ඉස්සරහට එන්න තියන සමස්ත චිත්‍රපට පෝළිම වෙනුවෙන් මේක ලියන්නේ... මේ කතාවේ ලේසියට මම විචාර සහ අපි ඔය ලියන හෑලි වෙනුවෙන් Reviews කියන වචනෙත් පාවිච්චි කරනවා.....
අපි හුඟදෙනෙක් චිත්‍රපටි බලන්න පෙළඹෙන්නේ ට්‍රේලර් එකෙන්වත් නළු නිළියන් නිසාවත් අධ්‍යක්ෂක නිසාවත් නෙවෙයි. ඒක ගැන සමාජ මාධ්‍ය සහ අපි අවට පිරිස් දරණ මතය එක්ක තමයි දැන් හුඟක්වෙලාවට මේක වෙන්නේ. අර උඩ කිව්ව සාධක බලපෑවත් මේ සමාජ අදහස ඉතාම බලවත් සිනමා රසවින්දනේදී. එතකොට මේකේ මුල්ම එක තමයි අපි විෂයානුබද්ධ විචාරය සහ ප්‍රේක්ෂක Reviews කියන දෙක වෙන්කරගන්න දන්නැති එක. මේ දෙකම සිනමාවට ඉතාම වැදගත් දෙකක්. ෆිල්ම් බලලා ෆිල්ම්ස් ගැන ලියන හැමෝම විචාරකයෙක් නෙවෙයි. ෆිල්ම් බැලීමෙන් ෆිල්ම් විචාරය කරන්න පුළුවන් කියන එක එහෙම් පිටින්ම මිත්‍යාවක්. එතකොට...
සිනමා අධ්‍යාපනයේ ප්‍රධාන කොටස් දෙකක් තියනවා.
1. Film Studies - ඒ කියන්නේ සිනමාව පිළිබඳව විෂය මූලික හැදෑරීමක්. මේකෙදි සිනමාවේ ඉතිහාසයේ ඉඳලා සමස්ත සිනමාව පිළිඹඳව විෂයානුගතව අධ්‍යාපණය ලැබීම. ගොඩක් වෙලාවට වෘත්තීය "විචාරකයෙක්" වීම සඳහා ආවශ්‍ය දේ මේක. ඒ කියන්නේ විෂයානුබද්ද දැනුම. එතනදී එයාට පුළුවන් වෙනවා නිශ්චිත සිනමාපටයක් ඒ සිනමාපටය විසින් සපයලා තියන දත්ත මත පදනම් වෙලා චිත්‍රපට කියන මූලික අදහසට අයිති විෂය කොටස් දිගේ සමස්ත නිර්මාණය "විචාරයකට" භාජනය කරන්න. "සිනමා විචාරයේ" තියන වැදගත්ම කොටස ඒක.
2. Film Production - සිනමා අධ්‍යාපනයේ තියෙන දෙවෙනි කොටස මේක. මේකෙන් ඉගෙන ගන්නේ ෆිල්ම්ස් හදන හැටි. අර ඉහල කොටස් වලට පොඩි අවදානයක් දුන්නත් මේකෙදි වැඩිම අවදානයක් දෙන්නේ ප්‍රායෝගිකව චිත්‍රපට හැදීම කියන එකට අවශ්‍ය වෘත්තිකයන් බිහිකරගන්න. මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් එක ළඟින් යන.
3. ලංකාවේ සුප්‍රකට දේශපාලන සිනමා විචාරය එන්නේ ඉහත අංක 1 එක්ක දේශපාලනික දර්ශණය එකතුවුණාම. මෙතනදී ගොඩක් වෙලාව සිනමාපටයේ නිර්මාණාත්මක කොටසට වඩා අවදානයක් ලැබෙන්නේ පිටපත සහ එයින් ජනනය කරන දේශපාලනමය අදහස විචාරයට ලක්කිරීම.
ප්‍රේක්ෂක Review වලින් කර්මාන්තයක් ගොඩනැගෙනකොට, analatical විචාරයකින් තමයි ඒ කර්මාන්තයේ ගුණාත්මකභාවය නියාමනය වෙන්නේ.
දැන් එතකොට චිත්‍රපටි බැලීමෙන් දියුණු කරගන්නෙ මොකක්ද…?
