ආලෝකෝ උදපාදි දෘශ්‍ය නිර්මාණ ශිල්පී කලාත් වර්ණකුලසූරිය
මැලේසියාවේදී නවීන සිනමා තාක්ෂණය උගත් තරුණයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි කළ කුලුඳුල් චිත්‍රපටය මේ දිනවල රට පුරා තිරගත කෙරෙමින් පවතී. චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන එය 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටයයි. ඒ හරහා පරිගණක ආශ්රිත විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, ත්‍රිමාන සජීවිකරණය ආදිය පිළිබඳත් අපේ රටේ අලුත් කතාබහක් ඇති වී තිබෙන සෙයකි.
එහෙත් ඒ කතාබහට මුලපිරූ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේදී අපට හමුවන ත්‍රිමාන රූප සජීවිකරණ ශිල්පීන් නම් තවමත් මුනිවත රකී. මේ සුදානම ඔවුන් අතරින් කෙනෙකුගෙන්ම අප පුළුල් තිරයෙන් දකින සද්දන්ත අස්බැන්දුම්වල වගතුග එළි පෙහෙළි කර ගනිමින් තවමත් සිංහල සිනමාවට තරමක් ආගන්තුක බවක් පෙන්වන ඒ කලාවේ ගැඹුර විමසන්නටයි. ඔහු කලාත් වර්ණකුලසූරියයි.
තැනෙක අහස උසට නැඟී සිටිනා සුවිසල් රජ මාලිගා, විටෙක රුවල් සුළඟට ළෙලවමින් රටක් වටලන්නට මාන බලා සිටිනා දැවැන්ත නැව්. සිය ගණනක අශ්වාරෝහක සේනා, ඊතල වරුසා, ඒ රූප උපද්ද වුයේම ඔබේ ඇඟිලි තුඩඟින් හැසිර වූ නවතම පරිගණක තාක්ෂණයෙන්මද?
තරමක් දුරට ඒක එහෙමයි කියන්න පුළුවන්. නමුත් එයමයි කියලා කියන්න කලින් නම් මට ඊට යමක් එකතු කරන්න තියෙනවා. ඇත්තටම ත්‍රිමාණ රූප සජීවිකරණ ශිල්පියෙක් එහෙම නැතිනම් ඇනිමේටර් කෙනෙක් කරන්නේම සැබෑ පරිසරයේ නිර්මාණය කිරීමට දුෂ්කර දේවල් පරිගණකමය පරිසරයකින් මවා ඉදිරිපත් කිරීක්. ඒ නිර්මාණ කටයුත්ත සාර්ථක වෙන්නේම, ඒ වගක් ප්‍රේක්ෂකයාට නොදැනෙනා තරමට. ඉතින් ඒ කටයුත්තේදි පරිණකය එක්තරා උපකරණයක් විතරයි.
ඇයි ඔබ එහෙම කියන්නේ?
ඒ මේක වෙනම වැඩබිමක් වන නිසයි. කැමරාකරණය පවා මේ විෂයයට අදාළව අපි මැලේසියානු විශ්ව විද්‍යාලයේදී හැදෑරුවා. මූලිකවම අපි සිනමාව කියන දේ හදාරන්න ඕනෑ. අධ්‍යක්ෂණය, රංගනය, ආලෝකරණය, නිශ්චල ඡායාරූපකරණය, හඬ කැවීම වගේ දේවල්. ඒ දැනුම උපයෝගි කරගෙන අපිට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නටත් පැවරුණා. අපි නිරන්තරයෙන්ම මේ විෂය භාවිත කළ චිත්‍රපට සහ එම සිනමාකරුවන් ගත් මඟ හදාරන්නට පැවරුණා.
ඇනිමේෂන් කියන්නේ යමකට පණ පෙවීමක්. ලයිටින් කියන කාරණය මෘදුකාංග ඇසුරේ ආලෝකය හැසිරවීමක්. ඒ විතරක් නෙවෙයි සුළං හැමීම, වීදුරුවක් බිඳීම වගේ කාරණාත් මේ විෂයයට සමබන්ධයිනේ. ඒ සියල්ල තාක්ෂණිකව ඉදිරිපත් කිරීමේ අභියෝගය භාරව සිටින නිර්මාණකරුවෙක් තමයි ත්‍රිමාන සජීවිකරණ ශිල්පියා.
එහෙම නම් පරිගණකය ඇතුළු විවිධ තාක්ෂණික මෙවලම් හසුරුවා හසල අත්දැකිම් ඇත්තකුටම පමණ ද ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියකු වෙන්න පුළුවන් වෙන්නේ?
මං එහෙම සිතන්නේ නැහැ. ඒ පරිකල්පනය ප්‍රතිභාව වගේම විශේෂයෙන් චිත්‍ර විෂයයට පෙන්වන දක්ෂතා වගේ දේවල් හරහා ඇනිමේටර් කෙනකුට වෙනස්ම ඉමකට ප්‍රේක්ෂකයාව රැගෙන යන්න පුළුවන්. විශේෂයෙන් ශාස්ත්‍රීය නැඹුරුවක් පෙන්වන චිත්‍රපටවලට ඇනිමේෂන් භාවිත කළ අපූරු අවස්්ථා විදියට බ්ලැක් ස්වැන්, ද රෙවනන්ට්, ද පියානිස්ට් වගේ නිර්මාණ හඳුන්වන්න පුළුවන්.
එතැනින්ම ආලෝකෝ උදපාදි දෙසටත් හැරුණොත්?
චත්‍ර, භාරත ඇතුළු අනෙක් හතර දෙනාම ඇනිමේෂන් පැත්තත් හදාරා තිබ්චච නිසා මට පහසු වුණා. ඒ හරහායි අපිට සත්තු පමණක් නෙවෙයි මිනිස්සු පවා නිර්මාණය කරලා චිත්‍රපටයට එක් කරන්න තරම් නිර්මාණ විවේකයක් ලැබෙන්නේ. එතැනදි විශේෂයෙන්ම ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ නිෂ්පාදක තුසිත විජයසේනව මතක් කරන්නම ඕනෑ. ඔහු ආධුනික තරුණයන් විදියට නොසළකා අපට මේ දැවැන්ත කාර්යය භාර කළා විතරක් නෙවෙයි, ඒ කටයුත්තට අතරමැද දී අත පෙවීම් නොකොට අපට නිදහසේ නිර්මාණ කටයුතු කරගෙන යන්න ඉඩ දුන්නා.
අපි දවල් රෑ නැතිව වෙහෙසුණා. ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියාත් රූගත කිරීම් නරඹන්නට එක් විය යුතුමයි කියන ප්‍රතිපත්තියේ සිටීම අපිට ලොකු පිටිවහලක් ලැබුණේ.
කොහොමද චිත්‍රපටය සම්බන්ධයෙන් දැනට ලැබෙන ප්‍රතිචාර?
ඉතා ඉහළයි. බහුතරයක් හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට නරඹන්නට ප්‍රිය කරන තාරුණ්‍යයෙන් පවා අපට හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ප්‍රේක්ෂකයා සිංහල සිනමාවෙන් ඈත්වෙමින් පවතින බවට මැසිවිලි නැඟෙන කාලයක ලැබෙන ඒ ප්‍රතිචාර අපි හුඟක් අගය කරනවා. ශ්‍රී ලංකාවේ අපටත් ලෝක මට්ටමේ නිර්මාණ සිනමාවෙන් කරන්න පුළුවන් බව අපිට රටට ඒත්තු ගන්වන්න පුළුවන් වීම ආඩම්බරයට කාරණයක්.
ඇත්තටම අපි ඓතිහාසික සංසිද්ධියක්නේ ප්‍රතිනිර්මාණය කළේ. ඒ කාලේ වටපිටාව අපිට නිර්මාණය කරන්න වුණේත් කල්පිතව. අපි අනුමාන කරන විදියට. එතැනදි ප්‍රවීණයන්ගෙන් අසා දැනගත් ඓතිහාසික තොරතුරු පොත් පත් ආදියෙන් ගත් කරුණු ආදිය තමයි අපිට පදනම් වෙන්න වුණේ. ඒ දුෂ්කර කාර්යයෙන් අපි සාර්ථකත්වයක් ලබා තිබෙන බවක් තමයි අපිට ලැබෙන ප්‍රතිචාරවලින් හැඟෙන්නේ.
ලෝක සිනමාවේ නමගිය තැන්වල විශාල වැටුපකට සේවය කළ හැකිව තිබියදී ඔබ ඇතුලු පිරිස මව් රටට පැමිණි බවක් අසන්නට ලැබෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
ඒක ඇත්ත. ඒත් මං ඒ තැන්වලට ගියා නම් මාවත් අයිති වෙන්නේ ඒ තැන්වල සේවය කරන දෙතුන් සියයක් ත්‍රිමාණ සජීවිකරණ ශිල්පීන් අතරින් කෙනෙක් විදියට. ඒත් ශ්‍රී ලංකාවේදි ඒක එහෙම නෙවෙයි. මට මගේ රටේදී ඊට වඩා ලොකු අභිමානයක් ඇතිව මේ ක්ෂේත්්රය හැදෑරූ කිහිප දෙනකු අතරින් කෙනෙක් විදියට රටට සේවය කළ හැකි ඒ සිනමා මාධ්‍යයෙන්ම පමණක් නෙවෙයි.
අද අධ්‍යාපනයට වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණය වගේ පැතිරුණු විෂයයක් ඇනිමේෂන් කියන්නේ. අද පුදුම තරමේ නිර්මාණ ඒ ඇසුරේ බිහි වෙනවා.
කාටුන් අතින් ගත්තත් කාටුන් සහ චිත්‍රපට ත්‍රිමාණ රූප සජීවිකරණය දායක කර ගනිමින් කරනවා.
ඇත්තටම ඉදිරියේදී හොලිවුඩ් බොලිවුඩ් වෙනසක් නැතිව එකම ලෝක සිනමාවක් බිහිවන පෙරමඟ ලකුණු පෙනෙමින් තියෙන්නේ.
ඉන්දියාව, චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව වගෙ රටවල් හොලිවුඩ් සිනමා තාක්ෂණයට නොදෙවැනි වන තරමට විශිෂ්ට නිර්මාණ එළි දක්වමින් සිටින්නේ. හොලිවුඩයට වඩා බොලිවුඩයෙන් වැඩි චිත්‍රපට ප්‍රමාණයක් එළිදකින ප්‍රවණතාවක් දකින්න පුළුවන්. ස්ටාර් වෝස් චිත්‍රපට මාල දිවයිනේ රූගත කරද්දී ශ්‍රී ලංකාවේ ශිල්පීන් පවා ඒවාට දායකත්වය දක්වන වාතාවරණයක් ඇතිවෙලා.
ඔබ සිනමාව හදාරන්න මැලේසියාවම තෝරා ගන්නේත් ඒ දැන හඳුනා ගැනීම් මත ද?
බටහිරින් හරි යුරෝපාකරයෙන් හරි සිනමාව හදාරන්න ගියා නම් අපිට අධික වියදමක් දරන්න සිදු වෙනවා. එතැන ඉඳන් බලද්දී අපට තෝරාගන්න තිබිච්ච හොඳම විකල්පය මැලේසියාව. වැඩිදුර අධ්‍යාපනය පැත්තෙන් ආසියාවේ මුලස්ථානයක් බවට අද මැලේසියාව පත් වෙලා තියෙනවා. අපිට මැලේසියාවේදී ජෝර්ජ් ලූකස් වගේ මේ ක්ෂේත්රයට දායකත්වයක් දැක් වූ පතාකයන් සහ ඔවුන් නිසා මේ ක්ෂේත්රයට උරුම වෙච්ච මෘදුකාංග අධ්‍යයනයට අවස්ථාව ලැබුණා. මේ ක්ෂේත්රයේ ප්‍රවීණයන් තමයි නිරන්තරයෙන්ම අපේ විශ්ව විද්‍යාල දේශකවරු වුණේ. ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියාත් රූකඩ නර්තන ශිල්පියා වගේ එක්තරා විදියක රංගන ශිල්පියෙක් එහෙමත් නැතිනම් චරිතයකට පණ පොවන්නෙක් කියලා අපිට දැනෙන්නේ ඒ හැදෑරීම් හරහායි.
ඔබ ඒ උගත් දැනුමින් ඔබ පසුපසින් එන පරම්පරාව වෙනුවෙන් ඔබට කළ හැක්කේ මොනවාද?
එහෙම කෙනෙක් මගෙන් අවවාදයක් බලාපොරොත්තු වුණොත් මං මුලින්ම කියන්නේ මුලින් ඔබ සිනමා රසිකයකු වෙන්න කියලා. ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපට පමණක්ම නෙවෙයි පොදුවේ චිත්‍රපට නැරඹීමට ඇති ආශාව දියුණු කරගත්තාම ඒ ආභාසය ඉබේම ඇතිවෙනවා.
චිත්‍ර අඳින්නට, ලිවීම ආදියට දක්ෂතා ඇත්තන්ට ඒ හැකියාව මේ කාර්යයේදී ආලෝකයක්මයි වෙන්නේ. චිත්‍රපට නැරඹීම වගේම විවිධ පොත්පත් කියවීම පුරුද්දක් කර ගැනීමත් පරිකල්පනය ඉතා වැදගත්වන ත්‍රිමාණ සජීවිකරණයේදී කාටත් අත්වැලක්ම වේවි. මේ පිළිබඳ උපාධියක් ලබාගන්න පිටරට නොගියත් අන්තර්ජාලය හරහා මේ පිළිබඳ උපාධියට සමීප දැනුම් සම්භාරයක් උකහා ගන්න පුළුවන්කම තියෙනවා.
ඇත්තටම නිර්මාණයක කටයුතු අරඹන්න කලින් ඒ පිළිබඳ හොඳ පෙර සූදානමක් ඇති කර ගැනීම ආධුනිකයකුට ඉතාමත් වැදගත්.
ප්ලෑනින් ප්‍රොසෙස් කියලා අපි ඉගෙන ගෙන තියෙන්නේ තිර රචනයක් අපේ අතට ලැබුණාම ඊට අදාළ අවස්ථා චිත්‍රයට නැඟීම. පිටරට බොහෝ දැවැන්ත චිත්‍රපට නිර්මාණයට කලින් සිදු කරන පෙර සුදානමක්.
ලෝකයේ පවතින සැබෑම දේවල්ම තමයි හුඟක් දුරට ත්‍රිමාණ රූප සජීවිකරණයෙන් අපි පෙන්වන්නේ. ඒ නිසා ඒ නිර්මාණ ශිල්පියාට හොඳ පරිසරවේදියෙක් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. පරිසරය පිළිබඳ හොඳ අවබෝධයකින් සිටිනවා නම් විවිධ පරිසර පද්ධති වෙනස් සත්ත්ව චර්යා වගේ දේවල් කෙරෙහි සංවේදී වීම එතරම් අපහසු නොවේවි.
මා වගේම චත්‍ර වීරමන්, භාරත හෙට්ටිආරච්චි, ෂෙහාන් ඔබේසේකර, සමීර ප්‍රනාන්දු ආදීන් අපෙන්, අපි ලබා උගත් දැනුමෙන් යමක් උකහා ගන්නට අපේක්ෂා කරන තරුණ විද්‍යාර්ථීන්ට හැකි උපරිමයෙන් සහාය වන්නත් කැමැත්තෙන් සිටින්නේ.
හමුව - නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූපය - මාලන් කරුණාරත්න සරසවිය