lan englan tam

විශේෂාංග

මම ලියන්නේ මගේ සම මතුපිටට දැනෙන දේ - ශමෙල් ජයකොඩි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

('අරුණ' පුවත්පත)

‘‘අප හැමෝම තුළ අපම තනාගත් අපේම දූපත් ඇතැයි නදීරාද මතක් කළාය. කොටින්ම මගේ ළඟද ඒ ටික දිනට විසිතුරු කොදෙව්වක් පැමිණ නතර වී ඇත. අපි කොහේ විසිර ගියත්, ගිරි ශිඛරයක් අප ඉදිරියේ තිබුණත් නැතත්, මේ තෙතමන හුළඟ හමන ආලින්දය මැද අප හමු වූ පරිද්දෙන් සීගිරිය දෙස බලාගෙන ඉතිහාසය කැඳවමින්, වැව් තෙර තෙක් දුවමින් කාලය ගෙවී ගිය අන්දමට අලුත් පිරිසක් කොහේදී හෝ මට මුණගැසෙනු ඇත, කිසි දිනක නොලැබූ අත්දැකීම් පසුපස්සේ ලුහුබඳිනු ඇත’’

මේ ශමෙල් ජයකොඩිගේ නවතම ප්‍රබන්ධය ‘සීගිරි කොදෙව්’වෙන් (සරසවි ප්‍රකාශන) උපුටා ගන්නා ලද්දකි. බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන්වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි ‘සීගිරි කොදෙව්’. මේ එම නවකතාව පිළිබඳ ශමෙල් ජයකොඩි සමඟ කළ සංවාදයකි.

 

සංවාදකයා ‘‘දාර්ශනික ඥාන අවකාශයක සිට ලියන දෙයක් මිස, ඉබාගාතේ ලියන හැඟීම් වැඩකට නැත’’ ‘සීරිගි කොදෙව්’ නවකතාවේ මතීෂට සාහිත්‍යය උගන්වන හැරල්ඩ් සර් ගෙ මේ අදහස අපේ මේ සංවාදයට හොඳ ප්‍රවේශයක්. ඔබේ ලිවීම ගැන ඉඟියක්ද මේ...

ශමෙල් ජයකොඩි - ඒ කතාව දෙපැත්ත පෙරළමින් තමා මතීෂගේ චරිතය නව කතාව තුළ ඇදගෙන යන්නේ. පොතක චරිත ගොඩනඟලා ඒ තුළින් මම යමක් හදාරනවා. දර්ශනය හැම විටකම අපව බේරාගැනීමට පිහිටට එන්නේ නැහැ. ජීවිතය යනු කුමක් ද? කියා හොයන දාර්ශනික ප්‍රශ්න අතරේ කල්මැරීම වෙලාවකට අපරාධයක් වගේ. හේතුව ජීවිතය ඊට වඩා විශාල අත්හදා බැලීමට හැකි දෙයක්. මේ නවකතාවම සීගිරිය හරහා මගේ පරිකල්පනය අයාලේ යැවීමක්. එවිටයි මේ යුතෝපියාව නිර්මාණය වුණේ.

අනෙකාගේ වේදනාව හා සතුට ගැන පරිකල්පනය කියා දෙයක් තියෙනවා. ලංකාවේ අපි පරිකල්පනයට වෙලාව වැය කරන්නේ අඩුවෙන්. අපට තියෙන්නේ කුඩා කළ පටන් නියම කළ හර පද්ධතියක් තුළ පුරුදු පුහුණු කළ සිතිවිලි. රටක සංවර්ධනය නවතින්නේ එතැනින්. වෙලාවකට මවාගැනිල්ල දැනුමට වඩා උසස්.

 

‘‘ජීවිතයෙදියි, කලාවෙදියි අපට ඕනම දෙයක් කරන්න අයිතිය තියෙනවා’’ මෙහෙම කියන්නේ සීගිරි කොදෙව්වෙ ජේජේ. රාමුවෙන් පිට සිතන මෙවැනි යෞවනයන් ජීවිතය, කලාව ජයගන්නවා වගේම, ජීවිතයෙන් කලාවෙන් පැනයන අවස්ථාත් තියෙනව නේද?

