('අරුණ' ජාතික පුවත්පත)
සංවාදකයා - ගුණදාස අමරසේකර කියන නාමය සමඟ ඔබට එක්වරම සිහිපත් වන්නේ කුමක් ද?
චින්තක රණසිංහ - නූතනවාදී සිංහල සාහිත්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී විශිෂ්ටතම නිර්මාණකරුවෙක්. ඒ වගේම යම් කලකදී ඒ ව්‍යාපාරය පසුගාමී සමාජයක් වෙත පාවා දෙමින් ව්‍යාජ චින්තනයක් නිර්මාණය කළ අයෙක්. ඔහු බරපතළ ප්‍රතිවිරෝධතා සහිත චරිතයක්. නිශ්චිතවම ශාස්ත්‍රීය හා දේශපාලන සම්ප්‍රදායයක් මත ප්‍රබල ලෙස පිහිටා කටයුතු කිරීමට නොහැකිකම නිසා ඔහු වරින් වර තම චින්තනය අර්බුදකාරී තත්ත්වයකට ඇද දැමුවත් විශිෂ්ට නිර්මාණකරුවා මුළුමනින්ම විනාශ වුණේ නෑ.
දේශජ සම්ප්‍රදායේ ශක්තිය සහ බටහිර අධිරාජ්‍යවාදයේ විශිෂ්ට ජෙනින්සියානු උරුමය යන දෙකම විසින් අමරසේකර ගොඩනැඟුවා. එය ඔවුන්ගේ දෛවය ඔවුන්ට උරුම කර දුන් ස්වර්ණමය දායාදයක්. ඔහුගේ සමකාලීනයන් වන සරත් අමුණුගම, ජී. උස්වත්තෙආරච්චි, අමරදාස ගුණවර්ධන වගේ අය ඒ උරුමය අගතියෙන් තොරවම අරගෙන ඍජු අදහසක් දියුණු කරමින් ඉදිරියට රැගෙන ගිය බව පේනවා. අමරසේකරගේ අර්බුදය ගොඩනැගෙන්නේ ඒ උරුමය ස්වසන්තක කරගැනීමට දක්වන අසමත්කම මතයි.
සරත් අමුණුගම තමන්ගෙ ස්වයං චරිතාපදානයේ ප්‍රථම කොටස වන ‘The Kandy Man’ කෘතියේ 206 පිටුවේ සිට 208 දක්වා ගුණදාස අමරසේකර කියන අනුමාතෘකාව සඳහා වෙන් කරනවා. එතැනදි ඔහු පෙන්වා දෙනවා අමරසේකරගේ චින්තනය වෙනස් වීමට බලපෑ ඇතැම් හේතු ඔහුගේ අධ්‍යාපනයේ හා වෘත්තීය ජීවිතය සමඟ බැඳී තියෙන ආකාරය. මේ ප්‍රතිවිරෝධතාව වටහා ගැනීම සඳහා අමුණුගමගේ විග්‍රහය ඉතා වැදගත්. එක අතකින් අමරසේකර කියන නමත් එක්ක නිදහසින් පසු ලංකාව ගොඩනැඟීම හා බිඳවැටීම කියන කාරණා දෙකම බැඳී පවතිනවා. ඒ නිසා අමරසේකර රාජ්‍යයේ ගමන සමඟ බැඳුණු සමාජ සංස්කෘතික රූපණයක් සංඥාවක් ලෙස හැඳින්වීම නිවැරැදියි.
ඔබ, අමරසේකර ව්‍යාජ චින්තනයක් නිර්මාණය කළ බව කියනවා. ඔබ එසේ විවේචනයට ලක්කරන්නේ ඔහු මාක්ස්වාදී චින්තනයේ සිට ජාතිකවාදී චින්තනයට මාරුවීම ගැන ද? නැතිනම් අප තනාගත යුත්තේ අපට ගැළපෙන සමාජවාදයක් යැයි අමරසේකර කියූ අදහස ද? ඔබේ විවේචනය ඔහු ලිබරල්වාදී නොවීම ගැන ද?
