අරලිය කොළ මාළුවට රහ වැටුණු ඔහු කැලෑ කොළ, කැලෑ ගෙඩි කුස්සියට ගෙන ආවේය. ඒ කැලෑ කොළ ගෙඩි ජත්‍යන්තරයට ගෙන යෑමේ භාරදූර වගකීමද ඔහු කරට ගත්තේය. ගල්කිස්ස මහා හෝටලයේ කුස්සියේ මුල් පුටුවට ගිය ඔහු අපේ කුස්සියේද විප්ලවවාදියාය. මේ ආචාර්ය පබිලිස් සිල්වා සමග කළ කතා බහකි.
පබ්ලිස් සිල්වා මහත්තයගේ ළමා කාලය ගෙවුණෙ කොහොමද?
මගේ ගම රත්ගම, ගම්මැද්දෙගොඩ. මම ඉපදුනේ 1936 අපේ‍්‍රල් මාසෙ 24 වැනිදා. මගේ තාත්තා අප්පු සිංඥො, අම්මා කුමාරසිංහ පොඩිහාමි. තාත්තා රැකියාවක් කළේ නෑ. සමාජ වැඩ තමයි කළේ. අම්මා ජීවත් වෙන්න වෙළඳාමක් කළා.තාත්තාටත් අධ්‍යාපනයක් නෑ. අම්මටත් අධ්‍යාපනයක් තිබුණේ නෑ. හරිම දුෂිකර කාලයක් ඒක. ජීවත් වෙන්න නොකරපු දෙයක් නැහැ. නැති කමට මම ගෙවල්වල බැල මෙහෙවර කම් කළා. මගෙ වයස අවුරුදු 20දි මම කසාදෙකුත් බැඳ ගත්තා. විවාහ වෙලා ළමයෙකුත් හම්බ වෙන්න ඉන්නකොට තමයි රස්සාවක් ඕනේ. හම්බකරන්න ඕනේ කියලා මට හිතුණේ.
ඔබට කොහොමද ගල්කිස්ස මහා හෝටලේ දොර ඇරුණෙ.....?
රස්සාවක් නැතිකමට 1956 දී ගල්කිස්ස මහ හෝටලයේ අඟුරු අදින කෙනා විදිහට රස්සාවට ආපු මට දවසක් සූපවේදී මහත්තයෙක් අරලිය දළු කෑම හදන්න ගෙනැත් තියනවා දැක්කා. අරලිය දළු අපි දැනගෙන හිටියේ විසක් විදිහට. ඒත් ඒ මහත්තයා කිව්වා එහෙම විසක් නෑ, ඒවායෙන් හදන කෑම එතුමත් කනවා, මටත් කාලා බලන්න කියලා. අන්න එදා තමයි මගේ මේ සූපවේදී ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්නෙ. මම එදා කල්පනා කලා ඒ වගේ කොච්චරනම් කෑම වර්ග අපේ රට ඇතුලේ තියන දේවල්වලින් හදාගන්න පුළුවන්ද කියලා. එහෙම තමයි මම ඔබ සඳහන් කරපු ආහාර සංස්කෘතිය ඇතුලේ වෙනසක් කරන්න උත්සහ කලේ. හැබැයි ඇත්තටම මම කලේ මගේ තුල තිබුණ උනන්දුව නිසා අලුතෙන් කෑම වර්ග නිර්මාණය කරපු එකයි. ඒකෙන් සමහර විට ආහාර සංස්කෘතිය ඇතුලේ පෙරලියක් වෙන්න ඇති.
පබ්ලිස් සිල්වා කියන්නේ දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තරවත් සුවිශේෂී නමක්, ලංකාවේ ආහාර සංස්කෘතිය ඇතුලේ වෙනසක් කරන්න ඔබ ප්‍රවේශයක් ලබාගත්තේ කොතනින්ද?
