lan englan tam

“THEJAගෙ මේ පිංතූරුව දැක්කම පළමුව කණගාටුවක් ද, දෙවනුව සතුටක් ද ඇතිවුණා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය මධ්‍යයේ තිර ගත වන චිත්‍රපටයක් තමයි “කැලැරන්ස් - Rhythm of the Guitar” කියන්නේ.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූයේ තේජා ඉද්දමල්ගොඩ යි. මීට පෙර තිරගත වූ ‘ආශාවරී’ චිත්‍රපටය ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.

කෙසේ වුවත් පසුගිය වර්ෂයේදී (2024) අසනීප තත්වයක් නිසා අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතයෙන් සමුගත්තා.

ඒ වන විට ඔහු 61 වන වියේ පසුවූවා.

ඉන් පසු චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම විසින් චිත්‍රපටය අත් නොහැර අද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ එය තිරගත වන තැන දක්වා ගෙනැවිත් තිබෙනවා.

 

පහතින් දැක්වෙන්නේ තේජා ඉද්දමල්ගොඩගේ හිත මිත්‍රයෙකු වන විදුර අභයගුණවර්ධන විසින් “කැලැරන්ස් - Rhythm of the Guitar” චිත්‍රපටය නිර්මාණය වන කාල සීමාවේ තේජා ඉද්දමල්ගොඩ සමග පැවැති මතකය යළි ආවර්ජනය කරමින් තබන ලද සටහනකි.

(උපුටා ගැනීම)

Theja Iddamalgoda web

 

THEJA ගෙ මේ පිංතූරුව දැක්කම පළමුව කණගාටුවක් ද, දෙවනුව සතුටක් ද ඇතිවුණා. (පිංතූරුව පළව තිබුණේ Kandy City Centre – KCC පිටුවෙ, කැලැරන්ස් Rhythm of the Guitar ප්‍රදර්ශනයට සමගාමීව - (ඡායාරූපය කසුන්වක්වැල්ල)

චිත්‍රපටය රූගත කරන කාලයේ ඊට නමක් තෝරන්න අපි වෙහෙස වුණ හැටි KCC හි නුවන් පළිහවඩනට මතක ඇති. මම යෝජනා කළ නම් අතරින් මම පුද්ගලිකව කැමැතිම නම වුණේ ‘ක්ලැරා’. ඒ නම මම ඇහිඳින්නේ පරාක්‍රම කොඩිතුවක්කු- දාර්ශනික කවියාගේ ‘ක්ලැරා’ කෘතිය කියවූ මතකයෙන්. නදීක ගුරුගේ සංගීත චින්තකයා- ‘ක්ලැරන්සියානු පොප් සංගීතය’ නමින් ක්ලැරන්ස් සංගීත අපදානය ලියා පළ කළේ කලෙකට ඉහත. ඒ කෘතිය ලියන අතීතයේ සිටම ඒ හා ළබැඳී සිටියෙන් එවන් බැරෑරුම් නම් ද මගේ යෝජනා මැද තිබුණා. ඒත් අවසානයේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කෙරුණි. එසේවන්නට හේතුව චිත්‍රපටයේ පැහැය දකිද්දි අවබෝධ වෙනව. එය චමත්කාරයෙන් අනූන මටසිලිටි චිත්‍රයක්, ඊට අපගේ රළු පරළු වචන ගොරහැඩි නොවෙද?

ඊට පසු ක්ලැරන්ස්ගේ ගී පද පේළි එකතු කර මාවිසින් එකලස් කළ තේමාත්මක ගීතය, සංගීතවත් කරන සංගීතඥයා ලෙස යෝජනා වුණේ නදීක ගුරුගේ නම; ඔහුත් ඊට එකඟ වුණා. ඒ කාලය වන විට තේජ උන්නේ අසනීපයෙන්. ඒ නිසා සිදුවුණේ රූගත කිරීම් පවා අඩාලව කල් යාම. ඉදින් ගීතයට තනුව සහ සංගීතය අහිමි වෙනව! ඒ 2023 මුල්භාගය; ඊට පසු මම ලංකාවෙන් එතෙර වෙනව.

දෛවයයි

ඉරණමයි

ජීවිතය සමගින්

රඟන රැඟුමක්දෝ - ක්ලැරා

දුර සිට දකිමි; ක්ලැරන්ස්ගේ ගීතාවලිය තේජගේ මනස්කාන්ත පින්සල් පහරින් හැඩ වුණ සිහිනමය චිත්‍රකථාවක් බවට පත්ව ඇත. නැතහොත් ක්ලැරන්ස්මය ස්වර නාද අනුනාද, පූර්ව අපර සන්ධි ගලපා විචිත්‍රවත් කැන්වසයක ගීතවත් කර ඇත; ඒ නැවුම් රේඛා වර්ණ විසින් ලාංකේය සම්භාව්‍ය සිනමාවෙන් ඔබ්බෙහි පැතිරුණ තාරුකාගුණ සපිරි අවකාශයට ක්ෂිතිජයක් නිමවනු ඇත.

කණගාටුව: තේජගේ අහිමිවීම, ඇරැඹුමට පෙර The end හෝ නිමි බවට ඔහුම පත්වීම, ඔහුගේ සිත්තම් ලියූ කියූ දෑ ඇතුළු ඔහුගේ නිර්මාණ සියල්ල අප අස නතර කර ඔහු නික්ම යාම. ඔහු යළි උත්ථාන නොවන බව අපි දන්නව, ඒත් නිෂ්පාදන කණ්ඩායම අතනොහැර අද වන විට චිත්‍රපටය උත්ථාන කර තිබෙනවා.

සතුට: ඒ රිදී තිරයේ මුලින්ම තේජගේ සිනා දසුන මෙලෙස වර්ණවත්ව දිමුත්දෙන විට සතුට උපදින්නේමය, ඒ ඔහු මිය නොගිය බව මොහොතකට හෝ අපට දැනෙන බැවිනි.

සමනල්ලු රෑනේ ඇවිත්

සිහිනයම හැඩ කළා

ආදරෙන් කී කථා අසා

අප වටා පියැඹුවා

ඒ, ඔහු මිය නොගිය බව මොහොතකට හෝ අපට දැනෙන බැවිනි.

 

vidura 

සටහන -විදුර තුල්සි ඩයස් අභයගුණවර්ධන

( උපුටා ගැනීම 'විදුර තුල්සි ඩයස් අභයගුණවර්ධන' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom