සිංහල සිනමාවේ එක්තරා යුගයක ආන්දෝලනයට ලක්වූ චිත්‍රපටයක් ලෙස ඇගේ වෛරය චිත්‍රපටය හඳුන්වා දීමට හැකියි.
එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ චන්දි රසිකායි.
මේ වනවිට තමන් ගත කරන ජීවිතය පිළිබඳව චන්දි රසිකා පසුගිය දා ලක්බිම පුවත්පතේ කිෂාන් කනංකෙ සමඟ කළ සාකච්ඡාවකදී ඇය ඒ පිළිබඳ කරැණු පැහැදිලි කර තිබුණා.
චන්දි රසිකා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රගපෑමෙන් පසුවයි කියලා කීවොත් හරිද?
ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ චිත්‍රපටය නිසා මගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වුණා.
නමුත් කැමැත්තෙන් නේද ඔබ ඒ චිත්‍රපටයේ රඟපෑවේ?
ඔව්. මොකද, ඒක සමාජයට පණිවුඩයක් ලබාදෙන විදිහේ චිත්‍රපටයක්. නමුත් නිෂ්පාදකවරයා මටත් හොරෙන් චිත්‍රපටයට නිරුවත් දර්ශන එකතුකරලා තිබුණු නිසා හැමෝම හිතුවා මමයි ඒ දර්ශනවලටත් පෙනී සිටියේ කියලා.
‘ඇගේ වෛරය’ ලබපු ජනප්‍රියත්වයෙන් ඔබට සෙතක් වුණේ නැහැ කියලද ඔබ ඔය කියන්නේ?
ඔව්. මට කරපු රැවටීම නිසා අතේ තිබුණු හැම සතයක්ම වියදම් කරලා චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට එරෙහිව මට නඩු මගට යන්න සිද්ධ වුණා. ඒ සිදුවීම නිසා කාලයක් මම කලාවෙන් ඈත්වෙලා හිටියා. මානසිකවත් ඇදවැටිලා මම අසනීප වුණා. විජය ජීවත්ව සිටියා නම් මේ ගැටලුවේදී මා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඇගේ වෛරය’ නිසා මට පාඩුවක් මිස ලාභයක් නම් වුණේ නැහැ.
චිත්‍රපටය සාර්ථකවෙද්දි ඔබට විතරක් පාඩුවුණේ කොහොමද?
‘ඇගේ වෛරය’ මුලින්ම නිෂ්පාදනය කරන්න හිටියේ මමයි. වැඩේ කරගෙන යද්දි මුදල් ටිකක් මදිවුණු නිසා තමයි මටයි ලුවිටයි වෙනත් නිෂ්පාදකවරයෙක් සොයාගන්න සිදුවුණේ. 1980 ගණන්වල වැඩ ආරම්භ කරපු ‘ඇගේ වෛරය’ අනූපහ වසරෙදියි ප්‍රදර්ශනය කළේ. නිෂ්පාදනය සඳහා එතෙක් මට වැයවුණු මුදල්වලින් සතයක්වත් මට දුන්නේ නැහැ. චිත්‍රපට දෙකේ රඟපෑම වෙනුවෙන් දෙන්න පොරොන්දු වූ රුපියල් ලක්ෂ දෙක විතරයි ලැබුණේ.
කලාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් ඔබට තිබුණේ නැද්ද?
බයිට් පැකට් හදන ව්‍යාපාරයක් මම සුළුවෙන් ආරම්භ කළා. ඒකත් කරගෙන යන්න බැරි තත්ත්වයකයි මම දැන් ඉන්නේ.
කලාකාරිනියක් විදිහට රජයෙන්වත් පිහිටක් ඉල්ලුවේ නැද්ද?
දේශපාලනය කරන්න ගිහින් 1998 වසරෙදි මට ගුටිකන්නත් සිද්ධ වුණා. කලාකාරිනියක් විදිහට අවුරුදු විසි ගණනක් තිස්සේ බලයට ගේන්න දරදිය ඇදලත් වත්මන් ආණ්ඩුවෙන් මට ලැබුණු දෙයක් නැහැ. 2002 ආණ්ඩුව කාලේ මත්තෙගොඩ ප්‍රදේශයෙන් මුදලට දීපු ඉඩමේ අයිතියවත් භුක්තිවිඳින්න රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩමේ අයිතියවත් නිරවුල් කරලා දෙන්න කියලයි මම අද ඉල්ලන්නේ.
අවසාන වශයෙන් කියන්න, ඔය කියන හැලහැප්පිලි නිසා ඔබ දැන් කලාවෙන් සමු අරගෙනද ඉන්නේ?
කොහෙත්ම නෑ. ඉදිරි කාලයේදිත් මම රඟපානවා. නමුත් ඒ සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහේ ප්‍රබල චරිතයක් රඟපාන්න ආරාධනා ලැබුණොත් විතරයි.