-මලින්ත විතානගේ -
'Tourist Family' දම්ළ සිනමාපටය මා වඩාත් සිත්ගත්තේ අපුරු කතාවකින් සමන්විත වූ නිසාමයි.

ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට සංක්‍රමණය වූ සරණාගත පවුලක් පිළිබඳ එහි කියැවෙයි. ලංකාවෙි දරුණු ආර්ථික අර්බුදයට හසුවීම නිසා මෙම කුටුම්බය බෝට්ටුවෙන් අසල්වැසි ඉන්දියාවට පළා යයි. මොවුන් යාපනයේ ජීවත් වූ ලාංකික දම්ළ ජාතිකයන් ය. සිංහල බස කතා කරන සිංහලයන්ට වඩා මොවුන් දම්ළ ජාතිකයක් වීම නිසා ම තමිල්නාඩුවේ වාසය කරන්නට අමතර වාසියක් බවයි මොවුන්ගේ අදහස.
නමුත් ඔවුන් දම්ළ බස කතා කළ පමණින් හෝ දම්ළ ජාතිකයන් වූ පමණින් අනන්‍යතාවයක් නොමැතිව තම්ල්නාඩුවේ නොහඳුනන නගරයක ජීවත් වීම එතරම් පහසු කාර්යයක් බවට පත්වන්නේ නැත. අනන්‍යතාවය සඟවාගෙන ඉන්දියානු රජයේ ඇස්වලට වැලි ගසා සංක්‍රමණික පවුලක් සේ දිවී ගෙවීම අසීරු ය. මෙම කුටුම්බය කෙසේ නම් තම අනන්‍යතාවය සඟවා ගෙන තම ජීවිතය සරි කරගනීද? යන්න 'Tourist Family' සිනමාපටය තුළ නිරූපණය වේ.

මනුෂ්‍යය වටිනාකම් (Human Values) සම්බන්ධයෙන් විශිෂ්ට සිනමාකෘතියක් බවයි 'Tourist Family' සිනමාපටය සම්බන්ධයෙන් පවතින මගේ අදහස නම්. මෙම යුගයේ මනුෂ්‍ය වටිනාකම් දුර්වල වී ඇති නිසා ම සිනමාපටය විසින් යෝජනා කරන ඇතැමි අදහස් ප්‍රේක්ෂකයාට වඩාත් වැදගත් වේ. අව්‍යාජබව සහ ව්‍යාජබව අතර වෙනස, කළගුණ සැළකීම, අනෙකාට උදවි කිරීම, අනෙකා අවබෝධ කර ගැනීම යන සාධක සිනමාපටය තුළින් ඉස්මතු කරන කාරණා කිහිපයකි.
සිනමාපටයේ පවතින අනෙක් වැදගත් කාරණාව බවට පත්වෙන්නේ ස්ථානයකින් තවත් ස්ථානයකට විතැන් වීම නිසා සිදුවන "හුරුපුරුදුකරණය" කාරණාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයාව නව කථිකාවතකට ප්‍රවේශ කිරීම. විශේෂයෙන් මෙම සංක්‍රමණික පවුල තමිල්නාඩු පරිසරයට සහ අවකාශයට හුරුපුරුදු වීම සහ පරිවර්තනය වන්නේ කිනම් ආකාරයෙන්ද? යන අදහස නිරූපණය කිරීම වැදගත් ය.
සිනමාපටයේ නළු නිළියන්ගේ රඟපැම වඩාත් කැපී පෙනෙනවා. යථාර්ථවාදී රංගන පෙළහරයක් මෙහිදි අත්විඳින්නට ලැබෙනවා. නළු එම්.සසිකුමාර්, නිළි සිමිරන්, මළයාලම් නළු මිතුන්, නළු යෝගී බාබු ඇතුළු සිනමාපටයේ සියළු රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් විසින් නිරූපණය කරන චරිතවලට ජීවය සපයනවා. ඔවුන්ගේ රංගනයේ අපුරුබව නිසාම සිනමාපටය දෙවරක් නරඹන්නට පොළඹවයි. එය සිනමාපටයේ වටිනාකම පොහොසත් කරන ප්‍රධාන සාධකයකි.

'ටුවරිස්ට් ෆැමිලි' දමිළ සිනමාපටය ජීවිතය පිළිබඳ ගෙතු අපුරු ආඛ්‍යානයකි. මනුසත්වග පිළිබඳ කියාපාන සිනමාත්මක ආලංකාරිකයකි.

සටහන - මලින්ත විතානගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.