ආහාර සංස්කෘතිය තුල වෙනසක් කරන්න ආපු මගේ ගමන බොහොම කටුක ගමනක්. ඒ ගැන මගේ ජීවිත කතාව ලියවුණු පොතේ බොහොම නිවැරදිව සඳහන් වෙලා තියනවා. මම හතරේ පන්තියට විතරක් ඉගනගත්ත කෙනෙක්. ගුරුවරුන්ගේ වේවැල්,අඩිකෝදු පාරවල් කන්න බැරුව තමයි මම ගෙදර නැවතුනේ. හැබැයි සාමාන්‍ය පෙළටවත් ඉස්කෝලේ යන්න ලැබුණනම් ඔබ ඔය කියපු ආහාර සංස්කෘතියේ වෙනසක් සිද්ධවෙන්නෙත් නෑ, එහෙම වෙන්න පබ්ලිස් සිල්වා කෙනෙක් ඉතිරි වෙන්නෙත් නෑ. අපේ අම්මා තාත්තා ඉගනගත්තේ නැති මිනිස්සු නිසා තමන්ගේ පුතාට උගන්නවන්නත් අවබෝධයක් තිබුණේ නෑ. ඒක නිසා තමයි මෙහෙම පබ්ලිස් සිල්වා කෙනෙක් ඉතිරි වෙන්න හේතුවුණේ. ඒ නිසා ඒ දෙන්නට ඒ පින අයිතිවෙන්න ඕන.
02. බහුතරයක් ගෙවල්වල ආහාර පිළියෙල වෙන්නේ කාන්තාවන් අතින්, ඒත් හෝටල් ක්ෂේත්රයේ ඉන්න බහුතරයක් සූපවේදීන් පිරිමි පාර්ශවයේ. මෙහෙම වෙන්නේ කොහොමද?
අපි අතීතය පිරික්සලා බැලුවොත් කණ්ඩායමක් වශයෙන් වාසය කරලා පසුව බෙදීගිය මිනිස්සු විදිහට නිර්වචනය කරනකොට රජවරුන්ගේ පවා ආහාර සැකසීමට කවදාවත් කාන්තාවන් සම්බන්ධවෙලා නෑ. රජගෙදර අරක්කැමියන් වුනේ පුරුෂයන්. අදටත් යුරෝපය ඇතුලු බොහොමයක් රටවල් වල කාන්තා-පිරිමි භේදයක් නැතිව නිවාසවල වගේ හෝටල් ක්ෂේත්රයේ සූපවේදී වෘත්තීන්වල නිරතවෙනවා. ගෙදර ආහාර පිසීමත් සැමියා සහ බිරිඳ අතරේ බෙදිලා යනවා. මේ ලංකාවේ සමාජය ඇතුලේ තමයි කාන්තාවට කෑම පිසීම බරක් විදිහට පැටවිලා තියෙන්නේ.
03. පොදු විශ්වාසය තමයි රසට කෑම උයන්න පුළුවන් කාන්තාවන්ට කියලා, ඒත් ඔබ ඔප්පුකරලා තියනවා ඒක එහෙම නෙවෙයි කියලා. කොහොමද එවැනි තැනකට එන්න පුළුවන් වුනේ.?
කාන්තාවන්ට විතරයි රසට උයන්න පුළුවන් කියන එක මම සම්බන්ධයෙන් ගත්තම බොරුවක් බවට පත්වෙනවා. මොකද මගෙන් කෑම උයන්න ඉගනගන්න එන බහුතරයක් කාන්තාවන්. ලෝකේ හැමදේම කාලෙන් කාලෙට වෙනස්වෙනවා. මිනිස්සු,ඇඳුම් පැළදුම් වගේම ආහාරත්. ලංකාවේ ආහාර පාන වෙනස් වුනේ බොහොම සෙමින්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙද්දි කොළඹට ඇවිත් තිබෙනවා රටවල් 28 ක විතර ආහාර වර්ග. මොකද අපේ රටේ ආහාර වෙනස්වුනේ නැති නිසා. වෙනසක් බලාපොරොත්තුවුන මිනිස්සු වෙනත් රටවල ආහාර වර්ගවලට පුරුදු වෙලා.
