lan englan tam

ජැක්සන් ඇන්තනී 67 වන ජන්ම දින සැමරුම අදයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සිටි ප්‍රවීණ රංගධරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ගවේශකයෙක් වූ ජැක්සන් ඇන්තනී මහතාගේ 67 වන ජන්ම දින සැමරුම අද (08)  දිනට යෙදී තිබෙනවා.

‘වාරුවෙන් යන මිනිස්සු’, ‘මානවයෝ’ වැනි වේදිකා නාට්‍ය තුළින් විශ්ව විද්‍යාල සමයේදී ම රංගනයට එකතු වන ජැක්සන් ඇන්තනි ඉන්පසුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’, ‘‘ලෝම හංස’’, ‘‘ධවල භීෂණ’’, ‘‘ඇත්’’, ‘‘මෝරා’’, “තාරාවෝ ඉගිලෙති” වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් එක්වෙනවා.

1993 වර්ෂයේදී ‘ගුරුගෙදර’ සිනමාපටයේ සුනන්දගේ චරිතය නිරූපණය කරමින් සිනමාවට පිවිසෙන ඔහු එතැන් පටන් සිනමා පට තිහකට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

"බවදුක, විසිදැල, ගිනිඅවි සහ ගිනිකෙළි, අස්වැසුම, අග්නිදාහය, මිල්ලෙ සොයා, සූරිය අරණ, ගරිල්ලා මාකටින්, කුස පබා, ප්‍රවේගය, ධර්මයුද්ධය..." වැනි චිත්‍රපට ඔහුගේ විශිෂ්ට රංගන ප්‍රතිභාවයෙන් හැඩවුනු නිර්මාණයි.

මේ අතර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද සම්බන්ධ වන ජැක්සන් ඇන්තනී  "පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ, අප්පච්චි" වැනි ටෙලි නාට්‍ය රැසක ජනප්‍රියතම චරිත රැසකට රංගනයෙන් එක් උනා.

එමෙන්ම  සිනමා අධ්‍යක්ෂණයට ද ජැක්සන් ඇන්තනී පිවිසෙන අතර 1994 දී තිරගත වුනු ‘ජුලියට්ගේ භූමිකාව’ ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

යළි 2008 වසරේදී ඔහු ‘අබා’ සිනමාපටය අධ්‍යක්ෂණය කළ අතර එය මෙතෙක් ලාංකීය සිනමා ඉතිහාසයේ බිහිවූ ජනප්‍රියම චිත්‍රපට කිහිපයෙන් එකක් ලෙසට අදටත් පිළිගැනෙනවා. 2015දී තිරගත වුනු ‘ඇඩ්‍රස් නෑ’ සිනමාපටයත් ඔහුගේම නිර්මාණයක්.

එමෙන්ම මෙම සියල්ල අතර ගවේෂණාත්මක රූපවාහිනී වැඩසටහන් නිර්මාණ කරුවෙකු ලෙසද ජැක්සන් ඇන්තනීගේ භූමිකාව ඉතා විශේෂ වූ අතර "ගඟ දිගේ, සලංහංතේ, මහා සිංහලයේ වංසකතාව, කළු ගඟ දිගේ" වැනි සංචාර තුළින් මෙරට ටෙලිවිෂනයේ පෙරළිකාර වැඩසටහන් රැසක් නිෂ්පාදනය කිරීමට ඔහු දායක වූවා.

සිය කලා ජීවිතය තුළ සිනමාව,රූපවාහිනිය ,වේදිකා නාට්‍ය යන අංශ ත්‍රිත්වයෙන්ම ඔහු සම්මානයට පාත්‍ර වූ අවස්ථා බොහෝයි. මෙරට ප්‍රධාන සම්මාන උළෙලවල් බොහෝ ප්‍රමාණයක ඔහු සම්මානයට පත්‍ර වී ඇති අතර ඒ අතර හොඳම නළුවා සම්මානය හිමි කරගත් අවස්ථා රාශියක් තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේදී මාර්ග අනතුරකට ලක් වීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ පසු වූ ජැක්සන් ඇන්තනි මහතා දිවිගමන නිමා කරන්නේ පසුගිය 2023 වසරේදී යි.

අතිදක්ෂ රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර පිටපත් රචකයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ගායකයෙක්, මාධ්‍යවේදියෙක්, ගී පද රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, චිත්‍ර ශිල්පියෙක්, නවකතාකරුවෙක්, ඉතිහාසඥයෙක් ලෙසින් එකිනෙකට වෙනස් භූමිකා‍ ගණනාවක් ඔස්සේ මෙරට රසිකයින්ට සමීප වූ ජැක්සන් ඇන්තනි, ලාංකීය කලා ක්ෂේත්‍රය තුළින් බිහිවූ අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙකු බව අවිවාදිතයි.

ඔහු දැයෙන් සමුගෙන වසර දෙකක් පමණ ගත වී ඇති මේ මොහොතේ ද ඔහුගෙන් හිස්වූ කලා ක්ෂේත්‍රයේ හිඩැස ශ්‍රී ලංකීය රසිකත්වයට තවමත් බෙහෙවින් දැනෙන බව කිව යුතුය.

kemadasa

Back to top
Go to bottom