රාමුවෙන් පිට සිතීම නිසා කතාවේ සියලුම තරුණ තරුණියන් අතරමං වුණු අය. සීගිරිය වගේ ඓතිහාසික තැනක ඔවුන් තමන්ගේම සංස්කෘතික ලෝකයක් හදාගත්ත අය. ජීවිතය විචිත්‍රව ගත කිරීම ජීවත්වීමට ඇති එකම විසඳුම සේ බාරගත්ත තරුණ පිරිසක් එහි ඉන්නේ. මේ තුළ අවසානය තෘප්තිමත් වීමද විනාශයට ළංවීමද කියන කාරණාව මම හොයන්නේ නැහැ. ඒ ඕනෑම දෙයක් විය හැකියි. හරියට ජීවිතය වගේ හොඳට හෝ නරකට හෝ ඔවුන් ඉරණම තමන් අතට ගත්තා. තමන් තුළම කැරලි ගසමින් දවස ගෙවන අය. ජීවිතය අලංකාර කර ගැනීම හා සංකීර්ණ බවට ඇද වැට්ටවීමට කැමැති මිනිස් ජීවිතවලින් මනස පුරවා ගත්ත අය.

 

මේ නවකතාවේ කතාකරුවා මතීෂ. ඔහු මන්ගා කාටුන් නරඹන, වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වුණු යෞවනයෙක්. මතීෂ පිළිබඳ මූල බීජය ඔබට උපදින්නේ කොතැනින් ද?

අද කොළඹ ඉන්න දරුවන් අලුත් පිරිසක්. ඔවුන් ඉංග්‍රීසියෙන් පොත් කියවන අය. මතීෂට යම් විශේෂත්වයක් ගෙන ඒමටයි මන්ගා කතා, ඇනිමේ ගැන කියවෙන්නේ. මතීෂ අලුත් පරපුරෙන් එන සීගිරියෙන් පාඩම් ඉගෙනීමට තරම් නවීන විය යුතු වුණා. සීගිරිය මතීෂට හිතන්න යමක් ඉතිරි කරනවා. ආත්මයක් උපද්දනවා. රස වින්දනය, ගැඹුරු කල්පනාව, විමර්ශනාත්මකව බැලීම ඔහුට තියෙනවා. කොහොමටත් සීගිරියේ අතීත උරුමය හා මතීෂගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මික බව අතර ඝට්ටනයක් විදිහට කතාව ඇදෙන්නේ.

මගේ පුතුගේ වයසත් ඒකම නිසා මට චරිත නිර්මාණය පහසු වුණා. ඔහු සමඟයි මා සීගිරිය නැග්ගේ. අවසානයේ ඔහුම චරිතයක් වෙලා නතර වුණා.

 

ඇයි ඔබ ගල්කිස්සේ ඉන්න මතීෂ වැනි නව යොවුන් තරුණයෙක් සීගිරි කොදෙව්වට යවන්නෙ....

මම තෝරන ‘කටහඬ’ තමයි පාඨකයා පොත සමඟ බද්ධ කරන දේ. එය මනුෂ්‍යත්වය දිහා, සමාජය දිහා විවෘතව බලන එකක් විය යුතුය. මෙතැනදී ඔහු යෞවනයකු වීම අනාගත පරපුර නියෝජනය කිරීමක්. සිතැඟි තුළින් වේදනාව තුළින් මනුෂ්‍ය ජීවිතය අවලෝකනය කිරීම වැදගත්. චරිතය කතාවට එන්නේ එහෙම. තවමත් කුරුවල් නොවුණු විවෘත සුබවාදී මනසකින් ලෝකය දැකීමට ඔහුට හැකියි. කතාව විශ්වාසනීය කිරීමට, කතාවට බඳුන් කිරීමට පිටස්තරයෙක් එහි යැවිය යුතුයි. එවිටයි පරස්පරතා උලුප්පන්න හැකි. ජීවිතයෙන් හෙම්බත් වුණු, පාඩම් ඉගෙන ගත් කෙනෙක් නොවී පාසල් විය හමාර කළ තරුණයකු වීම මට සීගිරි ගමන පහසු කළා. යෞවනත්වය කොහොමටත් උපේක්ෂා සහගතයි. උනන්දුයි. ගැටලු සහගතයි.

 

සීගිරි කාශ්‍යප ගැන, සීගිරිය ගැන නවකතාවකින් කියන්න පෙළඹෙන්න හේතුව කුමක් ද? මතිෂ වගේ ඔබටත් සීගිරිය පිළිබඳ අතීත කාමයක් තිබුණා ද?

මම ලෝකය වටා ගියාට සීගිරිය වැනි ස්වභාවික පර්වතයක් මහ විශාල කලා කෘතියකට හරවපු තැනක් දැකලා නැහැ. විශේෂයෙන් පොකුණු හා මාලිගාවට නඟින කොටස අතර ඇති ශිලා උද්‍යානය, පිහිටි ගල් පර්වත මැදිකරගෙන හදපු උයන, අද අප දකින්නේ පඩිපෙල් හා ගල් කුළු පමණයි. එදා කොහොම තියෙන්න ඇත්ද? ඒ සෞන්දර්යාත්මක නිර්මාණය වෙනුවෙන් මාත් යමක් ඉටු කළ යුතුයි කියන ණයගැතිභාවය මට තිබුණා. මට ඕනෑ පාඨකයාට ඇරයුම් කරන්න නඟින බහින පර්වතයක් නොවී, ගැඹුරු අර්ථයක් සොයමින් සීගිරියට යන්න ආරාධනා කරන්න.