ජාතික චින්තනය, මාක්ස්වාදය වැනි දේවල් පිළිබඳව නෙවෙයි මා මේ කියන්නේ. පුළුල් ලිබරල් පේරාදෙණි කථිකාව තුළ ඔහු ගොඩනැඟීමට උත්සාහ කළ ලෝකය යම් ආකාරයක ව්‍යාජත්වයකින් යුක්තව බිඳ වැට්ටවීම පිළිබඳවයි. මාක්ස්වාදී චින්තනය සහ දේශීය සංස්කෘතිය අතර තියෙන සම්බන්ධය ගැන ඔහු කළ ගවේෂණය අගය කළ යුතු එකක්. එහෙත් එය ශාස්ත්‍රීය වශයෙන් දුබලවීම සහ යම් ආකාරයක ඒකමානික තත්ත්වයක් භජනය කිරීමයි ගැටලුව.
වම කියන්නේ ලංකාවේ වැඩවසම් ක්‍රමයට විරුද්ධව සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කළ බලවේගයක්. ඒත් පනස්හයේදී ඇතිවූ තත්ත්වය සමඟ වමේ එම කාර්යභාරය වෙනස් වුණා. වම හා ශ්‍රීලනිපය එතැන සිට ගමන් කළේ පැරැණි වැඩවසම් සමාජ සබඳතා සමඟයි. ඒ යුගයේ එක්සත් ජාතික පක්ෂයද දියුණු ධනේෂ්වර පක්ෂයක්වී තිබුණේ නැහැ.
අර්බුදය එන්නේ මෙවැනි දේවල් ගැන අවධානය යොමු නොකරමින්, අමරසේකර ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?’ වැනි ප්‍රශ්න නැඟීම මගිනුයි. එසේම ලංකාවේ අනාගතය භාරගන්නේ ගැමි තරුණයන් වැනි ප්‍රකාශ නිසා ඔහු විශාල අර්බුදයකට එම පරපුර රැගෙන යෑමේ චින්තනයක් නිර්මාණය කළා. මේ එකකින්වත් ඔහුගේ නිර්මාණකරුවා මුළුමනින්ම යටපත්වුණේ නැහැ. නිදසුනක් ලෙස ගැමි තරුණයාගේ අර්බුදය ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ සහ අසත්‍ය කතාවෙදි එය නියමාකාරයෙන්ම මතුවුණා.
එහෙත් අසූව දශකයේදී අමරසේකර මෙම යථාර්ථයන් පසෙකලා චින්තකයෙක් ලෙස අනවශ්‍ය ආකාරයේ කීර්තියක් ලබනවා. ‘ගණදුර මැදියම දකිනෙමි අරණලු’ සහ ‘අරුණලුසෙරෙන් අරුණෝදයට’ කියන පොත් දෙක මගින් තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. මේ වනවිට තරුණ දේශපාලනය ත්‍රස්තවාදී ප්‍රවේශයකින් මතුවෙමින් තිබුණා. පැරැණි වම, ද්‍රෝහීන් ගණයට ඇද වැටෙමින් තිබුණා. දක්ෂිණාංශික දෘෂ්ටිය අර්බුදයට ගොස් තිබුණා. ඒ තත්ත්වය තුළ අමරසේකර අනවශ්‍ය තරමේ වැදගත්කමක් සහ ජනප්‍රියබවක් ලබනවා. එය ඔහුට මෙන්ම යම් බොළඳ දේශපාලනයක නියැළුනු තරුණ පිරිසටත් විශාල ඛේදවාචකයක් වෙනවා. මම උත්සාහ ගත්තේ එවැනි කාරණාවක් මතු කිරීමටයි.
පේරාදෙණි සාහිත්‍යය නියෝජනය කරන අමරසේකර පසුකාලීනව එය විවේචනය කරමින් එය එක්ටැම්ගත සාහිත්‍යයක් යැයි චෝදනා කරනවා...
එය ඓතිහාසික ප්‍රවේශයක් තුළ වටහාගත යුතු කාරණයක්. නවසිය පනස්දෙකේ පේරාදෙණිය සිංහල අංශය පිහිටුවීමත් සමඟයි නූතන සිංහල සාහිත්‍යය කියන විෂය ධාරාව සරසවිය තුළ ජනප්‍රිය වුණේ. කොළඹ තිබුණ මුල්කාලීන යුනිවර්සිටි කොලීජියේ සිංහල විෂයයක් විදිහට තිබුණට වෙනම අංශයක් තිබුණෙ නැහැ.
