lan englan tam

විශේෂාංග

ගැහැනුමය ලිවීමට පුළුල් අවකාශයක් ඇවසිමය.."වසිලිස්සා වැස්සේ"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Thilina Weerasinghe-

අපගේ ළමා විය පිනවූ අපූර්ව රුසියානු ජනකතාවක් ඇසුරින් අපේ සාහිත්‍යයට එක්ව ඇති ධෛර්ය, නොපසුබට උත්සාහය සහ ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රකට කරන චරිතයකි වසිලිස්සා.

ප්‍රගීතිකා ජයසේකර ඒ අපූර්ව චරිතය සංකේතීය කරමින් ගැහැනියකගේ දිවියෙහි පැවැත්ම සදහා මුහුණ දෙන අසීරුතා හා කටුකත්වය සියුම් කවියක් බවට පත් කරලමින් රූපණය කරන්නට වෙර දරා ඇත. වසිලිස්සා දිවියෙහි විවිධාකාරයේ අසීරුතාවන්ට පරීක්ෂාවන්ට අභියෝගයන්ට මුහුණ දෙන්නීය.

ඇය මොර සූරන වැස්සකට යටින් ගින්දර රැගෙන වනාන්තරයේ සිට බොහෝ දුර ගෙවා නගරයට යා යුතුව ඇත.මොර සූරන වැස්සක් මැද ගින්දරක් රැගෙන යා හැකිද... අපට නිරායාශයෙන් එවන් පැනයක් මතුවේ.

එහෙත් බොහෝ දුෂ්කරතා මැද, දැරිය නොහැකි බරක් දරාගෙන ගැහැනියක දිවිය පවත්වා ගැනීමට ගන්නා ආයාසය දෙස බැලුම් හෙලමින් ඇයට එසේ දුෂ්කර ක්‍රියා කළ හැකිදැයි සිතා බලන්නෝ වෙත්ද..

එලෙස දිවිය තුළ අති දුෂ්කර ක්‍රියා කරනා ගැහැනිය පසසන්නෝ කවුරුද... යන පැනය වක්‍රාකාරයෙන් මේ කවිය තුළින් ගම්‍ය කෙරෙයි.

වසිලිස්සා නගරට යන්නේ ගොහොරු අතරෙහි තෙත් බරිත චිරි චිරියෙන් අපුල දනවන මඩෙහි ගිලෙමිනි.එපමණක් නොව ඇය දරාගත යුතුය පාදයන්හි දිය මැටි සැපුම් ..තෙත බරිත වැස්සක අත් නොහළ අළු සුගගෙන ඇය ළගා වීමට නුවරක් සොයන්නේ කින්නරාවියක ලෙසිනි.

එතරම් වෙහෙසක් දරා වුව ඇයට අවසානයේ තමා පැතූ ජීවන අවකාශය හිමිවේද...

ප්‍රගීතිකා කාව්‍යත්මක බසින් එය විමසන්නේ

"සොයන්නී ඈ නුවරක්

කින්නරාවක ලෙස...

හමුවෙද ඇයට ඒ කේතුමතී පුරවර..."

යනුවෙනි.

නව සමාජ ආර්ථික පරිසරයකදී බොහෝ පිරිස් හමුවුවද ගැහැනිය හුදකලාවෙන් මිදුණද..සැබවින්ම ගැහැනියව නිසි ලෙස අවබෝධ කර ගන්නට සමාජය සමත් වන්නේද...

"හමු වුවද එහි පිරිවර

දිය යටින් ගින්දර

ගෙනයන්නියක යැයි

කියනු ඇතැ නෙකවර...

විශ්වයම ගමකි අද

උදම් අනනාතර

පිපිරෙහි ගම්වැසි වදනරුත්

නින්දා අකුණු සැර

පොටෑසියම් වාගේ දැල්වෙන ගුණය දියෙහිද දිනිය යුතු වෙද ඇය නොහැර තෙත්

ගුණයද ළය.."

ලොව කොතරම් දියුණුභාවයට පත්ව තිබුණද ගැහැනිය කෙරෙහි හෙලනා දෘෂ්ටිකෝණය තවමත් බොහෝ ප්‍රාථමික බව හා ඒ අභිමුව ඇය නොසැලී සිටිය යුතු බව ප්‍රගීතිකා අපූර්ව කව්‍යෝචිත බසකින් සමාජ සංවාදයට ලක් කරයි. කිවිදිය අපූර්ව උපමා රූපක භාවිතා කරමින් සමාජ සංස්කෘතික පීඩනය හමුවේ ගැහැනිය කොතරම් සියුම්ව නොසැලී සිටිය යුතුද යන්න අවධාරණය කරයි.