 

සීගිරිය පිළිබඳ සෞන්දර්යාත්මක සිතුවමක් මේ නවකතාවේදී මවන්න ඔබ උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් ඔබ සීගිරියේ කෙතරම් කාලයක් ගත කළා ද?

මම සීගිරියට හත්අට වතාවක් ගියා. ඒත් මගේ පරිකල්පනයේ නම් සීගිරිය නොනවත්වා වැඩුණා. ඒ කවදාහරි මට අවැසි කතාව ලියැවෙන තුරු. මම සංස්කෘතික ත්‍රිකෝණය මගින් කළ සඟරාවක් කියෙව්වා. අන්තර්ජාලය තුළින් විදේශික අයගේ සටහන් බැලුවා. ඔවුන් තමා මහ විකාර සේ පෙනෙන අදහස් මගේ ඔළුවට දැම්මේ. විශේෂයෙන් රුසියානුවන්. මේ අය සීගිරිය ගැන හීන දකින්නේ තමන්ගේ සංස්කෘතියට බර වෙලා. ඒකයි ලස්සන දේ. ප්‍රබන්ධයේදී අපට මහා බලගතු අවියක් ලැබෙනවා. අපිට යමක් ගැන විශ්වාසනීයත්වය අත්වන තරමට සාහිත්‍යමය කොටස හා එසේ නොවනු දේ සමබර කර ලිවිය හැකියි. පාඨකයාට දැනෙයි මම මහා ගවේෂණයක යෙදුණ විත්තිය. කතාව පර්‌යේෂණ පිටපතක් කරලාත් බැහැ. ඇත්තටම සියයට දහයක කරුණු සහ සියයට අනූවක පරිකල්පනය තමා පොතේ තියෙන්නේ.

 

මේ නවකතාවට ඔබ ගෙනෙන ගල්කිස්ස වෙරළ තීරයෙ දිවි ගෙවන මිනිසුන්ගේ ජීවිතවල සිදුවන වෙනස්වීම් ඔබට හසුවුණේ කොහොම ද?

සීගිරි පුරාවෘත්තයට ගල්කිස්සේ මෑතකාලීන පරපුර යැවීම අහඹු කාරණාවක්. කොළඹ ගාලු පාරක්, වෙරළක් අතර තීරයේ පැරැණි නිවාස හා ඉඩම් මිලට ගෙන මහල් නිවාස සංකීර්ණ ඉදිවී ඇති සැටි අපට දැකිය හැකියි. එක් නිවසක් තිබූ ඉඩමක තට්ටු ගණනක් උස නිවාස හැට හැත්තෑවක් ඇති කොළනි බිහිවෙනවා. මේවායේ වාසයට පැමිණෙන්නේ කලකට පෙර ඒ පෙදෙස්වලින් රට හැර ගිය ද්‍රවිඩ ප්‍රජාව, පීඩාකාරී වටපිටාවකින් පලාගිය, විදේශගතව හිඳිමින්, මුදල් අතේ ඇතිව ආපසු ඇවිදින් ඔවුන් මේ සුඛෝපභෝගී නිවාස මිලට ගෙන වාසය කරනවා. මෙයත් යම් ආකාරයක ගම් පෙරළියක්. කවුරුවක් මේ ගැන ලියලා නැහැ. මතීෂගේ පරපුරත් මෙලෙස ඉඩම් විකුණා දමා අභාවයට යන වෙනසක් බලාපොරොත්තු වෙන අය.

 

මතිෂගෙ බාප්පා ගොඩනඟන ‘සීගිරි ගම්මානය’ සීගිරිය සංචාරක ආකර්ෂණයට යොදා ගන්නේ කොහොමද කියන එකට හොඳ ආදර්ශයක්. මේ සීගිරි ගම්මානය ඔබේ සිතේ මැවෙන්නේ කිනම් අරමුණක් උදෙසා ද?