පේරාදෙණි යුගයේදි නූතනවාදී ප්‍රවණතාව හොඳින් වර්ධනය වීම ඇරැඹුණා. එහි ලක්ෂණයක් තමයි ආගමික, ජාතික හා සංස්කෘතික දේවලින් මිදී සාහිත්‍යය, සාහිත්‍යය විදිහට සැලකීම. ඊට සමාන්තරව සාහිත්‍යකරුවන්ද වෙනම යම් වෙනස් පිරිසක් ලෙස වර්ධනය වීමත්, ඒ ඒ අයට අනන්‍ය වූ අනන්‍යතා නිර්මාණය කරගැනීමත් එහි තිබුණා. එය සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ හා අමරසේකර ලියූ ප්‍රසිද්ධ සිංහල සාහිත්‍යය පමණක් නෙවෙයි. මානව විද්‍යාව, බටහිර හා පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යය, වාග් විද්‍යාව, ඉතිහාසය හා වෙනත් ශික්ෂණ රාශියකින් යුත් දැවැන්ත කතිකාවක්. ඒ ජෙනින්ස්ගේ ව්‍යාපෘතියේ නියම ස්වදේශීය පිළිබිඹුව. ලිබරල් මානව ශාස්ත්‍රයේ විශිෂ්ට අවධිය.
ම. ව. සුගතපාල, ඩී. ඊ. හෙට්ටිආරච්චි, මර්ලින් පීරිස්, ගනනාථ ඔබේසේකර හා තවත් අය මෙතැන විශාල වැඩ කොටසක් ඉටු කළා. ඊ. එෆ්. සී. ලුඩොවයික්ගේ ප්‍රධානත්වය, මඟපෙන්වීම මේ සියලු අංශවලට විශාල දායකත්වයක් ලබාදී තියෙනවා. ඔහු වාම නැඹුරුවක්ද සහිත විශිෂ්ට ලිබරල් බුද්ධිමතෙක්. මේ අයට ජාතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණා. එය සරල හා සිල්ලර එකක් නෙවෙයි. ඒත් පනස්හයේ පෙරළියත් සමඟ ජාතිකත්වය පිළිබඳ නොගැඹුරු, සරල හා ජනප්‍රිය අවබෝධයක් පැතිරිලා ගියා.
සරච්චන්ද්‍ර මෙන්ම අමරසේකරත් මේ ජනප්‍රිය රැල්ලට අහුවුණා. ඔවුන්ට මේ ජනප්‍රිය රැල්ලේ වාම - ජාතික වීරයෝ වෙන්න අවශ්‍ය වුණා. අමරසේකර මෙතැනදි තමන්ගෙ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයේම ගොදුරක් වෙලා පේරාදෙණිය වැරැදි තැනින් විවේචනය කළා. එක අතකට එය පෞද්ගලික විවේචනයකට වඩා බටහිර නියම ලිබරල් ව්‍යාපාරයක් තුළ ඇතැම් ගැමි තරුණයන්ට රැඳී හිඳීමට ඇති නොහැකියාව පෙන්වන සංකේතාත්මක එකක්.
‘රතු රෝස මල’, ‘කරුමක්කාරයෝ’ හා ‘භාව ගීත’; මේ පිළිවෙළින් ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය, නවකතාව සහ කාව්‍ය සංග්‍රහය. මේ නිර්මාණ ත්‍රිත්වය ඔබ දකින්නේ කෙසේ ද?
යථාර්ථවාදය හා නූතනවාදය අතර සමවාය සම්බන්ධය සිංහල සාහිත්‍යය තුළ ඇති කළේ මේ නිර්මාණවලින්. මේ වනවිට මාර්ටින් වික්‍රමසිංහ සහ ජී. බී. සේනානායක යථාර්ථවාදී සිංහල සාහිත්‍යයට හා විචාරයට සැලකිය යුතු පදනමක් දමා තිබුණත් නූතනවාදය ගැන ඔවුන්ගේ නැඹුරුවක් තිබුණේ නැහැ. අමරසේකර ඩී. එච්. ලෝරන්ස් හා ටී. එස්. එලියට් හොඳින් කියවමින් සිංහල සාහිත්‍යය තුළට ඔවුන් රැගෙන එනවා. ඊට සමාන්තරව ඇන්ටන් චෙකොෆ්, ලියෝ තෝල්ස්තෝයි වගේ රචකයනුත් හොඳින් ඇසුරු කරනවා. ‘කරුමක්කාරයෝ’, ‘ගම්පෙරළිය’ ආසන්නයෙන්ම තැබිය හැකි විශිෂ්ටතම නිර්මාණයක්.
‘භාව ගීත’ කොළඹ කවියෙන් හොඳින් ආභාසය ලබා බටහිර රොමැන්තික්වාදයෙනුත් පෝෂණය වූ අවස්ථාවක් මිස, මුළුමනින්ම කොළඹ කවියෙන් මිදුණු අවස්ථාවක් නෙවෙයි. එලියට්ගේ බලපෑම අමරසේකර තදින්ම ගත්තේ ‘උයනක හිඳ ලියූ’ කවිවලටයි. ඒත් භාව ගීතවලත් ඒ ප්‍රවේශය තියෙනවා.
‘රතු රෝස මල’, චෙකොෆ්, ගොගොල් මැනැවින් අසුරු කළ අවස්ථාවක්. මේ නිර්මාණ ත්‍රිත්වය සිංහල සාහිත්‍යයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවන් නියෝජනය කරනවා.
අමරසේකර සමාජ මාපකයෙක්වීම ආරම්භ වෙන්නේ නවසිය හැටගණන්වල ඔහු ලියූ‘ගන්ධබ්බ අපදානය’ නවකතාවෙන් බවයි මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස කියන්නේ...
මා හිතන්නේ මේ නවකතාව සිංහල භාෂාවෙන් ලියැවුණු හොඳම නවකතාවලින් එකක්. ගැමි සිංහල බෞද්ධ තරුණයා නූතන ලෝකයට මුහුණ දුන් යථාර්ථයේ එක් පැතිකඩක් මේ නවකතාවේ නියමාකාරයෙන් තියෙනවා.
මෙය හොඳ ප්‍රේම කතාවක්. ජනප්‍රිය ජනතාවාදී සිංහල-දෙමළ ආදරය වෙනුවට මෙහි සැබෑ ආදර සම්බන්ධයක් නිරූපණය වෙනවා. මෙහි එන ගන්ධබ්බ බව නූතන ජාතික රාජ්‍යයේ මධ්‍යම පන්තිය තුළ ඇතිවූ ගන්ධබ්බ බවේ කොටසක්. ‘කතා පහක්’, ‘එක්ටැමෙන් පොළොවට’ වගේ කෘතිවල නිරූපිත චරිත මේ කෘතියේත් නිරූපිතයි.
1984 ඇරඹුණු ‘ගමනක මුල’ කතා මාලාව මෙරට මැද පන්තියේ කතාව කියන බව පැවසෙනවා. ඇතැම් විචාරකයන් එය අමරසේකරගේ දේශපාලන චින්තනයේ ප්‍රචාරයක් ලෙස දකිනවා...
හැත්තෑ අග ගණන්වල ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ හා ‘අසත්‍ය කතාවෙන් පසු ඔහු ප්‍රචාරකවාදී තත්ත්වයට වැටෙනවා. මෙය ඛේදවාචකයක්. මුල් යුගයේ අවංක බව, අව්‍යාජ බව වෙනුවට කලින් සිතාගත් දෘෂ්ටියක් වෙනුවෙන් ලිවීම තමයි මෙම කතා මාලාවේ පවතින ගැටලුව. එහෙත් එබඳු පරිහානිගත තත්ත්වයක් තුළ පවා මේ කතා මාලාව කියවීම රුචි කරයි. බස ගලා යනවා. ශෛලිය ප්‍රාණවත්. ඔහු මේ වනවිට මතවාදී උගුලෙ හොඳින් හිරවුණත් ඔහු තුළ සිටින සාහිත්‍යකරුවා ඇතැම් තැන්වල මතවාදී උගුල කඩාගෙන එළියට එනවා. එය වැදගත්.
ඔහුගේ දේශපාලන, සාහිත්‍ය මතවාද පිළිබඳ එකඟතාවන් කෙසේ වුවත්, අමරසේකර විශිෂ්ට කවියෙක් ලෙසින් සියලු දෙනා අතර බුහුමනට ලක්වෙනවා...
