උදුල කරවන අවිඳු ගණඳුරු - පතල නැණ යුතු වෙමි මම නිසයුරු
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාටකය ප්‍රථම වතාවට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී රංග ගත වූයේ 1956 නොවැම්බර් 3 දාය. එතැන් සිට මේ දක්වා 69 වසරක් විවිධ නඵනිළියන් විසින් මනමේ කුමරු, මනමේ කුමරිය, වැදිරජු, රාජගුරු, පොතේගුරු වැනි විවිධ චරිතවලට තම දායකත්වය ලබා දී තිබේ.
එහෙත් මනමේ යැයි කී සැනින් එකවරම මතකයේ ඇඳී යන්නේ 56 මුල් නාටකයේ රඟපෑ චරිත කෙරෙහිය. මුල් නාටකයේ මනමේ කුමාරයා වූයේ බෙන් සිරිමාන්නය. කුමරිය ට්‍රිලීෂියා ගුණවර්ධනය. වැදි රජු එඩ්මන්ඩ් විජේසිංහය. පොතේගුරු ෂ්‍යාමන් ජයසිංහය.
මනමේ කතාව ලෙස ප්‍රචලිතව ඇති ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුද්ධර ජාතකයයි. සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුද්ධර ජාතකයේ සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික දර්ශනයද, මනමේ කුමරිය පිළිබඳ මානුෂීය විග්‍රහයක් ද එකතු කරමිනි. මෙම ප්‍රතිනිර්මාණයේදි සරච්චන්ද්‍රයෝ මනමේ කෝලම් හා කවි නාඩගම් වල ආභාසය පමණක් නොව අකිර කුරසෝවාගේ රෂෝමොන් චිත්‍රපටිය නැරඹීමෙන් ලැබූ අත්දැකීමද භාවිතා කළ බව පවසති.
"මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයෙහිදී හෝ ඇමරිකාවෙහිදී අකිර කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද "රෂෝමොන්" නම් චිත්‍රපටිය බැලීමෙන් පසු ය. "රෂෝමොන්" චිත්‍රපටියට ආශ්‍රය කරන ලද්දේ අකුතුගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ල ධනුග්ගහ (ධනුද්ධර) ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමානය."
( මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : පිං ඇති සරසවි වරමක් දෙන්නේ )
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (සේයාරුව ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා විසින්)
මම මේ වන විට මනමේ නාටකය දහ දොළොස් වතාවකට වඩා නරඹා ඇත්තෙමි. මුලින්ම මා එය නැරඹුවේ 70 දසකයේ අගභාගයේදීය. ඒ වන විට මුල් නාටකයේ රඟපෑ ප්‍රධාන නඵ නිළියෝ එහි රඟපෑවේ නැත. එහෙයින් මනමේ නාටකයේ මුල්ම සාමාජිකයන්ගේ රඟපෑම් මට දැකගන්නට ලැබුණේ නැත ඒ වන විට වසර 14 මුඵල්ලේ මනමේ කුමරාගේ භූමිකාවට පණ දුන් බෙන් සිරිමාන්න නොහොත් බෙනඩික් සිරිමාන්න ජීවිත කරළියට සමුදී තිබිණි. ඔහු මියගියේ 1970 ජුනි 16 වැනිදාය. එහෙයින් ඔහු ජිවමාන ලෙසින්මට කිසිදා දැකගන්නට නොලැබිණි.
මනමේ නාට්‍යයේ ජවනිකාවක් (සේයා රුව - ඩී.බී සුරනිමල විසිනි)
එහෙත් මනමේ නාටකයට වසර 25ක් සපිරි 1981 නොවැම්බරයේ වැදි රජු වූ එඩ්මන්ඩ් විජේසිංහ, මනමේ කුමරිය වූ ට්‍රිලිෂියා ගුණවර්ධන හා පොතේ ගුරු ෂ්‍යාමන් ජයසිංහ හමුවී විසිපස් වසරකට පසු මනමේ නාටකයේ මතක සටහන් පිළිබඳව දෙසතිය සඟරාවට ලිපි කිහිපයක් සකසන්නට මට අවස්ථාව උදාවිය. එහෙයින් ඔවුන්ගේ රංගනයන් නොදුටුවද ඔවුන් සැබවින් හමුවන්නට අවස්ථාව ලැබීම පිළිබඳව සියුම් සතුටත් ඇත.
තමා මනමේ නාටකයට සම්බන්ධ වූ හැටි එඩ්මන්ඩ් විජේසිංහ එදා මට පැවසුවේ මේ අයුරිනි.
‘‘ජීවිත කාලෙටම එකම නාට්‍යයක් පමණක් නරඹා තිබුණු මම නාට්‍යයක රඟපාන්නේ කොහොමද? මහාචාර්ය සරච්චන්ද්‍ර කෙරෙහි මා තුළ වූයේ ඉමහත් ගෙෳරවයක්. එහෙත් නාට්‍යෙය් රඟපාන්නට මා කොහොමවත් කැමති වුණේ නැහැ. ඒ නිසා මම හැමවිටම මහචාර්යතුමා මගහරින්නටඋත්සාහ කළා. ඒ දවස්වල මහනුවර ඇසළ පෙරහැර ආරම්භ වෙලා තිබුණා. නුවර පෙරහැර බලන්න මම හැමදාම නවාතැනින් පිටවෙලා යනවා. දවසක් එහෙම එළියට බහිද්දී කව්ද මාව අතින් අල්ල ගත්තා. ඒ බෙන් හා විමල් නවගමුව. ඒ් දෙන්න මාව සරච්චන්ද්‍රයන් ළඟට ඇදගෙන ගියා. පාර අයිනෙ තිබුණ වාහනේක සරච්චන්ද්‍ර මහත්තය හිටියා. මාව දැක්ක ගමන් ඒතුමා ඇහුව මොකද එඩ්මන් මාව මගහරින්නෙ කියලා. පහුවදා විශ්වවිද්‍යාලෙය්දී මට කීවා ගීතයක් ගායනා කරන්න කියලා. මමත් ගායනා කළා. ඒ්ක අහපු මහාචාර්යතුමා කිව්වා හෙට ඉඳල රිහසල්ස් ඒන්න කියලා. මාව මුලින්ම ගත්තේ පොතේගුරු චරිතයට. පස්සෙ වැදිරජු වුණා."
මුඵ දඹදිවටම තොප මහ රජ වුව මාගේ විජිතය මෙය මම වෙමි අගරජ
කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ අවසර නොමැතිව බල තට වන දේ
මට ඔහුගේ රංගනය මැවී පෙනේ.
මනමේ ප්‍රථම රංගනයට සූදානම්ව සිටි එඩ්මන්ඩ් නාට්‍ය ආරම්භ කිරීමට පෙර තිරය අස්සෙන් ප්‍රේක්ෂකාගාරය වෙත නෙත් යැවීය. පැමිණ සිටි පිරිස දුටු ඔහුගේ දෙපා වෙව්ලන්ට විය. කිසි දිනෙක නාට්‍යක රඟ පා නොමැති ඔහු මහත් සේ බියට පත් විය. සරච්චන්ද්‍රයන් ඔහුට බ්‍රැන්ඩි වීදුරුවක් දුන්නේය. බිය පහවිය. ඔහු රැඟුවේය. ඒක රැයින් ඔහු ප්‍රේක්ෂක ආදරයට පාත්‍රවිය. එඩ්මන්ඩ් නැත්නම් මනෙම් නාටකය බිහිවේදැයි කියන්නත් අමාරුයි යනුවෙන් විමල් නවගමුව වරක් පැවසුෙව් ඔහුගේ අපූරු රංගනය ප්‍රේක්ෂත හද දිනා ගත් හෙයිනි. මේ වන විට එච්මන්ඩ් විජේසිංහද අප හැර ගොසිනි.
මනමේ නාට්‍යයේ ජවනිකාවක් (සේයා රුව - ඩී.බී සුරනිමල විසිනි)
සකල බ්‍රහ්ම සුරනර මස්තකෙයහි සැදූ ශ්‍රී විභූශිත පා කමල්
අඛිල මෝහ තිමිරය දුරලමින් මුඵ ලොවේ දෙසූ සද්ධර්මය විපුල්
පතල මෛත්‍රී සිතින් සත්වයන් එතෙර කල බව සාගරෙන් විසල්
නිමල බැති ප්‍රේමයෙන් ත්‍රෛෙෙලාක්‍ය මුනිඳුන් වඳිමි තුමුල්
මනමේ නාටකය අරඹමින් පොතේගුරු චරිතය වේදිකාවට පිවිසෙනුයේ මෙම ගැයුමද සමගිනි. ප්‍රථම මනමේ රංගනෙය් සිට පුරා සිව් වසරක් අඛණ්ඩවද එතැන් සිට කඩින් කඩද මනමේ නාටකයේ පොතේගුරු චරිතයට පණ දුන්නේ ෂ්‍යාමන් ජයසිංහය. ඔහු මනමේ මුල් රංගනයෙන් විසි පස්වසරකට පසු තම මතකය මා සමඟ අවදි කෙළ් මෙසේය.
මා එකල පේරාදෙනිය විශ්වවිද්‍යාලෙය් දර්ශනය පිළිබඳ උපාධිය හදාරමිනුයි සිටියේ. සිංහල නාට්‍ය මණ්ඩලෙය් සභාපති අපිට කිව්වා නාට්‍යයක් සඳහා පැවැත්වෙන පරික්ෂණයකට එන්න කියලා. එහිදී ගීතයක් ගායනා කරන්න මට කිව්වා. ඊට පස්සෙ මාව පොතේගුරු චරිතයට තෝරා ගත්තා. මමකොළඹ සාන්ත ජෝසප් විදුහෙලන් අධ්‍යාපනය ලැබුවේ. සිංහල සංස්කෘතිය පිළිබඳ පුලුල් අත්දැකීමක් ලැබුවේ මනමේ නාටකයට සම්බන්ධවීමෙන් පසුවයි. මනමෙට සම්බන්ධ වෙනකොට මම කිසිම නාට්‍යයක් හෝ නාඩගමක් දැක තිබුණේ නැහැ. මුල් කාලයේ පොතේ ගුරු එක් චරිතයක් පමණයි. පසු නිෂ්පාදනවල එයට කණ්ඩායමක් එක් වුණා ගායනයට.
1957පේරාදෙනි සිංහල සංගමයේ සභාපති ලෙස පත් වූ ෂ්‍යාමන් ජයසිංහ පසුව මහාචාර්ය සරච්චන්ද්‍රෙග් කදාවළලු, ප්‍රේමතෝ ජායති සෝකෝ වැනි නාට්‍යවලද රඟපෑවේය. . රාජ්‍ය පරිපාලන සේවයේ සේවා අධ්‍යක්ෂවරයකු ලෙස කලක් සේවය කළ ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටී අතර පසුගියදා ජීවිතයෙන් සමු ගත්තේය. පසුගිය සමයේ ඔහු සමඟ මම ඉඳහිට ෆේස් බුක් ඔස්සේ මතකයන් අලුත් කර ගත්තෙමි.
මා පිය සැමියා මරු මුව වැටුණා කිමද කළේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා ඒ ඔබ දෝසා මේ ඔබ දෝසා
ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ සටනට වැදුණේ
මනමේ රජිඳා මරු මුව වැටුණා ප්‍රේමය හින්දා -ප්‍රේමය හින්දා
මනමේ නාටකයේ ප්‍රධාන භූමිකා අතුරින් මට හමු වී ඇති අනික් චරිතය ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මියයි. ඉතා නිරහංකාර කාන්තාවක වූ ඇය මින් වසර කිහිපයකට ඉහත ලොව හැර ගියාය. ඇය සමඟ නාට්‍යයක එක්ව වැඩ කරන්නටද මට අවස්ථාව හිමිවිය. ඒ් මහාචාර්ය රූඩි කොරෙන්ස්ගේ කලිගුලා ඉංග්‍රීසි නාටකයේය. ඇය එහි ප්‍රධාන නිළි චරිතය රඟ පෑ අතර මා එහි සහය අධ්‍යක්ෂවරයා හා වේදිකා පරිපාලක වීමි. ඒම නාට්‍යයෙන් පසු ඇය සිනමාවේ සහ පුංචි තිරයේ බොහෝ චරිත රඟපෑවද වේදිකා නට්‍යයක රඟපෑ අවසාන අවස්ථාව එය විය. වසර 14 පුරා නොකඩවා මනමේ බිසවලෙස රඟ පෑ ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය මනමේ නාටකයට අවුරුදු 25ක් සපිරුණු දිනවල තම අතීත මතක මා හා මෙලෙස පැවසුවාය.
මනමේ පළමු දර්ශනය නැරඹූ බොහෝ දෙනෙක් අපිව මහත් ආදරෙයන් පිළිගත්තා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලිව්වා මනමේ නොදුටු ඇස් මොකටද කියලා. මනමේ අභිරංගයක් කියල කිව්වා. එතෙක් අපි දැනගෙන හිටියෙ නැහැ අපි රඟපෑවේ සිංහල නාට්‍ය කලාවේ විප්ලවයක් කරපු පළමු නාට්‍යෙයේ කියලා. ඒ් විප්ලයේ කොටස් කාරිනියක වෙන්න ලැබීම ගැන මට ඇත්තේ මහත් සතුටක්. තවමත් මනෙම් මතක් වෙනකොට ඇතිවන්නේ කිවනොහැකි සතුටක්. ඒ් සතුට චිත්‍රපට ගණනාවක රගපෑවත් ලබන්න බැහැ.
වරක් බෝගල පතලේ මනමේ නාටකය රඟ දැක්වූ අවස්ථාවේ කුමරුට කඩුව නොදී වැද්දට කඩුව දුන්නාට කෝපවුණු කාන්තාවක් මගේ ළගට ඇවිත්‘ තුහ් නොදකිං‘ කියල කෙළ ගහල ගියා යනුවෙන් ඇය පැවසුවේ සිනාසෙමිනි. ඇය අවසන් වරට මනමේ නටකයේ රඟපෑවේ 70 දසකයේ මුල් භාගෙය්දීය. පසුව සම්භාව්‍ය චිත්‍රපට ගණනාවක රඟපෑවද ඇයගේ ජීවිතය වූයේ වේදිකාවය. ‘මනමේ බිසව හැටියට වේදිකාවේ මා ලද ආශ්වාදය හැමදාම මගේ හිතේ කිලුටු නොවී තියාගන්න මට ඕනැ‘. ඇය අවසන් වශයෙන් පැවසූ වදන්ය.
ට්‍ර්ලීෂියා අබේකෝන් නමින් ළමා ගායිකාවක ලෙස ගුවන් විදුලියෙන් පැමිණි ඇය ගැයූ මුල්ම ගීතය අදද බොහෝ දෙනොගේ මතකයට නැගෙනු ඇතැයි සිතමි ඒ ඩී. ඩී. ඩැනී සමග ගැයූ සුරතල් නංගියේ අපේ අම්මා නමැති ගීතයයි. ඒ මධුර හඬ මනමේ නාටකය පුරාද රුව් දුන්නාය.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග අවස්ථා කිහිපයකදීම මම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත්තෙමි. එවක මා පදිංචිව සිටියේ පිටකෝට්ටේ මිෂන් පාරේ වූ බැවින් යාබද මාවතේ පිහිටි එතුමාගේ නිවෙසට යන්නට මට වරින්වර අවස්ථාව ලැබිණි. ඒ් දිනවල එතුමා පිංඇති සරසවි වරමක් දෙන්නේ නමැති තම ජීවිත කතාව ලියමින් සිටියේය. ඒහි පසුපිටකවරයේ ඡායාරූපය අරන් දෙන ලෙස දිනක් එතුමා මට පැවසීය. පිටකවරය සැකසුවේ පියරත්න හේවාබටගේය. පිං ඇති සරසවි වරමක් දෙන්නේ මුල්කෘතියේ පසුකවරය සැකසුණේ මා විසින් ගන්නා ලද එතුමාගේ සේයාරුවිනි. පසුව සරසවි ප්‍රකාශයන් එම කෘතියේ නව මුද්‍රණයක් පළ කළ අවස්ථාවේ එම ඡායාරූපය මුල් කවරයට දමා පිටකවරය සකසන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එයද මා ලද එක්තරා භාග්‍යයකි
පසුකාලයේ උපාලි අත්තනායක විජය නන්දසිරි ධම්ම ජාගොඩ, සන්ධ්‍යා සිරිමාන්න, කුමාරි මැණිකේ නිශ්ශංක දිද්දදෙනිය, ජයලත් මනෝරත්න, විජය නන්දසිරි වැනි නඵ නිළියෝ එහි මුඛ්‍ය භූමිකා රඟපෑහ.
මුල් නාටකයට දායක වූ බොහෝ දෙනෙක් අප අතර නැත.
එහි නිර්මාතෘ වූ සරච්චන්ද්‍රයන්ද, සංගීතය නිර්මාණය කළ චාර්ලිස් සිල්වා ගුරුන්නාසේද, ඇඳුම් හා වෙස් නිර්මාණය කළ සිරි ගුණසිංහද අද අප අතර නැත. එහෙත් මනමේ ඇත. මනමේ නාටකයට වසර 69 ගෙවී ගියද තවමත් ජනතාව ආදරෙයන් වැළඳ ගනී. එහි ඇති සුන්දරත්වය තවත් වසර ගණනකට නොමැකී පවතිනු ඇත.
මනමේ නාටකයේ මුල් හඬපටය මා සතුව තිබේ. එය එහි මුල් තැටියෙන් පිටපත්හි කර ගත්තකි. නිස්කලංක වේලාවල මම එයට සවන් දෙමි. මතකය බොහෝ ඈත ඉසව්වක නතර වේ. බෙන් සිරිමාන්නගේ ගැඹුරු හඬින් මනමේ කුමරු සබයට පිවිසෙන අයුරු මම සිතින් මවා ගනිමි
සේ සුරිඳූ බරණැස්පුර පසිඳූ
රාජකරනා- ඒ රුපුනොද බින්දා තේජසා..................
මෙහි ඇති ඡායාරූප වෙන වෙනම උපුටා පළ කිරීම තහනම්.

කර්තෘ - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
(මෙම ලිපිය 'Priyanjen Suresh De Silva' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)















