ප්‍රශ්නයට නම් ඔව් කියන්නත් බෑ, නැහැ කියන්නත් බැහැ. මම දැන් ටික කාලෙක ඉඳලා වැඩිපුර ආගම දහමට යොමු වෙලා තමයි ඉන්නේ. ආගමික කටයුතු සඳහා මම නිතර යන එන තැනක් තමයි බියගම සියඹලාපේ සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානය. එහි පූජ්‍ය හන්තානේ ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේගේ සංකල්පයකට අනුව, එම බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් වන මගේ හෘදයාංගම කලණ මිතුරු සැමගේ එකමුතුවෙන් තමයි මේ නිර්මාණ එකතුව සිදු කළේ. ඒ අය තමයි මේ කටයුත්තට මාව උනන්දු කරවලා මෙහෙම දෙයක් කළේ. සංකල්පය ලැබුණු මොහොතේ පටන් මේ මොහොත දක්වාම ඒ මිතුරු කැළ එකාවන් මේ කටයුත්තට දායක වෙනවා. මිල මුදල්වලට වඩා මම වටිනා මිත්‍ර සම්පත්තියක් උරුම කරගෙන තියෙනවා කියන සතුට අද මම භුක්ති විඳිනවා.
අද වගේ සමාජයකට මේ ගීතවල වටිනාකමක් තියේවිද.....?
මේ තරම් බණ අහන, මේ තරම් බණ ඇහෙන රටක මේ තරම් බිහිසුණු අපරාධ සිදු වෙනවා නම්, මේ තරම් පුංචි ගීත එකතුවකින් ලොකු දෙයක් කරන්න බැරි වේවි තමයි. අද ගීත හැදෙන්නේ බස්වල රියෑදුරන්ගේ ධාවන වේගය වැඩි කරවීම සඳහා මිස සුතමුදිතසමාජයක්ගොඩනැංවීමසඳහානෙවෙයි. කාර්යාලවලපීඩනයෙන්තෙරපිලා, බස් රථවල උදේ හවස තෙරපිලා, කරච්චල් ගීත අහලා, විකාර රූපී නළඟනන්ගේ අඩ නිරුවත් නැටුම් දිහා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් බලාගෙන ඉඳලා, කොන්දොස්තරලාගෙන් බැණුම් අහගෙන බස්වලින් බිමට බැහැලා පීඩිත මනසින් යුතුව ගෙවල්වලට යන මිනිසුන්ගේ සිත් ආක්‍රමණය කරගෙන තියෙන ආතතියෙන් මදකට මිදිලා පුංචි සැනසීමක් මේ එක ගීයකින්වත් ඒ සිත්වලට ලැබුණොත් ඒ ඇති. මේ උත්සාහය ඇත්තට ම විපරිත සමාජයේ උඩුගං බලා පිහිනීමක් තමයි. නමුත් සමාජය දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවාට වඩා පුංචි දෙයක්වත් කළ යුතුයි කියා සිතුණු නිසා මෙහෙම උත්සාහයක්දැරුවා.
දරු පරපුරට මේ ගීතවල වටිනාකමක් තියේවි නේද..... ?
ඔව්. අද සෑම පාසලකම වගේ උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර සුභාවිත ගීත දරුවන්ට ඇසෙන්නට සළස්වා තිබෙනවා. දහම් පාසල්වලත් එහෙමයි. අන්න ඒ පුංචි සිත්වල යහපත් සිතිවිලි ඇති කරවන්න මේ ගීත ඒ දරුවන්ට ඇහෙන්න සළස්වනවා නම් ගොඩාක් වටිනවා. මම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගීත දරුවන්ට ඇහෙන්න සළස්වන්න කියලා.
මූල්‍ය අනුග්‍රහයක් මේ සඳහා ලැබුණා ද..... ?
ඔව්. මගේ කල්‍යාණ මිත්‍රයන් පිරිසම තමයි ඒ අනුග්‍රහය ලබා දුන්නේ. ඒ හැමෝම තම තමන්ගේ හැකි පමණින් මේ කාර්යයට මූල්‍ය දායකත්වය ලබා දුන්නා. ඒ වගේම බොහෝ දෙනෙක් පුණ්‍ය කටයුත්තක් හැටියට හිතලා ඒ අයගේ දායකත්වය මේ සඳහා නොමිලේ ලබා දුන්නා. ඒ අතර කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ඉන්නවා. මං ඒ හැමෝට ම පිං අනුමෝදනා කරනවා. ආගමික භේදයක් නැතුව ඒ අය උදව් කළා. තම තමන්ගේ ආගම අනුව ඒ අයට යහපත උදා වේවා කියා මං ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු නොවූ තරම් උදව් මට ලැබුණා.
ගීත නිර්මාණ දායකත්වය ලබා දුන්නේ කවුද..... ?