වෙනත් රටවල් ‘ඇඩ්වෙන්චර් ටුවරිසම්’ කියන සංකල්පය සංචාරකයන් මත යැපෙන ගම්මාන තියෙනවා. මගේ පරිකල්පනයේදී මම සීගිරියට එය ගෙනාවා. ලෝකය හා සසඳද්දි ලංකාව සතු ලොකුම සම්පත මුහුදු තීරයෙන් වට වුණු භූමිය තුළ ඇති භූවිෂමතාව, අතීත නටඹුන්, කලාකෘති හා අපේ සංස්කෘතික අංග සංචාරය තම ජීවිතය කරගත් ලෝක ප්‍රජාව මෙය හඳුනනවා. ඇල්ල, ආරුගම්බේ වැනි සංචාරක කලාප වගේ නොවී සීගිරිය වගේ තැනක් ගවේෂණයට පර්‌යේෂණයට මහ විශාල අවකාශයක් සලසලා දෙනවා. නවකතාවේ කියන ‘සීගිරි දූපත’ සංවිධානය කරන සංස්කෘතික අංග අලුත් අත්දැකීම් බොහෝමයි. පොතේ කියවෙන අරමුණත් එකයි. ගම හානිය අවම කරගනිමින් සංචාරය හා බැඳෙන හැටි මෙහි තියෙනවා.

මේ නවකතාව මතීෂගේ විස්තරාත්මක කථනයක්. මෙහි දෙබස් අඩුයි...

කතාව ගෙන යෑමට අවශ්‍ය දෙබස් පමණක් ලිවීම, සිතිවිලි දිගට ලිවීම නිසා පොතක පිටු ප්‍රමාණය ප්‍රයෝජනයට ගැනීමක් සිදුවෙන දෙයක්. පොතක මිල දරාගත නොහැකිව තිබියදී නිකරුණේ වචනයක්වත් ලිවීමට මම අකැමැතියි. පොත් ප්‍රකාශනය කියන්නේ වාණිජ කර්මාන්තයක්. ධනවාදයට හසු වූ දෙයක්. පොත් ප්‍රකාශකයා හා පාඨකයා කියන දෙදෙනාම අපට අවශ්‍යයි.

පොත ලියවිලා තියෙන්නේ ආත්මීය විවරණයක් විදිහට. එය ආත්මය වැමෑරීමක්. හිත ඇතුළේ මනෝභාව, ඝට්ටන හරහා කතාව ඇදගෙන යන්නේ. දෙබස් අඩුවීම එහිම දිගුවක්.

 

‘සීගිරි කොදෙව්’ ඔබේ දහඅටවැනි නවකතාව. ඔබේ නවකතා දෙස ආපසු බලද්දි පෙනෙන පොදු ලක්ෂණයක් තමයි එහි දේශපාලන තැවරුම් බොහොම අඩුවීම...

මට නම් ලිවීම කියන්නේ පරිකල්පනය. දේශපාලන රාමුවක හිඳිමින් ඒ ගැන විමර්ශනය කිරීමට ලියනවා කියන්නේ මං වගේ කෙනෙක්ට ඒක වේදනාවක්. දේශපාලන දැනුමට කොටුවීමට මට බැහැ. තමන්ට සිදුවුණු අසාධාරණය ලිවීම තමා ලේඛකයෙක්ගේ අවසානය.

අද සමාජයේ මනස දේශපාලන කුමන්ත්‍රණ, උගුල් ගැන දැනුමෙන් පිරිලා. මගේ පොතත් ඒ මනසටම ආමන්ත්‍රණය කරනවා නම් එය එක තැන රැඳීමක් මිසක් ඉදිරියට යාමක් නොවෙයි. ජීවිතයේ ඊට වඩා සෞන්දර්‌යයෙන්, සොබාදහමින්, කලාවෙන් පුරවාගත යුතු කලාප තියෙනවා. මතීෂගේ වයසේදී අපි හැම ආකාරයකම මරණ සිදුවෙන සමාජයක හිටියේ. දේශපාලනය අපේ පිහිටට ආවේ නැහැ. රෑට දොරට තට්ටු කළොත් හබරල ගාලට ගිහින් හැංගිලා, ජීවිතය බේරාගන්න කියලා මවුපියන් කී බව සමහරු මට කියා තියෙනවා. ඒ තුළ පවා අප ජීවත් වුණේ අපි අපේ ගැම්ම, හැකියාව, උත්සාහය වැනි දේ ආයුධ සේ අරගෙන ඉදිරියට ගිය නිසයි. අපි ජීවිතය ගොඩදාගත්තේ ඒ අයුරින් කියලා මට ස්ථීර නම් ඒ ගැනයි මම ලියන්නේ. කොටින්ම මම ලියන්නේ මගේ සම මතුපිටට දැනෙන දේ. මගේ ළඟින්ම හුස්ම ගන්න දේ.

 

 

491047285 10231409774259509 6042815206602045648 n 1

සංවාදය - ලක්මාල් බෝගහවත්ත

මෙම සංවාදය මුල්වරට සති අග 'අරුණ' ජාතික පුවත්පතේ (2025 -10 -05) දින පළවිය.

 

 

 

(මෙම ලිපිය 'Suranga Indika Lakmal Bogahawatta'  ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom