lan englan tam

විශේෂාංග

මේ ඔක්තෝම්බර් මාසයේ ඔබට නැරඹිය හැකි චිත්‍රපට 3 ක් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- තාරක සම්මාන් - (බීබීසී සිංහල)

2025 වසර ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට මෙන් ම ප්‍රේක්ෂකයින්ට සතුටුදායක වසරකි.

ඒකාකාරී වින්දනයකට නතුව තිබුණු සිනමා ශාලා මේ වන විට විචිත්‍ර නිර්මාණ ගොන්නකින් පිරී ඇති බව ප්‍රේක්ෂක අදහසයි.

කලින් වේලාවක් වෙන් කර ගැනීමට අපොහොසත් වුවහොත් චිත්‍රපටය නැරඹීමේ ආසාව අත්හැර ගත යුතු තත්ත්වයට පත් වීමට තරම් ශාලා අද කාර්යබහුල වී තිබේ.

"වයස් භේදයකින් තොරව වේලාව නොතකා" ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වෙත ඇදී එන අයුරු නිරීක්ෂණය කළ හැකි අතර ම "හවුස් ෆුල්" ලේබලය නොඇලවුණු සිනමා නිර්මාණයක් සොයා ගැනීම ද අපහසු වී ඇත.

මීට පෙර නව චිත්‍රපටයක ආස්වාදය විඳ ගැනීමට මාස ගණනක් බලා සිටීමට සිදු වූ ප්‍රේක්ෂකයින්ට දැන් එකවර චිත්‍රපට පොකුරක් රස විඳීමට අවසථාව උදා වී තිබේ.

"ඉස්සර එක ෆිල්ම් එකක් බලලා අලුත් එකක් බලන්න මාස ගාණක් ඉන්න වෙනවා. ඒත් දැන්, එකක් බලලා ආවට පස්සේ ඊළඟ සතියෙත් බලන්න ෆිල්ම් එකක් තියෙනවා," ප්‍රේක්ශිකාවක් බීබීසී සිංහල වෙත පැවසුවා ය.

විචාරකයින්ට අනුව, මෙය ශුභදායි පණිවිඩයකි. ඇතමුන් ඇතැම් නිර්මාණ විවේචනය කළ ද තවත් පිරිසක් ඒවා අගයති.

"වෙන දා අපි දකිනවා වගේ ප්‍රසිද්ධ අය නෙවෙයි විචාර ලියලා තිබුණේ. සාමාන්‍ය මිනිස්සු. හොඳ විතරක් නෙවෙයි, නරකත් කියලා තිබුණා. ඒකත් එක්ක ෆිල්ම් එක බලන්න යනවා ද නැද්ද කියන එක තීරණය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා," ප්‍රේක්ෂිකාව පැවසුවා ය.

 

මේ, ඔක්තෝබර් මස ඔබට නැරඹිය හැකි සිනමා නිර්මාණ කිහිපයකි.

 

1. නීරා 

 

 

"මිනිහෙක් තමන්ගේ ජීවිතේ මොකකට හරි අවංක වෙන්න ඕනේ මේඝ. මට ඔයාව එක පාරක් ඉඹින්න පුළුවන් ද...?" සමාජ මාධ්‍යවල සැරිසරන ඔබට බොහෝ විට මෙම දෙබස් ඛණ්ඩය හුරුපුරුදු වන්නට ඉඩ ඇත.

මේඝ, ප්‍රනීති සහ රශ්මි වටා පැය 2යි මිනිත්තු 11ක කාලයක් පුරා දිග හැරෙන නීරා, ආදරණීය ප්‍රාර්ථනා, විසල් ආදරේ චිත්‍රපටවලින් පසු වාසව බදුගේ රිදී තිරයට ගෙන ආ තෙවන සිනමා නිර්මාණය යි.

සෙනිත් ගජවීර මේඝ ලෙසත්, ශනුද්‍රි ප්‍රියසාද් ප්‍රනීති ලෙසත්, කසුනි කාවින්දි රශ්මි ලෙසත් ප්‍රධාන චරිත රඟ දක්වන නීරා ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ තිර රචනයකි. කෞෂල්‍යා ප්‍රනාන්දු මේඝගේ මව ලෙස රඟ දක්වන අතර නෙලුම් කුළුණ චිත්‍රපටයෙන් පසු සිනමා ප්‍රේක්ෂකයින්ට චිත්‍රපට දෙකකින් චරිත දෙකක් ලෙස එකවර ඇය දැක ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි.

යසස් මැදගෙදරගේ සංගීතය නීරා තවත් හැඩ කළ බව ප්‍රේක්ෂක අදහසයි.

අතීත මතකයකින් මිදීමට නොහැකිව වර්තමානයේ ජීවත් වන තරුණයෙකු වන මේඝ ජනප්‍රිය නර්තන ශිල්පිනියක වන ප්‍රනීති සමඟ විවාහ දිවියට එළඹ එය සාර්ථකව ගොඩනගා ගනී. එසේ වුව ද ඔහුගේ අතීතයේ සියලු රහස් දන්නා පැරණි යෙහෙළිය රශ්මි වසර ගණනාවකට පසු නැවත හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිතවල සතුට අභියෝගයට ලක් වේ. පවතින යථාර්ථය සහ නොපවතින සිහිනයක් අතර සිරවන මේඝගේ ගමන ආදරය, රහස් සහ කැපවීම්වලින් පිරුණු ප්‍රේමයේ නොකියවූ පරිච්ඡේදයක් දිග හරී.

වසර එකහමාරක් වැනි කාලයක් තුළ නිර්මාණය වුණු නීරා තිරගත කිරීම අරඹා මේ වන විට දින 25ක් ගතව ඇති අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ වාසව බදුගේ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවේ, රු. ලක්ෂ 1,000 ඉක්මවූ අදායමක් ඉපැයීමට එය සමත්ව ඇති බව ය.

"මම කලින් කරපු චිත්‍රපට දෙකට වඩා සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා. කලින් චිත්‍රපට වාණිජ පැත්තට බර නිසා විවිධ විවේචන තිබුණා. නමුත් නීරා ගැන හිත බිඳෙන තරම් අයපත් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ," වාසව බදුගේ පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ සුමිත්‍රා රාහුබද්ධ වැනි ප්‍රවීණ ලේඛිකාවකගේ සම්බන්ධ වීම චිත්‍රපටයේ හැඩය වෙනස් වීමට බලපෑ බව ය.

"චිත්‍රපටයේ මුල් භාගය වාණිජමය ඈන්ගල් එකක ගිහිල්ලා පස්සේ ටික ටික වෙනස් වෙනවා ස්ටෝරි ටෙලින් ඈඟල් එකකට. මික්ස් ඔෆ් ටූ වර්ල්ඩ්ස් කියන එක තමයි හිතුවේ මම මේ පාර ගේන්න ඕනේ කියලා," වාසව චිත්‍රපටය දිග හැරෙන අයුරු පැහැදිලි කළේ ය.

ප්‍රේක්ෂකයෝ වෙනස් වෙනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ විතරක් ම නෙවෙයි නේ ෆිල්ම් එක බලන්නේ. සින්දු ටික හරි විඳලා යන්න පුළුවන් වෙන්න කමර්ෂල් ඈන්ගල් එකෙන් තමයි ෆිල්ම් එක හැදුවේ," ඔහු තවදුරටත් පැවසීය.

නීරා නැරඹූ ප්‍රේක්ෂකයින් ඒ පිළිබඳව පැසසුම් මෙන් ම විවේචන ද සමාජ මාධ්‍යවල සටහන් කර ඇති අයුරු නිරීක්ෂණය විය.

"නීරා බැලුවා ඇත්තට ම ලංකාවේ ෆිල්ම්වල මෑතක ආපු වාණිජ ගණයේ උඩින් ම තියන්න පුළුවන් ෆිල්ම් එකක්. විශේෂයෙන් කලර් ග්‍රේඩින්, ලෝකේෂන් එහෙම මරු සහ ඉන්න නළු නිළියෝ ටික දෙන්න පුළුවන් උපරිමය දෙනවා තමන්ගේ චරිතයට," එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

චිත්‍රපටය විවේචනය කරමින් තවත් පරිශීලකයෙක් මෙලෙස පැවසීය: "පටන් ගන්නේ එක තැනකින්, මැද යන්නේ තනිකර ඊට හාත්පසින් ම වෙනස් කතාවක්."

"මම උත්සහ කරන්නේ මම කලින් කරපු ෆිල්ම් එකට වඩා මේක හොඳ කර ගන්න," වාසව ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

ලලින්ද විජේවික්‍රම සහ හිරුනි සිතාරා බදුගේගේ නිෂ්පාදනයක් වන නීරා දිවයින පුරා සිනමා ශාලාවලදී මෙන් ම ඔස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාවේදී ද නැරඹිය හැක.