පුණ්‍ය කටයුත්තක් සේ සළකා කිසිදු මූල්‍යමය අයකිරීමකින් තොර ව ගී පද රචකයන් මේ සඳහා ගීත ලබා දුන්නා. පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද හිමි, පූජ්‍ය මඩපාත ධම්මසාර හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කුලරත්න ආරියවංශ, ජයම්පතී අල්ගම යන ශිල්පීන් ගී පද රචනයෙනුත්, ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය නන්දා මාලිනී, අජිත් දර්ශන ජයවීර, එච්.එම්. ජයවර්ධන, දර්ශන වික්‍රමතුංග, ආචාර්ය ලයනල් අල්ගම, ඉන්ද්‍රජිත් මිරිහාන, එම්.ආර්. චූලසිංහ යන ශිලපීන් තනු නිර්මාණවලිනුත් දායක වුණා.
ගී එකතුව ජනගත කිරීමේ උළෙලේ විශේෂ දේශන පවත්වන්නේ කවුද..... ?
පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමි විසින් ප්‍රධාන දේශනයත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ දේශනයකුත් පවත්වනවා.
මේ ගී එකතුවේ එක ම එක යුග ගායනාවක් තියෙනවා නේද.... ?
ඔව්. විශාරද එඩ්වඩ් ජයකොඩි ඒ ගීය සඳහා ගායනයෙන් සහාය දෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ජානක ෆොන්සේකා ප්රමුඛ වාද්‍ය වෘන්දය පසුබිම් සංගීතය සපයනවා. පූජ්‍ය කිරම විමලජෝති හිමි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනූෂා ගෝකුළ මහත්මිය, ප්‍රේම් දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් මේ යෝධ කාර්ය පිටුපස සිටිනවා. ඒ හැමෝට ම පිං සිදු වේවා.
ඔබට හිතෙන්නේ නැද්ද වසර දහයකට වැඩි කාලයක් ඔබ නාස්ති කළා කියලා...., ඔබ වැනි කෙනෙක් මීට වැඩි යමක් කළයුතු ව තිබුණා නේද....?
මම මේ ක්ෂේත්රය ගැන වගේ ම සමාජයේ වෙන දේවල් දැකලා ලොකු කලකිරීමකින් හිටියා. පසුව මම ඒ දේවල් ගැන හිතන්න යන්නේ නැතුව ආධ්‍යාත්මික කටයුතුවලට යොමු වුණා. සත්වැනි දවස චිත්‍රපටයෙන් පටන් ගත්ත මම චිත්‍රපට 32 ක විතර පසුබිම් ගීත ගායනා කර තිබෙනවා. ප්‍රේමසිරි කේමදාසයන්, සරත් ද අල්විස්, එච්.එම්. ජයවර්ධන, ස්ටැන්ලි අල්විස් වැනි ප්‍රවීණ සංගීතඥයන් නිර්මාණය කළ ගීත මම ගායනා කළා. එච්.ආර්. ජෝතිපාල, මොහිදින් බෙග් යන අය සමග පවා මට යුග ගී ගයන්න අවස්ථාව උදා වුණා. මේ ක්ෂේත්රයේ අත්දැකීම් හා අවස්ථා බහුලව ලැබූ කෙනෙක් හැටියට මීට වඩා යමක් සමාජයට කළ යුතු ව තිබුණා තමයි. ඒත් පසුගිය කාලයේ හොඳ ගීතවලට අත් වුණු ඛේදනීය ඉරණම දැක්කා ම ලොකු දුකක් ඇති වුණා. උඩුගං බලා යන්න තරම් හිතට හයියක් තිබුණේ නැහැ. මේ ගීත එකතුව වුණත් එළිදැක්වෙන්නේ මගේ කල්‍යාණ මිතුරු මිතුරියන්ගේ එකමුතුව හා උනන්දුව නිසා ම යි. කලාකරුවන් හැටියට කලා ක්ෂේත්රයේ සිදුවන දේවල් හා කලා නිර්මාණවලට සිදු වන විපත්තිය ගැන කලකිරීමක් අපි හැමෝට ම තියෙනවා. මම විතරක් නෙවෙයි ප්‍රවීණ ශිල්පීන් බොහෝ දෙනෙක් මේ කලකිරීම නිසා අද නිර්මාණවලට අත ගහන්නේ නැහැ. තමන් හදපු දරුවෙක් මේ සමාජය නිසා වැනසෙනවා දකින්න කිසිම අම්මා කෙනෙක්වත්, තාත්තා කෙනෙක්වත් කැමති වෙන්නේ නැහැ නේ.
''සිත නිවන ගී'' එළිදැක්වීමේ අවස්ථාවට ආරාධනා ලබන්නේ කවුද....?
අප්‍රේල් මස 23 වැනි සඳුදා සවස 5.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට ඇවිත් ''සිත නිවන ගී'' එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා මම සෑම සියලු දෙනාට ම ඉතා ම ආදරයෙන් ආරාධනා කරනවා. අපේ සිත් යළි පුබුදු කරන්න පුළුවන් වෙන්නෙත් රසික සහෘදයන්ට ම යි.
තුෂාරී කළුබෝවිල