lan englan tam

විශේෂාංග

නූතන ඇනිමේෂන් කලාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය හාස්කම - “Flow’’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය සතියේ 'One Galle Face Mall' සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි PVR සිනමාශාලාවෙි අපුරු චිත්‍රපටයක් තිරගත කෙරිණ.

ඒ මෙවර 97වැනි ඔස්කාර් සම්මාන උළෙලෙහි හොඳම සජීවිකරණ චිත්‍රපටය වෙනුවෙන් සම්මානය හිමිකර ගත් 'Flow' චිත්‍රපටයයි.

එය දුර්ලභ චිත්‍රපට ප්‍රදර්ශනයකි. මන්ද 'Flow' වැනි සම්මානනීය චිත්‍රපටයක් පුළුල් තිරයක් ඔස්සේ සිනමාත්මකව විඳ ගැනීමට අවකාශය වෙන්කර දීම අගය කළ යුතු ය.

'Flow' ලැට්වියානු ඇනිමේෂන් චිත්‍රපටය සෞන්දර්යාත්මක චිත්‍රපටයකි.

සිනමාපටයේ ධාවන කාලය පැයයි විනාඩි විස්සකි.

එතෙක් කිසිදු දෙබසක් චිත්‍රපටයේ අඩංගු නොවේ.'Flow' යන ඉංග්‍රීසි වචනයෙහි අර්ථය ප්‍රවාහය නැතහොත් ගලා යෑම යන්නයි. චිත්‍රපටය පරිසමාප්ත අර්ථයෙන්ම ජීවිතය නැමැති ප්‍රවාහය පිළිබඳ සංකේතවත් කළ සිනමා ව්‍යායාමයකි.

 FLOW ANIMATED MOVIE REVIEW 2025

වර්ණවත් රූපරාමු සහ ශබ්ද පමණක් රැගත් 'Flow' චිත්‍රපටයේ කතා නායකයා වනුයේ අළු පැහැයට හුරු කළු පැහැති බළලෙකි.

මෙම කළු පැහැති බළලා සිටින්නේ මිනිසුන් රහිත යම් දෙයක් නිසා විනාශ වී ගිය හුදෙකලා වූ නගරයක ය.

ගිලී ගිය ඇටිලන්ටිස් නගරය සිහි ගන්වයි.

නටබුන්වලින් ගහණ මෙම විසල් නගරය ගංවතුරෙන් යට වී ගොසිනි. බළල් පැටවා වෙත විවිධාකාරයේ සතුන් හමු වෙයි.

ඒ ඔබ මොබ හැසිරෙන බල්ලන් කිහිප දෙනෙකු, සුදු පැහැති යෝධ කුරුල්ලෙක්, බීවරෙයකුගේ හැඩය ඇති කැපිබරාවෙකු, ලෙමුර් කෙනෙකු රුවල් යාත්‍රාවකදී මුණගැසෙන්නේ අහම්බයෙනි.

රුවල් බෝට්ටුව ගොඩනැගිලි පිරී නගරය මැදින් යාත්‍රා වෙයි.

ජලයෙන් බෙිරෙන්නට ගොඩබිමක් හමුවන තෙක් මෙම සමූහය සැමවිටම උත්සාහ කරයි.

එකිනෙකට වෙනස් ගති ලක්ෂණ සහිත මෙම සත්ත්ව පිරිවර සිදු කරන ක්‍රියාදාමයන් ඔස්සේ චිත්‍රපටයේ කතාව දිග හැරෙනවා.

'Flow' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ 'ගින්ට්ස් සිල්බලෝඩ්ස්' නම් ලැට්වියානු සිනමාකරුවා විසිනි. චිත්‍රපටය ලැට්වියානු, ප්‍රංශ සහ බෙල්ජියම් සම නිෂ්පාදනයකි.

2019 වසරේ නිෂ්පාදනය ආරම්භ කර ඇති චිත්‍රපටය වසර පහක් පුරා දැඩි වෙහෙසක් දරා නිමකර ඇත.

වෘතාන්තමය චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා සේ සජීවිකරණ චිත්‍රපටයක් නිර්මාණය කිරීම එතරම් ලේසි පහසු කර්තව්‍යයක් නොවේ. මන්ද සජීවිකරණ චිත්‍රපටයක් නිෂ්පාදනයේ දී දැරිය යුතු නිර්මාණාත්මක වෙහෙස අසීමිත ය. පරිඝණක මෘදුකාංග ආශ්‍රයෙන් රූප සහ පසුතල නිර්මාණය කිරීම සහ ඊට හඬ කැවීම මුළුමනින්ම පාහේ සිදු කළ යුතු වේ.

බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳ දමමින් ලැට්වියානු ඉතිහාසයේ සිනමාහල්වල වැඩිම පිරිසක් නරඹන ලද චිත්‍රපටය බවට 'Flow' පත්විය.

ලැට්වියාවෙි පමණක් ටිකට්පත් 306,000කට වඩා අලෙවි වී ඇත.

චිත්‍රපටයට හිමි වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සහ ඇකඩම් සම්මානය ලැට්වියානු ජාතික කලා කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනය කරන ලදී.

මෙම සමිමාන ද්ව්ත්වය ලැට්වියානු වැනි රටකට හිමි අගනා වස්තුවක් ලෙස එම රජය සහ ජනතාව විශ්වාස කරන නිසාම සම්මානය නැරඹීමට දින දහයක් පුරා 15,000ක ජනතාව පැමිණීම සිද්ධ වූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

Academy Award statuette at the Latvian National Museum of Artලැට්වියානු ජාතික කලා කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනට තබා ඇති 'Flow' චිත්‍රපටයට මෙවර හිමි වූ ඇකඩම් සම්මානය  

ලැට්වියාව යනු යුරොපයේ පිහිටි සොබා සෞන්දර්යෙන් අනූන කුඩා රාජ්‍යයකි. එහි වාසය කරන්නේ ලැට්වියානු ජාතිකයන්ය.

ලැටිවියානු සිනමාවේ උප්පත්තිය පැමිණෙන්නේ රුසියානු සිනමාවෙනි. මහා සිනමාකරු සර්ජි අයිසන්ස්ටයින්ගේ උපත සිදු වී ඇත්තේ ද ලැට්වියාවෙිදී ය.

චිත්‍රපටයේ සතුන්ගේ හඬවල් සියල්ලම සැබෑ සතුන්ගෙන් ලබා ගැනීමට චිත්‍රපටයේ කණ්ඩායම ඉතා දැඩි උත්සාහයක් දැරූ බැවින්, ඔවුන් චිත්‍රපටය සඳහා සැබෑ සතුන් වෙත ගොස් ශබ්ද පටිගත කළහ.

කැපිබරා නම් සත්ත්වයාගේ ශබ්දය ලබා ගැනීම සඳහා, ශබ්ද ඉංජිනේරුවරයාට සත්වෝද්‍යානයකට ගොස් කැපිබරා සත්ත්වයා ශබ්දය ලබා ගැනීමට ව්ශාල වෙහෙසක් දරන්නට සිදු වු බව අධ්‍යක්ෂවරයා විසින් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් වෙත පවසා තිබුණා.

චිත්‍රපටයේ කතාව සරලබවින් යුතු වුව ද එහි අරුත් පිරී බොහෝ දෑ තිබේ.

ජීවිතය නමැති රුවල් යාත්‍රාවෙහි ගමන්ගන්නා ජීවිත කිහිපයක නිරික්ෂණ ප්‍රේක්ෂකයා වෙත දිග හැරෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත වඩාත් කැපී පෙනෙන්නකි. මන්ද දෙබස් රහිත වූ චරිතයක් හැසීරිමි රටාවක් මඟින් සංවර්ධනය කර ඇති ආකාරය චිත්‍රපටය වඩාත් ප්‍රශස්ථබවක් අත්කරගන්නා නිසාවෙනි.

 නිදර්ශනයක් ලෙස චිත්‍රපටයේ මුලින් සිටින බළල් පැටවාගේ ස්වභාවය සහ ගති ලක්ෂණ චිත්‍රපටය අවසානයේදී සහමුලින්ම වෙනස් වේ.

බිය පරදා ධෛර්යසම්පන්නව නැඟී සිටින්නකු බවට පත් වේ.

මිත්‍රත්වය, සහකම්පනය වැනි මනුෂ්‍ය වටිනාකම් මෙම සත්ත්වයන්ගේ හැසිරීම වෙත ජීවය කවා තිබේ.

අහිමි වීම, නිර්භීතකම සහ ජීවිතයේ සහ මරණයේ චක්‍රීය ස්වභාවය පිළිබඳ සිදු කළ ගවේෂණයක් ලෙස 'Flow' චිත්‍රපටය ඇතැමි විචාරකයන් විසින් හඳුන්වයි.

චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානය නතු කරගන්නේ කොළ, නිල් පැහැයේ ප්‍රභේදවලින් සමන්විත අසිරිමත් රූප නිර්මාණයයි.

ඊට සාම්‍යවන වැසි බිඳු වැටෙන ශබ්ද, ජල තරංගවල ශබ්ද, සුළඟට සෙලවෙන තුරුලතාවන්හි රිද්මයානුල ශබ්ද දෙසවන් පිනවන භාවනාවක් වැනි ය.

 

 476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ-

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 2025 මාර්තු 27 වැනි බ්‍රහස්පතින්දා දින සරසවිය පුවත්තේ මුල්වරට පළ විය.)

Back to top
Go to bottom