 ප්‍රගීතිකා සිය කාව්‍යමය අනුභූතීන් දැක්වීමේදී ස්ත්‍රියගේ නිදහස පුලුල් අවකාශයකට රැගෙන යාමට සමාජ සිතීම් හා භාවිතාවන්..සහයෝගය කොතරම් ඇවසිද යන්න මනා ලෙස නිරූපණය කරන නිර්මාණයකි, "මේසය".

මේසයක් යනු අචේතනික වස්තුවකි.ඒ අචේතනිකත්ව වපසරිය තුළ සචේතනික ගැහැනියගේ කාර්‍යභාරය නීර්ණය කරන සීමා කරන සංස්කෘතික ව්‍යුහය ප්‍රදීපිකා තම දෘෂ්ටියට ග්‍රහණය කරමින් සහෘද මනස් වෙත විවර කරනුයේ සම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කිරීමට ගැහැනියට වන අවශ්‍යතාව හා අයිතියද පිලිබද සංකල්පනාවන් එක හුයක යා කරමිනි.

"ලියන් නියකට

ඕනෑය මේසයක්

නෑ.. එකක් නොව දෙකක්!

ලියන්නට මැල්ලුම් ලියන්නට ලූනු ,මිරිස්. එපමණද ඉඩ ඇතොත් ලියන්නට කවි, කතා

ගැහැනියගේ අදහස් ප්‍රකාශනයේ නිදහස භුක්ති විදීම සදහා ගෘහස්තමය කාර්‍යභාරයන්ගෙන් ඔබ්බේ වඩා පුලුල් අවකාශයක් ඇයට හිමිවිය යුතු බව ප්‍රගීතිකා පවසන්නේ ලියන්නියකට ඕනෑය මේසයක් නෑ දෙකක් යනුවෙනි.

මෙහිදී ඇය ඉතා පෘථුල තලයක සිට සෑම ගැහැනියකටම මැල්ලුම් ලූනු,මිරිස් සේම සිය අදහස්ද සටහන් කළ හැකි බව  නිදසුන් සහිත කාව්‍යාත්මක වැකි මගින් ප්‍රකාශනය කරන්නේ සහෘද මනස් ඒ සිතීම තුළ රිද්මීය පරිකල්පනයකට ඔසොවා තබමිනි.

අස්කර කුස්සියේ මේසය හිස් කළ එතන හිත

පුන්නයූර් පුර කමලාද පිරිමි පස්දෙනෙකුගේ වැඩ අහවරව ලද

මේසය ගැන උදන් කී

යාය හතරේ ශාන්තිද තමන්ටම කියා මේසයක් හිමි නොවූ කල්හිද

ලියා මැල්ලුම් ලූනුද

ඇති පදම්

ලියා ඇත ඔවුන් ලොව සසල කළ වදන්..."

ප්‍රගීතිකා ලාංකික ලේඛිකාවන් කිවිදියන් ඉමහත් අභියෝග හා ගෘහමය අවිවේකය තුළ පවා ඉසිඹුවක් ලද සැනින් අගනා ලෙස ලොවට අරුත්බර වදන් එක් කරන්නට සමත්ව ඇති බව ව්‍යංගයෙන් ප්‍රකාශ කරන්නීය.එසේම ප්‍රගීතිකා ගැහැනියගේ මානවියත්වයෙහි නිසි වටිනාකම් යටපත් කර,කොසු ඉදල් හැළි වළං හා සයනය පමණක් සකසන මහා සංස්කෘතික දේශපාලන ව්‍යුහය ඍජුව ප්‍රශ්න කරනුයේ ප්‍රභල සෝපාහසයක් සියුම්ව ඉස්මතු කරමිනි.

"වරදකාරී හැඟුමක් දැනෙනවද ඔබට ලෝකය...

වහ වහා සරිකලත්

ඇඳ ළිප කොසු ඉදල් හැළි වළන් ආදිය

අතපසු වුණාවද

දෙන්න ඇයට මේ මේසය...

ප්‍රගීතිකා ජයසේකර නිමවන "මේසය" ඇගේ නිර්මාණ සිසාරා නැගෙන මුදු කවීත්වය ඛණ්ඩනය කරමින් බෙහෙවින් ප්‍රභල දෘෂ්ටිමය මැදිහත්වීමක් ලොවට විදහාලමින් ගැහැනියගේ සිතීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස උදෙසා කාව්‍යාත්මක හඩක් අවදි කරලයි.

ගැහැනිය හුදු ලිංගිකමය කාර්‍යයන්ට, ගෘහස්ත කාර්‍යභාරයන්ට සීමා කළ ලොවට ඇගේ නිර්මාණාත්මක චින්තනය ගොඩ නැංවීමට හා නිර්මාණ කාර්‍යභාරය උදෙසා නිදහස් අයිතිය පිළිගැනීමට හා ඒ කාර්‍යයන් සදහා සහය වීමට ලොවට අතපසු වීම වරදක් ලෙස දැනෙනවාද යන්න කිවිදිය විමසන්නීය.

මට ප්‍රගීතිකාගේ" මේසය" හරහා ගොඩ නංවන මේ දෘෂ්ටිමය අනුභූතිය වඩාත් සමීපව දැනෙනුයේ මගේ පළමු ප්‍රබන්ධය "නාදුනන ගැහැනිය " ලිවීමේදී මා එවකට විසූ ගෘහය තුළ වාඩිවී හිද ලියන්නට මේසයක් අහිමිව සිටි බැවින් අප සැමගේ පීඩනයට එරෙහිව විකල්ප නිර්මාණාත්මක සංවාදයක් ගොඩ නැංවීමේ අරමුණින් එහි එන මුල් අත්දැකීම් 6 මා ලියුවේ රාත්‍රියේ නිදා ගන්නා යහන මත හිදගෙන බැවිණි.

ප්‍රගීතිකාගේ මේ නිර්මාණය ඉතා ප්‍රබල දේශපාලන රූපකාර්ථයක් නිමවීමට සමත් වන්නේ ඇය ස්පර්ශ කළ අනුභූතිය ඔස්සේ බොහෝ දෙනකු අත්විදින සියුම් පීඩනයක් ග්‍රහණය කරමින් සංවාදයට ලක් කිරීමට ඇය තුළ වූ මානවහිතවාදී ස්ත්‍රීත්ව දෘෂ්ටිය නිසාවෙනි."මේසය" හරහා අපේ කාව්‍යකරණයෙහි නවමු සලකුණක් සනිටුහන් කරන්නට ප්‍රගීතිකා සමත්වන්නීය.

"වසිලිස්සා වැස්සේ.."කාව්‍යය සංවාදය නිමාකරන්නට මත්තෙන් "වැස්සේ..."කාව්‍යය හරහාද ගැහැනියගේ දිවි මග සරැතැස කොතරම්ද හා ඕනැම කටුකත්වයක් තුළ ඔරොත්තු දීමේ හැකියාව ඇය වඩවා ගත් බව ද සියුම් කාව්‍යාත්මක අනුභූතියකින් හා සුගම බසකින් කිවිදිය නිරූපණය කරයි.

"ඔට්ටුවී දිවි ගමන

දිවා රෑ තිස්සේ

වෙහෙස සරතැස පිරුණු මාවතක් ඔස්සේ

එනා'තර කොයි තරම් තෙමුණාද වැස්සේ

මේ දසුන අතර මැද

ඒ මතක ඉස්සේ ..."

වැස්සක ඉසිඹුලමින් සුව විදින සුරතල් බැළළිකගේ දසුනින් කිවිදිය සිය දිවියේ සරතැස පිළිබද ස්මරණය අවදි කරයි.ඒ සරතැස නිවා, බැළලිය සේම ජීවිතයේ කාලය හා අවකාශය සංසුන්ව විද ගැනීමට තමා දැන් සූදානම් බවද කිසිවකින් නොසැලන බවද අවසානයේ කිවිදිය මෙසේ ඉගි කරයි

"නැත ...නැත.

ඈ විලස විඳිනෙමි

මේ මොහොත

වැස්ස ,

නුඹ දන්නවා නොවෙද මගෙ හද හෙම්බිරිස්සාවටත් දැන් නෑ බයක් තද..."

"වසිලිස්සා වැස්සේ" ප්‍රගීතිකා ජයසේකරගේ දෙවන කාව්‍යය නිර්මාණ සංග්‍රහය වන අතර ඇගේ පූර්ව නිර්මාණය"හත්පෙති මලින් අත් හැරුණු පෙත්තක්" ඇසුරු කිරීමට මට අවකාශයක් හිමි නොවුණි.

ඇතැම් විචාර අතර ප්‍රගීතිකා සහෘද මනස් නිවීමට සමත් කවි බසක් ඇත්තියක බව කියෙව්වෙමි.

ප්‍රගීතිකාට අපූර්ව කවි බසක් හිමි බව අවිවාදිතය.ඇගේ ඒ අපූර්ව කවීත්වය හා මානවහිතවාදී දෘෂ්ටිය වඩා පුලුල් පරාසයක අනුභූතීන් ග්‍රහණය කරමින් අපගේ නිර්මාණකරණය මෙන්ම සමාජ සංස්කෘතික දෘෂ්ටිය පෝෂණය කිරීමටද දායක කරන්නට ප්‍රගීතිකා ජයසේකරට සුභාශිංසන පිරි නමමි.

 

499469699 1213864590411785 3913416684931900520 n

සටහන - තිලිනා වීරසිංහ

(ප්‍රවීණ ලේඛිකා, මාධ්‍යවේදිනී)

(2026 පෙබරවාරි 10)

 

 

(මෙම සටහන 'Thilina Weerasinghe' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී))

kemadasa

Back to top
Go to bottom