උදාහරණයක් විදිහට කුවේණිය කපු කටිමින් සිටිද්දි විජය කියන දාමරිකයා සේනාවත් එක්ක අපේ අවාසනාවට මෙහෙට ගොඩබැස්සා. එතනදි අපිට කපු වගාව තිබ්බා සහ කපු කර්මාන්තය තිබුණා කියලා දැනගන්න පුළුවන්. කුවේණිය ඒ සේනාවේ බඩගින්න නිවන්න සහල් දුන්නා කියලා මහාවංශයේ තිබෙනවා. ඒ සේනාවේ මිනිස්සු සහල් වලින් ඉන්දියානු ආහාර හදලා කුවේණියටත් දීලා තියනවා. ඒ කෑම කාලා කුවේණිය තරුණ වුනා, නැත්නම් සතුටු වුණා කියලා කියනවා. එතනදි තමයි ඉතිහාසයේ මුලින්ම අපේ ආහාර සංස්කෘතිය වෙනස් වෙන්නේ.
ඉන්දියාවේ ආප්ප තියනවා, අපේ රටේ ඉඳිආප්ප තියනවා. මේ වගේ විවිධ වූ ආහාර වෙනස්කම් තිබෙනවා. අපි ආර්යන්ගෙන් පැවතගෙන එන ජාතියක් නෙවෙයි. අපේ ස්වදේශීය ජනතාවට අනන්‍ය සංස්කෘතියක් තිබුණා. වෙනම ආහාර විධික්රම තිබුණා. නමුත් ඔවුන් අලුත් ආහාර ක්‍රමවලට අනුගත වුනේ නෑ. අන්න ඒක තමයි දැන් මගෙන් වෙන්නේ.
04. ලංකාවේ වෘත්තීය සූපවේදීන්ට සහ විදෙස් රටවල වෘත්තීයමය සූපවේදීන්ට තිබෙන සමාජ පසුබිම අතර වෙනස ඔබ දකින්නේ මොනවිදිහටද?
මම මේකට මගේ ජීවිතයෙන්ම උදාහරණයක් ගන්නම්. මම මේ හෝටලයට ආවේ අඟුරු අදින කෙනෙක් විදිහට. ඊට පස්සේ මේ හෝටලයේ ආහාර සකස් කරන්නෙක් විදිහට රැකියාව කරද්දි මගේ දරුවෙක්ට විවාහයක් සූදානම් කරද්දි ගල්කිස්ස මහ හෝටලයේ පලාකපන මිනිහෙක්ගේ දරුවෙක් කසාද බඳින්න බෑ කියලා විවාහයට විරුද්ධවුනා. ඔන්න ඒ වගේ තැනක් තමයි ලංකාවේ සූපවේදීන්ට තිබෙන්නේ.
ඒත් මට අනුව ලංකාවේ තවමත් සූපවේදීන් බිහිවෙලා නෑ.
05. එතකොට සූපවේදියෙක් තාම බිහිවෙලා නැත්නම් ඔබතුමා කව්ද?
මම තවම සූපවේදියෙක් නෙවෙයි. සූප කියන්නේ ආහාර, වේදය කියන්නේ විද්‍යාව. ආහාර තම්බලා,කපලා,කලවම් කරලා මොනවාහරි හදන එක සූපවේදය නෙවෙයි. සූපවේදීන් ඉන්නවානම් මේ රටේ මෙච්චර ලෙඩදුක් තිබෙන්න විදිහක් නෑ. අපි අද ආහාරවල ඖෂධකාරක සහ රසකාරක හරියට අඳුනන්නෙත් නෑ. මෙන්න මේ වෙනස හරියටම දන්නේ සූපවේදියෙක් පමණයි. ඔවුන් විතරයි සංයෝගවල මාත්‍රාවන් දන්නේ, අද මේ රටේ සූපය සිදුකරන අය අතරේ ඒවා තිබෙනවාද. එහෙනම් කොහොමද මේ රටේ සූපවේදීන් ඉන්නේ. සූපවේදීන් ඉන්නවානම් කොහොමද දොස්තර මහත්වරුන්ට මෙච්චර වැඩ තියෙන්නේ. සූපවේදීන් හරියට ඉන්නවනම් කෑමවලින් ලෙඩ පාලනය වෙනවනම් කොහොමද දොස්තර මහත්තුරු ඔච්චර ගාම්භීරව ඉන්නේ. මම ඒ මහත්තුරුන්ට නිගරු කරනවා නෙවෙයි. ඒත් ඇත්තම තත්ත්වය තමයි ඒක.