 

2. ආයු 

 

547626380 1185847710231003 7977756234548129759 n

 

"මේ ලෝකේ කියන්නේ අහම්බයක් කියලයි මම ඔයාගෙන් ඉගෙන ගත්තේ. අපි දෙන්න ම තෙමුණේ එක ම වැස්සේ. මෝසම් හුළංවලට ගහගෙන ආපු ඒ වැස්සේ අපි දෙන්න ම අත් අල්ල ගෙන නැටුවා. ඒ හීතලට මම හරි ම කැමතියි. ඔයාගේ දිළිසෙන ඇස්වලට මම ගොඩක් ආදරේ කළා. ඔයාගේ හරි පිළිවෙලට තිබුණු ජීවිතේ කීතු කීතු කරලා ඉරලා දැම්මේ මම..."

සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩනැගුණු ආයු චත්‍ර වීරමන්ගේ සිනමා අධ්‍යක්ෂණයකි. 2017 වසරේ තිරගත වුණු ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වූ ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් පසු ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ආයු මිනිත්තු 116ක් පුරා දිග හැරෙන චිත්‍රපටයකි.

නිශ්මි ලෙස සැන්ඩ්‍රා මැක්, නිශ්මිගේ මව ලෙස දිවංගත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා, සචින් ලෙස ජගත් මනුවර්ණ, රවී ලෙස අශාන් ඩයස්, ආයු ලෙස කෙනාරා වීරතුංග රංගනයෙන් දායක වන ආයු සමන් වීරමන් රචනයකි.

චත්‍ර වීරමන් සහ ශක්ති වීරසිංහ තිර රචනයෙන් ද කාලිංග දේශප්‍රිය කැමරාකරණයෙන් ද මිලින්ද තෙන්නකෝන් සංගීතයෙන් ද දායක වෙති. ආයු ජෙනරල් දයා රත්නායකගේ සහ යසස් රත්නායකගේ නිෂ්පාදනයකි.

 

 

"ආයු ආකෘතියක් විදිහට වෙනස්. සරල කතාවක් ප්‍රස්තුථයක් විදිහට තියෙන්නේ. බැලූ බැල්මට හිතන්න පුළුවන් මේක සම්භාව්‍ය චිත්‍රපටයක් කියලා. එහෙම නැහැ. හරි සුමටව ගලා යන කතාවක්.

හැබැයි ඩ්‍රාමා ශානයරක් ඇතුළේ නීරස කතාවක් ඉදිරිපත් කරනවාට වඩා, ඊළඟ මොහොතේ මොකක් ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කුතුහලයක් දනවන විධියේ ආකෘතියක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ," චිත්‍රපටයේ අධ්‍යක්ෂ චත්‍ර වීරමන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයින් කතාව ගලා යාමේදී පූර්ව නිගමනවලට එළඹිය ද ඊට හාත්පසින් වෙනස් අත්දැකීමට ඔවුන්ට මුහුණ දීමට සිදුවන බව ය.

"ඉතින් මේ ශානරයේ චිත්‍රපටයක් මෑත කාලයේ ආවේ නැහැ කියන එක තමයි ගොඩක් මේ චිත්‍රපටය බලපු අයගේ අදහස," චත්‍ර තවදුරටත් සඳහන් කළේ ය.

"ඩ්‍රාමා ශානරය ගැන අපි හිතන්නේ ම මේක නීරසයි, බලන් ඉන්න බැරි වේවි කියලා නේ. හැබැයි ඒක නෙවෙයි. එතනින් එහාට ඩ්‍රාමා එකක් ඉදිරිපත් කරන්න ආකර්ෂණීය ක්‍රම තියෙනවා. පැහැදිලිව ම මම ෆිල්ම් කරන්නේ ප්‍රේක්ෂකයින්ට ඒ වගේ අත්දැකීමක් දෙන්න. වෙනස් විධියේ දෙයක් පෙන්වන්න. ඒක මම ප්‍රකාශ කරන විධියෙන් වෙනස් කරනවා. ඒ වගේ ම හැඟීම් එක්ක යන එක තමයි මම පෞද්ගලිකව ඒක ඇතුළේ විඳින කෑල්ල," ඔහු තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කළේ ය.

