අත පය පවා සෙලවිය නොහැකිව, රෝද පුටුවකට සීමා වුණු ජීවිතයක් ගත කරන, ෆිලිප් නැමැති ඉතා ධනවත්, සුදු ජාතිකයෙකු සහ එ් මොහොත පමණක් ජීවිතය ලෙස සලකන, සරළ සැහැල්ලූ, කෙළිලොල් ජීවිතයක් ගෙවන, හරි හමන් රැකියාවක් පවා නැති, ඩි්‍රස් නැමැති කළු ජාතික තරුණයෙකු අතර ඇති වන ලෙන්ගතු මිතුදමක් තමයි චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ.
මාළිගාවක් වැනි සුවිසල් නිවස තුළ පමණක් එහා මෙහා යා හැකි ධනවත් සුදු ජාතිකයාගේ රෝද පුටුව ඔහුගේ ජීවන ක්‍රමය සහ ඔහු ජීවත් වන සංස්කෘතිය පිලිබඳ අදහසක් ඇති කරන කදිම සංකේතයක් වගේ. ප්‍රභූ පැලැන්තියේ ජීවිතයක් ගත කරන ෆිලිප් රස විඳින්නෙත් සම්භාව්‍ය, ‘ප්‍රභූ’ කලාව පමණයි. එ්කත් ඔහු ජීවත්වන හිර ගෙයිම කොටසක් හැටියටයි චිත්‍රපටය ඇතුළෙ නිරූපනය වෙන්නෙ.
ෆිලිප්ගේ මේ එ්කාකාරී ජීවිතයේ ෙදාර කව්ළු එකවරම විවර වෙන්නෙ ඩි්‍රස් ඔහුගේ උපස්ථායකයා ලෙස පත්ව එ්මත් සමගයි. ඉතා අසම්මත, සීමා මායිම් නැති, විනෝදජනක ජීවිතයක් ගත කරන 'පිස්සු පොරක්'' වන ඩි්‍රස් හරහා ෆිලිප් තමා මෙතෙක් අත්නොවිඳි ජීවිත මානයක සැරිසරන්න පටන් ගන්නවා. ඉතා ලෙන්ගතු, මානුෂික සම්බන්ධතාවක් තුළ ධනවත්- දිළිදු, සුදු-කළු, සම්භාව්‍ය-පීචං යනාදී සියළු බෙදීම් වාෂ්ප වී යන ආකාරයක් තමයි චිත්‍රපටය ඉවර වුණාම දැනෙන්නෙ. නා නා ප්‍රකාර බෙදීම් තුළ ජීවිතය අර්ථ දක්වන ලෝකයක ඒ අරුත් ප්‍රශ්ණ කරන නිර්මාණයක් හැටියටත් මෙය සලකන්න පුලුවන්.
හුරු පුරුදු තේමාවක් වුවත් The Intouchables මුල සිට අග දක්වාම අප මහත් ආනන්දයට පත් කරන සිනමා සිත්තමක් බවට පත්වන්නේ එය ඉදිරිපත් කිරීමේදී දක්වන අපූර්වත්වය තූළයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ විශේෂයෙන්ම ෆිලිප් ලෙස රගන ෆ්රන්සුවා ක්ලුසෙට් සහ ඩි්‍රස් ලෙස රගන ඔමාර් සයි ගේ රගපෑම ඉතා විශිෂ්ඨයි.
ප්‍රංශ ජාතික ඔලිවියර් නකාෂේ සහ එරික් ටොලිඩානෝ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටකය ලියා ඇත්තේත් ඔවුන් දෙදෙනාමයි. ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහාද, හොඳම නළුවා සඳහාද සම්මාන හිමි කරගත්තා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී ''හොඳම විදෙස් චිත්‍රපටය'' සම්මානය සඳහා නිර්දෙශ වුණා.
ෆ්රන්සුවා ක්ලූසෙට් සහ ඕමාර් සයි අවස්ථා කිහිපයකම හොඳම නළුවන් ලෙස සම්මානයට පාත්‍ර වුණා. වැදගත්ම කාරණය නම් මේ ආකාරයෙන් සම්මාන හිමි කරගන්නා අතර බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවන්නටත් The Intouchables සමත් වීමයි. ජනපි‍්‍රය රීතියක් තුළ අපූරු, ගැඹුරු, සියුම් තේමාවක් සිනමාවට නැගූ තවත් අපූරු අවස්ථාවක්.
නිහාල් පීරිස් ගේ ෆේස්බුක් වෙතින් උපුටාගන්නා ලදී.