lan englan tam

අංකුර මතු වූ අර්තාපල්, ලූනු සහ සුදුලූනු : ආහාරයට සුදුසුද? නැද්ද? විස්තර මෙන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔබ මුළුතැන්ගෙයි රාත්‍රී ආහාරය පිළියෙළ කරමින් සිටින අතරතුර අර්තාපල් ගෙඩියක් ගැනීමේදී එය අංකුර දමා පැළවීමට පටන්ගෙන ඇත්නම් එය ආහාරයට ගැනීම ආරක්ෂිත වනවාද?

එසේ නැතහොත් එය කෙලින් ම කසළ බඳුනට දැමිය යුතු ද?

එය පොදු ප්‍රශ්නයකි, නමුත් මිනිසුන්ට විවිධ මත තිබේ. අර්තාපල්, ලූනු හෝ සුදුලූනු වැනි එළවළු පැළ වීමට පටන් ගත් විට, සැමවිට ම ඍජු පිළිතුරක් දීමට නොහැකි ය.

 

අර්තාපල් අංකුර දැමීම ආරම්භ වූ විට කුමක් සිදුවේ ද?

අංකුර මතුවීම යනු ඔබේ අර්තාපල් අලය නව ශාකයක් බවට වර්ධනය වීමට උත්සහ කරන බවට වන ස්වභාවික ලකුණකි.

අර්තාපල් පැළ වන විට ඉන් ස්වභාවිකව විෂ ද්‍රව්‍යයක් වන ග්ලයිකෝල්කලෝයිඩ් වැඩි වශයෙන් නිපදවනු ලබන අතර එය කෘමීන් සහ දිලීරවලින් බීජයට ආරක්ෂා වීමට උපකාරී වේ. මෙම විෂ ද්‍රව්‍යවලින් එකක් වන්නේ සොලනීන් වන අතර එය තක්කාලි, වම්බටු සහ ගම්මිරිස්වල ද දක්නට ලැබේ.

අස්වනු නෙළීම සහ ගබඩා කිරීම මෙම විෂ මට්ටම් ඉහළ නැංවිය හැකි අතර එය මිනිසුන්ට සහ සතුන්ට අවදානම්සහගත විය හැකි ය.

 

අංකුර මතු වන මෙම එළවළු ආහාරයට ගත හැකි ද?

"පැළවෙන්න පටන් ගත් අර්තාපල්වල තියෙන අන්තරායදායක දේ තමයි, ග්ලයිකෝල්කලෝයිඩ්. ඒවා ඉතා කටුක රසයක් ඇති කරන අතර සාමාන්‍යයෙන් වමනය ඇති කරනවා හැර වැඩි බරපතළ දෙයක් වන්නේ නැහැ," ලින්කන් විශ්වවිද්‍යාලයේ පසු අස්වනු තාක්ෂණය පිළිබඳ කථිකාචාර්ය සහ Potatoes Postharvest ග්‍රන්ථයේ කතුවරයා වන ආචාර්ය ක්‍රිස් බිෂොප් පවසයි.

මෙම ස්වභාවික රසායනිකය අර්තාපල් කොළ පැහැයට හැරවීමට හේතු වන බවත්, එබැවින් අප කොළ පැහැති අර්තාපල් අනුභව නොකළ යුතු බවත් ආචාර්ය බිෂොප් බීබීසීයට පැවසීය.

"අංකුරවල මෙම රසායනික ද්‍රව්‍ය ඉහළ මට්ටමක තිබිය හැකි නිසා ඒවා සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යි. සැකයක් ඇත්නම්, අර්තාපල් අලයේ අංකුරය හටගෙන ඇති කොටස ඉවත් කරන්න. මගේ මතය අනුව, අර්තාපල් අලයේ ඉතිරි කොටස ආහාරයට ගත හැකි යි," ඔහු තවදුරටත් පැවසීය.

 

4dea1050 2c26 11f0 9b64 7b0b0e4c24c3.jpgඅංකුර මතු වී ඇති අර්තාපල් ආහාරයට ගැනීමට පෙර අංකුර සහ කොළ පැහැති වී ඇති ප්‍රදේශ ඉවත් කරන්න.

 

ඒ හා සමානව, එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සියට අනුව පැළවූ අර්තාපල් යම් යම් කොන්දේසි සපුරාලන්නේ නම් පමණක් ආහාරයට ගැනීමට ආරක්‍ෂිත බව සඳහන් වේ.

එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සියට අනුව, "අර්තාපල් අලයේ පැළවූ කොටස් ඉවත් කිරීමෙන් පස්සේ එය කුණු වී නැති බවට ස්ථිර නම්, එය ආහාරයට ගන්න ආරක්ෂිත යි. නමුත් අර්තාපල් කොළ පාට නම්, කොළ පැහැති කොටස්වල විෂ ද්‍රව්‍ය ඇති බැවින් එය ඉවත දැමීම වඩාත් සුදුසු යි."

"පැළවූ අර්තාපල් සාමාන්‍යයෙන් තද බවක් දැනේ නම්, පැළ කුඩා නම් සහ ඒවා ඕනෑවට වඩා රැලි වැටී හෝ හැකිලී නොමැති නම් ආහාරයට ගැනීම ආරක්ෂිත වනවා. නමුත්, මෘදු හෝ හැකිළුණු අර්තාපල්වල පෝෂ්‍ය පදාර්ථ නැති වී ඇති අතර එහි හොඳ රසයක් නොමැත," ආයතනය පවසයි.

 

08403990 1acd 11f0 b1b3 7358f8d35a35.jpgඅර්තාපල් පැළ වන විට රිකිලිවල ස්වභාවික විෂ ද්‍රව්‍ය ඉහළ මට්ටමකින් තිබිය හැකි ය

සොලැනින් විෂ වීම

ඇතැම් විශේෂඥයින් පවසන්නේ, මේ සම්බන්ධයෙන් අප වඩාත් ප්‍රවේශම් විය යුතු බව ය.

"ඔබ කිසිදු අවස්ථාවකදී කොළ පැහැති අංකුර ඇති අර්තාපල් ආහාරයට ගන්න හොඳ නෑ," මහාචාර්ය කැතී මාටින් අනතුරු අඟවමින් පවසයි.

"මෙය ආලෝකයට නිරාවරණය වීම (පැළ වැඩීමට උදව් කරන) ස්ටෙරොයිඩ් ග්ලයිකොල්කලොයිඩ්, සොලැනින් නිෂ්පාදනය වැඩි කරන නිසා, එය මිනිසුන්ට සහ සතුන්ට, විශේෂයෙන් බළලුන්ට සහ බල්ලන්ට විෂ සහිත යි," ඇය පැහැදිලි කරයි.

"කොළ පැහැ නොවන අර්තාපල්වල සොලනින් මට්ටම අඩු යි, නමුත් සොලනින් විෂ වීමේ අවදානම නිසා (කිසි විටෙකත්) අමුවෙන් අර්තාපල් කෑමට නොගත යුතු යි," මහාචාර්ය මාටින් තවදුරටත් පැවසීය.

සොලනින් විෂ වීමේ සිදුවීම් දුර්ලභ වුව ද, එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. 1970 ගණන්වල අගභාගයේදී එක්සත් රාජධානියේ, කොළ පැහැති අර්තාපල් ආහාරයට ගැනීමෙන් පසු පාසල් සිසුන් 78 දෙනෙකු රෝහල්ගත කිරීමේ සිද්ධිය එවැනි ප්‍රකට සිද්ධියකි.

නොදැනුවත්කමකින් සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් කිසිදු හානියක් සිදු නොවනු ඇත.

මෘදු සොලැනින් විෂ වීමේ රෝග ලක්ෂණ අතර පාචනය, වමනය සහ දරුණු උදර වේදනාව ඇතුළත් වේ.

වඩාත් දරුණු අවස්ථාවලදී, සොලැනින් විෂ වීම නිසා නිදිමත ගතිය, උදාසීනත්වය, ව්‍යාකූලත්වය, දුර්වලතාව සහ පෙනීමේ කැළඹීම් ඇති විය හැකි මෙන් ම පසුව සිහිසුන්භාවයට පත් විය හැකි අතර, ඇතැම් අවස්ථාවල මරණ පවා වාර්තා වී ඇත.

රෝග ලක්ෂණ මතු වීම විෂ සහිත අර්තාපල් අනුභව කිරීමෙන් මිනිත්තු කිහිපයක සිට දින දෙකක් දක්වා ඕනෑ ම විටෙක ආරම්භ විය හැක.

 

691786a0 1ace 11f0 a455 cf1d5f751d2f.jpgමෘදු සොලැනීන් රසායනිකය විෂ වීමේ රෝග ලක්ෂණ අතර පාචනය, වමනය සහ දරුණු උදර වේදනාව ඇතුළත් වේ.