අනෙක් චිත්‍රපට ගැන මෙන් ම ආයු චිත්‍රපටය ගැන ද සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කතා බහ කරති, අදහස් දක්වති. චත්‍ර පෙන්වා දුන්නේ, චිත්‍රපටය නිර්මාණයට දායකවූවන්ට සාපේක්ෂ, චිත්‍රපය මගින් ඉස්මතු කරන හැඟීම් සමුදාය ප්‍රේක්ෂකයින්ට වඩා ත් ගැඹුරින් සංවේදනය වන බව ත් ඔවුන් ඒ බව පවසන බවත් ය.

දෘශ්‍ය ප්‍රයෝග (VFX) විෂයෙහි මෙන් ම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණයේ බොහෝ අත්දැකීම් ඇති ඔහු මේ වන විට ඔහුගේ නවතම සිනමා නිර්මාණයේ ද වැඩ කටයුතු අරඹා ඇති බව බීබීසී සිංහල වෙත පැවසීය.

"ඊළඟ වැඩේ ගත්තොත් ඔය ශානර දෙක ම නෙවෙයි. මේ වෙලාවේ ලියාගෙන යන ගමන් ඉන්නේ. ඒක වෙනස් ම ශානරයක්. වෙනස් ම අභියෝගයක්. එහෙම එකකට කොටුවෙන්න මම කැමති නෑ. ත්‍රිලර් ශානරය ඇතුළේ අපිට කොච්චර යන්න පුළුවන් ද? හොරර් ශානරයේ ඇත්තට ම අපි ගිහිල්ලා නැහැ තාම හරියට. සයි-ෆයි කියන එක අපිට ප්‍රබන්ධයක් ම තමයි. ඒක අපිට ගේන්න පුළුවන් තැන් තියෙනවා. විධි තියෙනවා. ඒක හොයා ගන්න එක මාර අභියෝගයක්. මම කැමති එහෙම අභියෝග භාර ගන්න," ඔහු වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් ඔබට ආයු නැරඹිය හැක.

 

3. මෝඩ තරිඳු

තාක්ෂණික විද්‍යාලයක ඉගෙනුම ලබන තරිඳු සහ දිනූ පෙම්වතුන්‍ ය. ඒ අතරතුර විද්‍යාලයට අලු‍තින් පැමිණෙන රසික සහ දිනූ අතර සම්බන්ධයක් ඇතැයි තරිඳු සැක කරයි.

ඒ පිළිබඳව ඔහු දිනූගෙන් විමසයි. නමුත් තරිඳුගේ සැකය දුරු කරමින් රසික, දිනූගේ පැරණි මිතුරෙකු බව ඇය පවසයි. නමුත් දිනූ තමන්‍ට බොරු කරන බව තරිඳු සාක්ෂි සහිතව තහවුරු කර ගන්නේ මෙලොව හැරගොස් සිටින ඔහුගේ මිත්තණියගේ උපකාරයෙනි.

ඒ වන විට තරිඳු ද මිය ගොස් සිටින අතර තරිඳු දිනූගෙන් පළිගැනීමට තීරණය කරයි.

එතැන් සිට නොසිතන මානයකට මෙරට ප්‍රේක්ෂකයින් රැගෙන යන මෝඩ තරිඳු චිත්‍රපටය තිසර ඉඹුලානගේ දෙවන සිනමා නිර්මාණයයි.

නිනෝ ලයිව් චිත්‍රපටයෙන් වසර 10කට පමණ පසු මෙරට සිනමා රසිකයින්ට ඔහු තිලිණ කරන මෝඩ තරිඳු හාස්‍ය රසයෙන් පිරි සිනමා නිර්මාණයක් බව ප්‍රේක්ෂක අදහසයි. නමුත් ඒ පිළිබඳව විවේචන ද පවතී.

සූර්යා දයාරුවන් තරිඳු ලෙස, ශානුද්‍රි ප්‍රියසාද් දිනූ ලෙස, ධනුක දිල්ශාන් රසික ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු මිත්තණිය ලෙස ත් රංගනයෙන් දායක වන මෝඩ තරිඳු තිසර මංගල බණ්ඩාරගේ රචනයකි.

ශෙහානි කහඳවල, නිල්මිණි කෝට්ටෙගොඩ, සේවියර් කණිෂ්ක සහ නිමල් ජයසිංහ ආදී රංගන ශිල්පීහු ද චිත්‍රපටයට දායක වෙති.

දිනේෂ් ගමගේගේ සංගීතයෙන් හැඩ වන මෝඩ තරිඳු හසිත වර්ණසූරියගේ කැමරාකරණයකි.