06. ආසියාවේ ආහාර සංස්කෘතිය වගේම යුරෝපයේ ආහාර සංස්කෘතිය එක්ක ඔබතුමා සංසන්දනය කරන්නේ මොනවිදිහටද?
ඒක සීයයට සීයක් වෙනස් සංස්කෘති දෙකක්. ඒත් අද ඒ සංස්කෘති දෙකම එකතුකරලා බොහොම විශේෂ ආහාර වර්ග නිර්මාණය වෙනවා. ඒත් අපි තවමත් යුරෝපාකාරයේ ආහාර සංස්කෘතියේ තිබෙන හොඳ දේවල් අරගෙන නෑ. නමුත් ඔවුන් ඒවා අරගෙන තිබෙනවා. අද අපි ආහාර සකස් කරන්න ගන්න රසකාරක 48ම ආයුර්වේද ඔසු. ඒක දන්නේ කීයෙන් කී දෙනෙක්ද.අපි කෑම කන්නේ ජීවත්වෙන්න. අපි තේරුම්ගන්න ඕන මොන ආහාර වර්ගද අපිට ගැලපෙන්නේ සහ නොගැලපෙන්නේ කියලා.
07. ඇතැම් රටවල් හරි ඉක්මණට ආහාර සකස් කරලා වැඩි වෙලාවක් ආහාර භුක්ති විඳිනවා, උදාහරණයක් විදිහට ජපානයේ මිනිස්සු. ඒත් ලංකාවේ කෑම උයන්න බොහෝ වෙලාවක් ගන්නවා, හරි ඉක්මණට ආහාර භුක්ති විඳින්න පුරුදුවෙලා. මෙතනදි අපිද? වැරදි නැත්නම් ඔවුන්ද?
ඇත්තටම අපි වැරදියි. දියුණු රටවල් ආහාර සම්බන්ධයෙන් ඉතා වැඩි උනන්දුවක් තිබෙනවා. ජපානය විතරයි ආහාරවල විටමින් ඉතිරි කරගෙන ආහාර සැරසීමත් කරන එකම රට. ඔවුන් එක සෝස් වර්ගයක් හැදුවොත් අද හදපු එකම තමයි හෙට හදන්නෙත්. හැබැයි අපිට අද හදපු එක හෙට ආයෙත් ඒ විදිහටම හදන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. මෙන්න මේකයි අපේ වෙනස. එකම ද්‍රව්‍ය තිබුණත් ක්‍රමය පවත්වාගෙන යන්න බෑ. ලෝකයේ දියුණු රටවල ආහාරවලට විශ්වවිද්‍යාල තිබෙනවා. ඒත් අපේ එහෙම නෑ.
ඇත්තටම ආහාර සංස්කෘතිය කියන්නේ මොකක්ද?
ආහාර සංස්කෘතිය කියන්නේ ආහාර සකස් කිරීමේ රටාව සහ භුක්ති විඳීමේ රටාව එකම විදිහට පවත්වාගෙන යන ගමන් විවිධ වෙනස්කම් වලට භාජනය කරන එකයි. ඇත්තටම ඒ පැත්තෙන් බැලුවම අපිට ආහාර සංස්කෘතියක් නෑ. ලෝකයේ මුලින්ම බිහිවෙන කලාව තමයි ආහාර කලාව. ඊට පස්සේ තමයි අනිත් කලාවන් බිහිවෙන්නේ. සතුන් තමයි මුලින්ම ආහාර කලාව හඳුන්වාදුන්නේ. සත්තු තමන්ට ආහාර භුක්ති විඳින්න පුළුවන් විදිහට ඒවා හදාගත්තා. ජපානය කරන්නෙත් ඒ වගේ දෙයක්. ආහාර කලාවක් තමයි ඔවුන් පවත්වාගෙන යන්නේ. ලෝකේ හොඳම ආහාර තිබෙන්නේ ලංකාවේ. බොහෝ දෙනෙක් ඒක පිළිගන්නේ නෑ. ඒකට හේතුව තමයි අපේ අනවබෝධය. හැබැයි අපිට පුළුවන් ඔප්පු කරන්න අපිට තිබෙනවා ලෝකේ ඉහළම ආහාර සංස්කෘතියක්. අපිට පුළුවන් කෘත්‍රීම රසකාරක,සත්ත්ව තෙල්,රසායනික ද්‍රව්‍ය නැතිව ආහාර සකස් කරන්න. හැබැයි අපිට ඒවා ගැන හැදෑරීමක් හෝ ඉගැන්වීමක් නෑ. අන්න ඒක තමයි මම කරන්න උත්සහ කරන්නේ. ආහාරවල රස වගේම ගුණය, පෝෂණය ආරක්ෂා කරගෙන අපිට උයන්න පුළුවන්. බොහොමයක් පලාවර්ග එක්කෝ අමුවෙන් කන්න පුළුවන්, නැත්නම් මැල්ලුම් විදිහට කන්න පුළුවන්. මට දැන් අවුරුදු 80 ක් වෙනවා, ඔය කියන ලෙඩවලින් කිසිම එකක් මට නෑ. මොකද මම අපේ ආහාර සංස්කෘතිය අනුගමනය කරනවා.
08. සූපවේදියා කියන පුද්ගලයා මොනවගේ කෙනෙක් විය යුතුයි කියලද ඔබ හිතන්නේ?
ඔහු නියම විදිහට ආධ්‍යාත්මිකව පෝෂණය වෙච්ච පුද්ගලයෙක් වෙන්න ඕන. ඔහු හරියටම දැහැන්ගතවුනු කෙනෙක් වෙන්න ඕන. ආහාර සැකස් කරන මොහොතේ අවධානය,මනස වෙන කොතනකවත් නොයා යුතුයි. එහෙම නැතිව ආහාරයට මුසුවෙන්න ඕන ගුණය මුසුවෙන්නේ නෑ. හරියටම ආහාර සැකැස්ම කියන්නේ චේතනාව එක්ක බැඳුනු දෙයක්. චේතනාව හොඳනම් ආහාරය හොඳ වෙන්නත්,නරකනම් ආහාර නරක වෙන්නත් පුළුවන්. ඉන්ද්‍රියන් පිනවන්න ආහාර සකස් කරන කෙනා සූපවේදියෙක් නෙවෙයි. ඉන්ද්‍රියන් රකින්න ආහාර සකස් කරන කෙනා තමයි සූපවේදියෙක් විදිහට මම දකින්නේ.
වසවිස වලින් ඉන්ද්‍රියන් පිනවන්න පුළුවන්. ඒත් ආහාරයක තිබෙන ගුණත්වය හදවතට දෙන්න ඒකෙන් බෑ. හිතට හරියන විදිහට ආහාර හැදුවේ නැත්නම් ඉස්පිරිතාලවල පෝලිමේ ඉන්න වෙනවා. අපි ආහාර සකස්කල යුත්තේ හදවතටයි, අනෙක් ඉන්ද්‍රියන් පිනවන්න නෙවෙයි. ඔය පණිවිඩය ලෝකයටම එන්නේ ගල්කිස්ස මහ හෝටලයේ පබ්ලිස් සිල්වාගෙන් පමණයි. හැබැයි ඒ දේශනය,පණිවිඩය ලෝකයටම ගෙනයන එක සිදුනොවීම ගැන මට චෝදනාකරලා පලක් නෑ. ඒක මේ රට පාලනය කරන පුද්ගලයන්ට චෝදනා කල යුතුයි. මගේ ගමන බොහොම දිග ගමනයි. මගේ අරමුණ ඉතා දිගුයි.