ඔව්, කවියෙක් විදිහට ඔහු ඉතාම විශිෂ්ට කාර්යයක් ඉටු කළා. එය මහගම සේකරට හෝ ඉන් පසුව ආ කිසි කවියෙකුට සපුරාගත නොහැකි ඉලක්කයක්. එය එක් අතකට සිරි ගුනසිංහ හා සම තලයේ තැබිය හැකිය. බටහිර කවිය විශේෂයෙන්ම ටී. එස්. එලියට් ඉදිරිපත් කළ ඇතැම් දර්ශන සිංහල පාඨකයා වෙත රැගෙන ඒමේදී මුළුමනින්ම එලියට්ගේ පද්‍ය රීතිය වෙනුවට කොළඹ කවියේ ද මහත් ආභාසයක් සහිත අලුත්ම ශෛලියක් ඔහු නිර්මාණය කළා. ‘දියසිඳුනු මරු කතර’ මේ සඳහා කදිම උදාහරණයක්. අමරසේකර වෙනත් සිංහල කවීන් වෙත ගෙනා විවේචන, නිදසුනක් ලෙස සේකර සුළු කවියෙක් යැයි කීම මෙන්ම කොළඹ කවිය නිසරු යැයි කීම මා පිළිගන්නේ නැහැ. එහෙත් එවැනි ප්‍රකාශ නිසා අමරසේකරගේ කවීත්වයේ විශිෂ්ටත්වය වසා දැමිය යුතු නැහැ. ‘අමල්බිසෝ’ කියන්නේ ලෝරන්සියානු දර්ශනය, සිංහලට ජන කවිය හා සිංහල විදග්ධ කාව්‍ය සම්ප්‍රදායය තුනම එක් කළ අති විශිෂ්ට කෘතියක්. දැන් මේ කියන බොරු කෙටි දාර්ශනික කවි වගේ නෙවෙයි, ඒවා මෙරට ලියැවුණු නියම දාර්ශනික කවි.
අමරසේකරගේ සාහිත්‍ය සම්ප්‍රදාය නූතන සමාජය තුළ නිසි ලෙස සංවාදයට ලක් වුණාද?
අමරසේකරව මෑතකදී නැවත අලුතින්ම ගොඩනඟා වෙනත් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය ලෙස මාකට් කළා. එහෙම නැතුව නියම සංවාදයක් ගොඩනැඟුවේ නැහැ. ජාතිකවාදී හෝ කුමන හෝ චින්තනය ඔහුගෙ අයිතියක්. එයට ඔබ්බෙන් අමරසේකරගෙ සාහිත්‍යය කියවීම සාහිත්‍ය විචාරකයන්ගේ වගකීමක්.
අමරසේකර ප්‍රශ්න කළ හැකි විද්වතුන් හා විචාරකයන් නවසිය අනූ ගණන් වෙද්දි මිය ගියා. මගේ ලේඛනවල මා මේ ගැන ලියා තියෙනවා. අපේ ශිෂ්‍යයන් සමඟ නිබන්ධන සම්පාදනය කරමින් ඔහුගේ නිර්මාණ ජීවිතයේ යුග තුනක් ගැන අදහස් මතු කළා. සුචරිත ගම්ලත් හා පියසීලි විජේගුණසිංහ, ට්‍රොට්ස්කිවාදී ප්‍රවේශයෙන් ඔහුගේ නිර්මාණ විවේචනයට ලක් කළා. බර්ටි බී. කුඩාහෙට්ටි ඔහුගේ කවිවලට විරුද්ධ විශිෂ්ට කවි තමන්ගෙ මෑත පොත්වල ලියා තියෙනවා. අවාසනාව අමරසේකර කියන්නෙත් කුමාරතුංග වගේ බල කණ්ඩායමක් විසින් කරේ තියාගෙන යන සුරුවමක්. ඒ නිසා මේ විවේචන මතුවෙන්නේ නෑ. කුමාරතුංගටත් මේ දේම වුණා. වී. ඩී. ද ලැනරෝල් වගේ අති විශිෂ්ටයන් කුමාරතුංගගෙ බල කණ්ඩායම නිසා මතුවුණේ නැහැ. අමරසේකරගෙ විචාකරයන්ටත් වුණේ ඒකයි. ඒ අයගෙ හඬ මතු වුණේ නැහැ. බලය තිබුණෙ අමරසේකර කණ්ඩායමටයි.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(මෙම ලිපිය මුල් වරට "අරුණ" ජතික පුවත්පතේ 'ධාරා' සාහිත්‍ය අතිරේකයේ 2025/11/12 දින පළ විය)
(මෙම ලිපිය 'Suranga Indika Lakmal Bogahawatta' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)