 

 

"මේ චිත්‍රපටයේ නොපෙනෙන ලෝකය සහ පෙනෙන ලෝකය අතර කතා පුවත, බහුතර ප්‍රේක්ෂක පිරිසකට යාමට නම් මෙය "විය හැකි" සත්‍යයක් යැයි ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු යැයි මගේ හැඟීමයි. චිත්‍රපටය අවසානයේ මෙය නැරඹූ ප්‍රේක්ෂකයින්ට, තමන් වත්මනෙහි ඇසුරු කරන දරුවන්, දෙමව්පියන්, යහළුවන් ඇතුළු සෑම කෙනෙකු ම පෙර භවයක තමන් සමග ළඟින් සිටි තැනැත්තැන් ම දැයි සිතෙන්නට ඉඩ හැරිය යුතු ය.

එබැවින් චිත්‍රපටය නිර්මාණයේදී, ඒ සඳහා එදිනෙදා සාමාන්‍ය මිනිසුන්ට හුරු පුරුදු දර්ශන තල මෙන් ම තරු නළුවන් යැයි නොපෙනෙන රංගන ශිල්පීන් ද රංගනයෙන් දායක වීම අතිශය වැදගත් යැයි සිතෙයි," යනුවෙන් තිසර ඉඹුලාන අධ්‍යක්ෂවරයාගේ සටහනේ ලියයි.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, චිත්‍රපටය පිළිබඳව ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටට පත්වන බව ය.

"මුල් චිත්‍රපටය කරලා අවුරුදු 10කට විතර පස්සේ නේ මේක එන්නේ. එතකොට මායි තිසර මංගල බණ්ඩාරයි කතා කරපු දේ තමයි ඊළඟට කරන චිත්‍රපටය මොන වගේ එකක් වෙන්න ඕනේ ද කියන එක. අපි කාට ද චිත්‍රපටය කරන්නේ කියන එක," මෝඩ තරිඳු නිර්මාණය කිරීමට පසුබිම සැකසුණු අයුරු ඔහු පැහැදිලි කළේ ය.

චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර සිදු කළ අධ්‍යයනය ඒ වෙත ප්‍රේක්ෂකයා ආකර්ෂණය වීමට හේතු වූ බව තිසර තවදුරටත් පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ තම නිර්මාණය "අතිශය ශ්‍රී ලාංකික" බව ය.

"ශානරයකට කොටු වෙනවාට වඩා අපිට ඕනේ වුණේ ශ්‍රී ලාංකීය ජනතාවට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් හදන්න. කාට හරි කියන්න පුළුවන් මේක කොමඩි ෆිල්ම් එකක් කියලා. නැත්නම් සුපර් නැචුරල් කියලා. හැබැයි මම හැදුවේ අතිශය ශ්‍රී ලාංකික චිත්‍රපටයක්."

2025 වසරේ චිත්‍රපට කර්මාන්තයේ ඇති වූ වෙනස මගින් "චිත්‍රපට උන්මාදයක්" නිර්මාණය වීම යහපත් නැඹුරුවක් බව තිසර පැවසීය.

"ඉස්සර සිංහල සිනමාවේ එකයි දෙකයි අවුරුද්දකට චිත්‍රපටි හැදුණේ. හැබැයි 2025 අවුරුද්ද ගත්තා ම සිනමා කෘති ගොඩක් හැදිලා තියෙනවා. එක එක රසවල්වල චිත්‍රපට හැදෙන එකෙන් වෙන්නේ මේ කර්මාන්තය දියුණු වෙන එක. ඒක කර්මාන්තයට වගේ ම, ඒකේ වැඩ කරන මිනිස්සුන්ට හොඳ දෙයක්," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෝඩ තරිඳු දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැක.

මෙම චිත්‍රපටවලට අමතරව අනුෂ එදිරිමුණිගේ 'Mother Lanka' සහ නවයුගා කූගරාජා අධ්‍යක්ෂණය කළ දමිළ භාෂිත චිත්‍රපටයක් වන 'බොම්මෙයි' ආදී චිත්‍රපට ද මේ දිනවල සිනමා ශාලා වල තිරගත වෙයි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'මැයි මාර ප්‍රසංගය', අරුණ ජයවර්ධනගේ 'මාරියා', චමින්ද ජයසූරියගේ 'Father' ආදී චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිත ය.

 

කර්තෘ - තාරක සම්මාන් ( බීබීසී සිංහල)

(මෙම ලිපිය bbc (සිංහල) වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom