ඊයේ පැවැති 30 වන සුමති සම්මාන උළෙලේදී 2024 වර්ෂයේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගන්න සමත් උනේ තරින්දි ප්‍රනාන්දු
ඇයට මේ සම්මානය හිමි උනේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය උන " තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍යයේ “පූජනී” නැමැති චරිතය නිරූපණය කරමින් දැක්වූ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්.
කොහොම උනත් ඊයේ සම්මාන උළෙලේදී සම්මානය පිරිනමන අවස්ථාවේ ඇය විදේශගත වෙලා හිටපු නිසා ඇය වෙනුවෙන් මේ සම්මානය ලබා ගත්තේ ඇගේ වැඩිමල් සහෝදරියයි.
ඉතින් තරින්දි තමන්ට ලැබුණ සම්මමානය ගැන හැමෝටම ස්තූති කරමින් ආදරණීය සටහනක් එක් කරලා තියෙනවා. ඒ වගේම තමන් ආපු ගමන් මග ගැනත් දැන් ඒ ගැන ඇය සිතන ආකාරය ගැනත් ඇය මේ සටහනින් විස්තර කරනවා. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
(උපුටා ගැනීම)
“ඉවසන දනෝ තම වේලාව එනතෙක් සන්සුන්ව සිටිති. එහෙත් අන්තිමේදී ඔවුන්ගේ ප්‍රීතිය දිස්වෙයි. “(උපදේශකයා හෙවත් සිරාක් 1:22-24)
මේ තත්පරයේ මම ඉන්නේ කැනඩාවේ. ඒත් මම ඉන්න තිබුනේ ලංකාවේ. මොකද මගේ රටෙන් කිලෝමීටර් දහස් ගානක් ඈත දී මම දැනගන්නවා සුමත් සම්මාන උළෙලේ " තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍යයේ “පූජනී” ගේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය මට හිමිවුණු බව. ඒ සතුට ඔබත් එක්ක බෙදාගන්න මට තිබුණ අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට.
"අම්මාවරු නැති දරුවන්නේ.. සංකා-දුක් කව්දෝ දන්නේ" ඉතින් අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා @Nalindi Fernando මං වෙනුවෙන් ඒ සම්මානය ලබාගත්තා. අනිත් හැම තැනකදී වගේම චතුර Chathura Rajapaksha අවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කරලා දීලා මං වෙනුවෙන් ඒ හැම තැනකම අක්කා එක්ක ඉදලා තිබුනා. සජීවීව බලාගෙන ඉද්දි අපේ අම්මා ගේ ආශිර්වාදය ත් අපිව මේ තරම් දුරක් ගෙනාව තාත්තා ගේ නිහඬ ශක්තිය ත් නෑදෑයින් ගේ යාළුවන් ගේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින් ගේ බලාපොරොත්තුවේ මහිමයත් මට ඒ තත්පරයේ දැනුනා.
අන්න ඒ වෙලාවේ මගේ අක්කා ගේ මූණේ ඇදුනු හිනාව දැක්කාම " ඉවසන දනෝ තම වේලාව එනතෙක් සන්සුන්ව සිටිති. එහෙත් අන්තිමේදී ඔවුන්ගේ ප්‍රීතිය දිස්වෙයි" කියන බයිබල් පාඨය මතක් වුනා.
කිසිම කෙනෙකුගේ ජීවිත සුවපහසු මාර්ගයක යෙදිලා ඇති කියලා මම හිතන්නෙ නෑ. අපි හැම කෙනෙකුටම අද මට වගේම දවසක තමන් දරාගත්ත, ගෙවාගත්ත පරිච්ඡේද එක්ක හරි ලස්සන කතාවක් තියෙනවා. හරියට පූජනී ට වගේ.
මම විශ්වාස කරනවා අපි හැමෝගෙම ඇතුලේ ඉන්න පූජනී ව අපි විශ්වාස කරන්න ඕනේ, ඒ හයියට ඉඩදෙන්න ඕනේ කියලා. ඉතින් තරින්දි ෆනෑන්ඩෝ කියන නිළිය ඇතුලේ හිටිය පූජනීව විශ්වාස කරල චරිතාංග නිළියක් හැටියට මට වෘත්තියමය ගමන ට අවස්ථාව දුන්න අධ්‍යක්ෂකතුමන් සුපුන් රත්නායක මහතා Supun Rathnayaka, නිෂ්පාදකතුමන් මෙන්ම තිර රචක @Rasika Suraweeraachchi රසික සුරවීරාරච්චි මහතා සහ මගේ සහෝදර නළුනිළියන් ඇතුළු " තත්පරයක් දෙන්න කණ්ඩායම" ට මගේ ආදරය, ගෞරවය සහ ස්තූතිය!
නිර්දේශලාභී සහ සම්මානලාභී සියලුම රංගන ශිල්පීන්,ශිල්පිනියන්ටත් මාගේ උණුසුම් සුබපැතුම්
සුමති සම්මාන වගේ දැවැන්ත වේදිකාවක හොඳම නිළිය සම්මානයට පාත්‍ර වුණු තරින්දි ෆර්නැන්ඩෝ කියන පුංචි මනුස්සයා ට මේ මොහොතෙත් හිතෙන්නේ, ජීවිතය කියන්නෙ කුඩා දිය කඳුරකින් ඉපදිලා තමන් ගලන භූමියෙන් පෝෂණය වෙලා, නොනැවතී, අවසානයට මහා ගඟක් වෙලා අපි හැමෝම ගලන්නෙ මුහුද හොයාගෙන. ඉතින් කුඩා දිය පාරක් වගේ ඉතා කුඩා මනුස්සයෙක් හැටියට ක්ෂේත්‍රයට ඇවිත් නමක් දිනාගද්දි මාව පෝෂණය කල සියලුම දෙනාට ත් ක්ෂේත්‍රය තුල මගෙ පැවැත්ම ශක්තිමත් කරන දයාබර ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාටත්.. මගේ ආදරය ගෞරවය සහ ස්තූතිය.
මේ මොහොතේ කැනඩාවේ මාත් එක්කම ඉදල ආශිර්වාද කල මා එක්ක සතුට බෙදාගන්න හැමෝටම හදවතින්ම ස්තූතියි .. මට ආයෙමත් මතක් කරන්නෙ මම මොන තරම් වාසනාවන්තියක් ද කියලා.

"Tharindi Fernando" නිල facebook පිටුව ඇසුරිනි)