 

පැළවූ අර්තාපල් භාවිතයේදී අනුගමනය කළ හැකි සරල උපදෙස්

  • පැළ කුඩා නම් පිසීමට පෙර ඒවා කපා දමන්න.
  • අර්තාපල් පැළ අඟලකට වඩා දිග නම් හෝ අර්තාපල් මෘදු බවක් දැනේ නම් එය ඉවතලන්න.
  • සෑම විට ම කොළ පැහැති කොටස් ඉවත් කරන්න - ඒවායේ වැඩි වශයෙන් විෂ ද්‍රව්‍ය අඩංගු වේ.
  • අර්තාපල් නරක්වීමක් හෝ කුණුවීමක් දක්නට ලැබේ නම්, එය ඉවතට විසි කරන්න.
  • ඔබ පැළ කළ අර්තාපල් සිටුවන්නේ නම්, ප්‍රවේශම් වන්න. ඔබ පැළය කඩා දැමුවහොත්, එය අපගේ සමේ කැපුමක් මෙන් රෝග ඇතුළු විය හැකි තුවාලයක් නිර්මාණය කළ හැකි ය.

ඔබ ගැබ්ගෙන සිටින්නේ නම්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ නම් හෝ ළදරුවන්ට කිරි දෙන්නේ නම්, අමතර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවේශම් වීම වඩාත් සුදුසු ය.

 

f9135980 1ad0 11f0 b1b3 7358f8d35a35.jpgඅර්තාපල් ලූනුවලින් ඈත් කර තබන්න, මන්ද අර්තාපල් සහ ලූනු යන දෙකෙන් ම තෙතමනය සහ පැළවීම වේගවත් කරන වායූන් නිකුත් කරන බැවිනි.

 

අර්තාපල් නිසි ලෙස ගබඩා කරන්නේ කෙසේ ද?

නාස්තිය අඩු කර ඔබේ අර්තාපල් දිගු කාලයක් නැවුම්ව තබා ගන්නේ කෙසේ ද?:

  • අර්තාපල් රාක්කයක් හෝ පැන්ට්‍රියක් වැනි සිසිල් (සෙල්සියස් අංශක 3-10), වියළි සහ අඳුරු ස්ථානයක තබා ගන්න.
  • ගබඩා කිරීමට පෙර අර්තාපල් සෝදන්න එපා - තෙතමනය අර්තාපල් නරක් වීමට හේතු වේ.
  • අර්තාපල් ඉක්මනින් පැළ වීමට හේතු වන වායූ සහ තෙතමනය යන දෙක ම නිකුත් කරන බැවින් ලූනුවලින් අර්තාපල් වෙන් කර ගබඩා කරන්න.

 

පැළවූ ලූනු සහ සුදුලූනු ගැන කුමක් කිව හැකි ද?

පැළවුණු ලූනු සහ පැළවුණු සුදුලූනු පිළිබඳව ඇත්තේ, වෙනස් කතාවකි.

"අර්තාපල් මෙන් නොව, පැළ වුණු ලූනු සහ සුදුලූනු ගැන තියෙන්නෙ වෙනස් කතාවක්. සාමාන්‍යයෙන් ඒවා ආහාරයට ගැනීම ආරක්ෂිත යි, මොක ද ඒවා විෂ වෙන්නෙ නෑ," මහාචාර්ය මාටින් පවසයි.

"ලූනුවල අංකුර මතු වෙන්නේ බික්වල ගබඩා වී ඇති පෝෂ්‍ය පදාර්ථවල ආධාරයෙන්. කෙසේ වෙතත්, ඒවා‍යේ වඩාත් කටුක රසයක් සහ මෘදු බවක් තියෙන්න පුළුවන්."

විශේෂඥයින් උපදෙස් දෙන්නේ, ලූනු සහ සුදුලූනු පැන්ට්‍රියක් වැනි සිසිල්, අඳුරු, වියළි ස්ථානයක (සෙල්සියස් අංශක 3-10°) ගබඩා කරන ලෙස යි. මුද්‍රා තැබූ ප්ලාස්ටික් බෑග්වල ගබඩා කිරීමෙන් වළකින්න; වායු සංසරණය වන දැලක් හෝ කඩදාසි බෑග් භාවිත කරන්න. අර්තාපල් මෙන් නරක් වූ, මෘදු බවක් හෝ දුර්ගන්ධයක් පෙන්නුම් කරන ඕනෑ ම ලූනු වර්ගයක් හෝ සුදුලූනු සෑම විට ම භාවිතයට නොගෙන ඉවත්කරන්න.

 

කර්තෘ - නසානින් මොටාමෙඩි (බීබීසී පර්සියානු සේවය)

(BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom