-Rashmika Mandawala-
අවුරුදු 30දී ඔහු මරණයට ළඟාවෙමින් හිටියෙ. කහිනකොට ලේ පවා ආවා. ඒත් ඔහු අවුරුදු 12ක ළමයෙක්ව විනෝදයට පත් කළා. ඔහු අහම්බෙන් මුහුදු කොල්ලකාරයෝ ගැන අපි දන්නවා කියලා හිතන සේරම අලුතෙන් නිර්මාණය කළා.
රොබට් ලුවී ස්ටීවන්සන් ළමා කාලෙදිම මේ ලෝකේ හැරයන්න නියමිතව හිටපු කෙනෙක්.
1850 දී එඩින්බර්ග්වල උපත ලබපු රොබට් බරපතළ පෙණහළු රෝගයකින් පෙළුණා. ඔහුගේ තරුණ කාලේ වැඩි හරියක් ඔහු ගත කළේ ඇඳක. ඉස්කෝලෙ යන්න බැරි තරම් දුර්වල, ඔහුගේම මනසේ ගොඩනගාගත්තු ලෝකවල ජීවත් වුණ කෙනෙක්. ඔහු වැඩිමල් වයසට පත්වෙන එකකුත් නැහැ කියලා දොස්තරලා අනතුරු අඟවලා තිබුණා.
ඔහුගේ පියාට උවමනා වුණා ඔහු ඉංජිනේරුවෙක් වෙනවා දකින්න.
සමාජයට උවමනා වුණා ඔහු නීතීඥයෙක් වෙනවා දකින්න.
ඔහුගේ ශරීරයට උවමනා වුණා ඔහුය සමාදානයේ සතපවන්න.
ඒත් ස්ටීවන්සන්ට උවමනා වුණ එකම දෙය නම් ලිවීම.
රොබට් ලුවී ස්ටීවන්සන් (1893)
අවුරුදු 30 වෙද්දී, ඔහු දැඩි අසනීපයෙන් පසුවුණ, බිඳී ගිය, තාත්තගේ සල්ලිවලින් යැපුණ කෙනෙක්. ඔහු කොටේජ් එකක බොහොම නිහඬව තමන්ගෙ ඇමරිකානු බිරිඳ ෆැනි සහ ඇගේ දරුවා සමඟ ජීවත් වුණා.
1881 දී ස්කොට්ලන්තයට වැසි වැටෙන ගිම්හානයක් ආවා. ඒ මොහොතේ හැමදේම වෙනස් වුණා.
ෆැනීගේ 12 වියැති දරුවා ලොයිඩ් කම්මැලිකමින් නොසන්සුන්ව හිටියා. ඉතින් ඔහු වාඩිවෙලා දිය සායම්වලින් කල්පිත දූපතක සිතියමක් ඇන්දා.
ස්ටීවන්සන් ඒක දිහා බලන් හිටියා. චිත්‍රෙ අතට ගත්තා. පිරිමි ළමයාට දකින්න බැරි දෙයක් ඔහු දැක්කා.
කතන්දරයක්.
ඔහු ඒක නිධන් දූපත (Treasure Island) කියලා නම් කළා.
X අකුරක් සලකුණු කළා.
කඳු, ගුහා, සැඟවුණ ස්ථාන සේරම නම් කළා.
ඊටපස්සෙ ඔහු වාඩිවෙලා දවසකට පරිච්ඡේදය ගානේ ලිව්වා.
හැමදාම රෑ කෑමට පස්සෙ ඔහු අලුත් පරිච්ඡේදය පවුලේ අයට ඇහෙන්න කියෙව්වා.
පවුලේ හැමෝම කතාවට ඇලුණා.
ඔහුගේ ඉංජිනේරු පියා පවා අදහස් වලින් දායක වුණා.
මේක වැදගත් සාහිත්‍යයක් නෙමෙයි.
ඒක බරපතල ලිවීමක් නෙමෙයි.
ඒක නාට්ටියක්.
උණ රෝගයෙන් පෙළුණ දින 15 පුරා ඔහු සියවස් ගාණක් ඔහුව ජීවත් කරවන ලෝකයක් ඔහු නිර්මාණය කළා.
රොබට් ලුවී ස්ටීවන්සන්ගේ ප්‍රථම නවකතාව - Treasure Island
පුදුමයට කාරණය නම් මුහුදු කොල්ලකරුවන් සමඟ අපි ඇසුරු කරන හැමදේම ඉතිහාසයෙන් ආපු ඒවා නෙමෙයි, ස්ටීවන්සන්ගේ පරිකල්පනයෙන් ආපු ඒවා.
X ලකුණ සලකුණු කල සිතියම.
උරහිසේ ගිරව් ඉන්න එක
බොරු කකුලක් දාපු මූදු කොල්ලකාරයෝ
වැළලපු නිධාන
මුහුදු පැල්පත්
මැරවර වික්‍රමාන්විතයන්
මුහුදු කොල්ලකාරයන්ගේ කොඩිය විදියට මිනී ඔළුවයි ඇටකටු දෙකයි තියෙන ජොලී රොජර් කොඩිය.
ඇත්ත මූදු කොල්ලකාරයෝ කොහෙත්ම මෙහෙම අය නෙමෙයි.
ඒත් ස්ටීවන්සන්ට පස්සේ ආපු හැම මූදූ කොල්ලකාර කතාවකම තිබුණේ ස්ටීවන්සන් අනුගමනය කරපුවා.

ඊට පස්සේ ලෝන්ග් ජෝන් සිල්වර් ආවා: ආකර්ශනීය, බුද්ධිමත්, කපටි, ඔහුට හිතෙන වෙලාවට ආදරණීය වෙන සැබෑ දුස්ටයෙක්. නූතන කතන්දරකීම හැඩගැස්සවූ සංකීර්න චරිතයක්.
'ට්‍රෙෂර් අයිලන්ඩ්' කතා මාලාවක් විදියට පළ කල වෙලාවේ ඒක එච්චර අවධානයට ලක් වුණේ නැහැ.
ඒත් 1883 දී නවකතාව අති සාර්ථක වුණා.
ළමයි ඒකට ආදරය කළා.
වැඩිහිටියො ඒකට ආස කළා.
විචාරකයෝ ඔහුගෙ විශිෂ්ටත්වය වර්ණනා කළා.
වැඩිවියට එළඹෙන්න නියමිතව නොහිටපු රෝගී ළමයා වන ස්ටීවන්සන් අන්තිමට ස්ථාවරත්වය, කීර්තිය සහ අරමුණ හොයාගත්තා.
ඔහු Kidnapped and Dr. Jekyll and Mr. Hyde ලිව්වා.

නමුත් අසනීපය ඔහුව, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, කොලරාඩෝ දක්වා හඹාගෙන ආවා.
කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ.
1889 දී, ඔහු සහ ෆැනී දකුණු පැසිෆික් සාගරයට යාත්‍රා කර, සැමෝවා හි පදිංචි වුණා. උණුසුම් දේශගුණය ඔහුව නැවත පණ ගැන්වුවා.
සැමෝවා වැසියන් ඔහුය හැඳින්වුවේ ටුසිටලා කියලා. ඒකෙ තේරුම කතන්දර කියන්නා.
ඔහු ලිව්වා. ඔහු ජීවිතය ගලව ගත්තා. තරමක් සුව වුණා.
ඊටපස්සෙ 1894 දෙසැම්බර් 3 වෙනිදා මුළුතැන්ගෙයි ෆැනීට උදව් කරමින් ඉද්දි ඔහු ඇදගෙන වැටුණා.
මස්තිෂ්ක රුධිර වහනයක්.
වයස අවුරුදු 44දි ඔහු මෙලොවින් සමුගත්තා.
ඔහුගේම වචන සොහොනෙහි කැටයම් කරලා මුහුද පේන විදියට වායා කන්දේ ඔහුව මිහිදන් කළා. ඒ වචන මෙහෙමයි.
“ඒත් ඔහුගේ සැබෑ උරුමය?
ඒ උරුමය ජීවත් වුණේ කඳුකරයේ නෙමෙයි, එතැන් පටන් කියවුණ හැම මූදු කොල්ලකාරයෙකුගේම කතාවල.”
එළිමහනේ සෙල්ලම් කරන්න බැරි තරම් අසනීපයක් එක්ක හැදී වැඩුනු පිරිමි ළමයා මුහුදු කොල්ලකරුවන් ගැන සිහින දකින ආකාරය ලෝකයටම උගන්නපු මිනිහෙක් බවට පත් වුණා.
වැහි දවස්. කම්මැලි ළමයෙක්. මරණය කරා යමින් හිටි ලේඛකයෙක්.
සහ කිසිදාක යාත්‍රා කිරීම නතර නොකළ කතන්දරයක්.
මේ අදටත් ඒක ලෝකය පුරා යාත්‍රා කරනවා අලුත් පාඨකයො හොයාගෙන.

රචනය - රශ්මික මණ්ඩාවල (Educated Minds ඇසුරින්)
(මෙම සටහන 'Rashmika Mandawala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.