චිත්‍රපටි බැලීමෙන් හුඟක්වෙලාවට දියුණුවෙන්නේ පුද්ගල රසාස්වාදය. පුද්ගල රසාස්වාදය කියන එක පුද්ගලානුබද්ද එකක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්වෙනවා. සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එක වගේ. ඔයා ගොඩක් වෙලාවට තෝරාගන්නේ ඔයා කැමති වර්ගයේ චිත්‍රපටි. විවිධ ශානර වල ෆිල්ම්ස් බැලුවත් ගොඩක් වෙලාවට “හොඳ” ෆිල්ම් එකක් කියලා එක පුද්ගලයෙක් දකින්නේ ආසන්නයෙන් එකම හැඩයක්. පුද්ගල රසාස්වාදය පැත්තෙන් පිරුණු මනුස්සයෙක්ට එයා තව ෆිල්ම් එකක් බැලුවම පුද්ගලිකව එයාට හිතෙන දේ අදහසක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක ගොඩක්වෙලාවට විෂානුබද්ද අදහසකට වඩා ‘මට මේක හිතෙන්නේ මෙහෙම’ වගේ එකක්. මේක ඇත්තටම ෆිල්ම් Review (සමාලෝචනය) එකක්. චිත්‍රපටයක් ජනප්‍රිය වෙන්න අතිශයින්ම වැදගත් එකක් මේක. ඒ කියන්නේ විවිධ පුද්ගලයන් තමන්ගේ රසාස්වාද පරාසයේ හැටියට විවිධ අදහස් එකතුකිරීම.
නමුත් ‘’ විචාරය’’ කියන්නෙ මීට වඩා Constructive සහ developed අදහසක්.
ලංකාවේ තියන විශාලම අවුලක් තමයි “විචාරය” සහ “විවේචනය” කියන දෙක විචාරකයොත්, නිර්මාණකාරයොත් තේරුම් නොගැනීම. විවේචනය කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් සම්බන්දයෙන් කරන්න පුලුවන් දෙයක්. “බුදුන්” ව විවේචනය කරන්න ඕනෑම සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්. ඒ කියන්නෙ ඇයි සිද්ධාර්ත රාහුල ඉපදුණ රෑම ගියේ. පහුවදා යන්න තිබ්බනේ අඩුම… ඔය පෙළහර පෑමවල් ප්‍රායෝගිකද…? වගේ එක එක විවේචන. නමුත් බුදුන් “විචෑරීම” ලේසි වැඩක් නෙවෙයි. ඒකට ත්‍රිපිටකය, බුද්ධ ජීවන දර්ශණය, සමකාලීනව පැවතුණ දර්ශණ වගේ දේවල් ගැන ගැඹූරු හැදෑරීමක් අවශ්‍ය කරනවා. එතකොට මෙහෙම “විචාරය” කරනකොට එන්නේ ඉතාම analatical reading එකක්.
මේ ඇනලසිස් එකෙන් එළියට එන කියවීම නිර්මාණකාරයා නොහිතපු එකක් ගොඩක් වෙලාවට. හේතුව නිර්මාණකාරයෝ වැඩකරන්නේ විඥාණයෙන් කොටසකුත් අවිඥාණයෙන් කොටසකුත් විදියට මට තේරෙන ආකාරයට නම්. මේකේ විඥාණයේ ඒ කියන්නේ ඉතාම අවබෝදයෙන් කරන කොටසෙදී එයා ඉතාම පරිස්සම්. හැබැයි නිර්මාණයක් ආතල් වැඩක් වෙන්නේ මේකේ අවිඥාණික අර්ධයෙන් කියලයි මට හිතෙන්නේ.
එතකොට විෂය ගැන අවබෝධයකින් කරන analatical විචාරයකින් තමයි මේ නිර්මාණකාරයාගේ අවිඥාණී කොටස විඥාණිකව එළියට ඇදෙන්නේ. චිත්‍රපටියක් නම් ඒකේ පිටපත, රංගනය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, වේෂ නිරූපණය, සංස්කරණය, සංගීතය, ශබ්ද සංයෝජනය, වර්ණ සංයෝජන ආදී අවසන් අවස්තාව දක්වාම නිර්මාණකාරයාගේ විඥාණික සහ අවිඥාණික තෝරාගැනීම් විචාරය කරන්න පුළුවන්. මෙතනදී නිර්මාණකාරයා කියන්නේ චිත්‍රපටයකදී නම් ඩිරෙක්ටර් විතරක්ම නෙවෙයි. රංගන ශිල්පීන්ගේ ඉඳල තාක්ෂණික ශිල්පීන් ඇතුළු සියළුම දෙනා මේ විඥාණික සහ අවිඥාණික දෙක එකතුකරගෙන තමයි නිර්මාණයට දායක වෙන්නේ.
ඇත්තටම නිර්මාණකාරයා ලොවට හොරෙන් සඟවගෙන ඉන්න ආත්මය, ඒකේ පැල්ලම්, ඒකෙ කැත හෝ ලස්සන, එකේ අවංක හෝ වංක බව වගේ එක එක ඒවා මෙතනදී එළියට එනවා ඒ අදාල නිර්මාණයට සාපේක්ෂව. එතනදී සිද්දවෙන්නේ කපා කොටා බැලීමක්. මේ ක්‍රියාවලියෙදිත් ගොඩක් වෙලාවට නිර්මාණකාරයාට රිදෙන්න තියන ඉඩ කඩ වැඩියි. මොකද එයාට හංඟන්න ඕනේ ටික, නැත්තං එයා නොදැක්ක පැත්තක් වෙන කෙනෙක් දැකීම.... හැබැයි මේක අර සරල “විවේචනය” වගේ තැනකින් ගන්න බෑ. මේක ඊට එයා විෂයානුබද්ද වැඩක්. එකකොට නිර්මාණකාරයෙකුගේ හිත රිදුණත් එයා ගොඩක් වෙලාවට ඒක ගැන නැවත නැවත හිතනවා අනිවාර්යෙන්ම.
එතකොට අපිට "කර්මාන්තයක්" ලෙස වැදගත් මොකක්ද….?
අපිට කර්මාන්තයක් විදියට මූලිකවම වැදගත්ම දේ තමයි ප්‍රේක්ෂකයාගේ Reviews. මේකෙන් තමයි වඩා වඩාත් ප්‍රේක්ෂකයන් නිර්මාණ වලට එකතුවෙන්නේ. Positive Reviews වගේම Negative Reviews ඉතාම වැදගත් ෆිල්ම් එකක් ජනප්‍රිය කරන්න හැමකෙනෙක්ම තමන් දරණ අදහස අනෙකා එක්ක බෙදාගැනීමෙන් තමයි වඩා පොහොසත් සංස්කෘතික සමාජයක් ගොඩනැගෙන්නෙත්. කර්මාන්තයකදී මූලික වෙන්නේ ආර්ථික කාරණය. ඒ කියන්නේ පාරිභෝගිකයා එයාගේ තෘප්තිමත් භාවය, ඒ නිසාම නැවත නැවත පරිභෝජනයට යොමුවීම, ඒනිසා නැවත නැවත කර්මාන්තය ඇතුලට මුදල් ගලාගෙන එන එක වගේ චක්‍රීය අදහසක් ඇතුලේ තමයි කර්මාන්ත ගොඩනැගෙන්නේ. ප්‍රේක්ෂකයා (පාරිභෝගිකයා) තෘප්තිමත් වෙන තරමට කර්මාන්තයට මුදල් ගලාගෙන එනවා…
හැබැයි මෙන්න මේ පාරිභෝගිකයා තෘප්තිමත් කරන වැඩේ අපි සෑහෙන කාලයක් තිස්සේ කරගෙන ආවෙ සෑහෙන්නම ප්‍රාථමික විදියකට. මේක තේරුම් ගන්න හොඳම එක තමයි ‘පෝක් කරි සහ පොල් රොටී’. ලංකාවේ එක්තරා මහත්මයෙක් පාර අයියේ පෝක් කරී සහ පොල් රොටී දැම්මා. මේක හිට්වුණා…. සති දෙකකට විතර පස්සේ ඒ පාරේ පාර දිගේම ‘පෝක් කරී සහ පොල් රොටී’. ඊටපස්සේ ඒ බෝඩ් එක දකිනකොටත් එපාවෙන ගාණට ආවා. කාමකතා රැල්ල, රජකතා රැල්ල, ළමා කතා හෝ මොනවම හෝ එකම ජාතියක් එකදිගටම එනකොට ඒක ‘පෝක් කරී සහ පොල් රොටී’ ලොජික් එකටම යනවා. ‘පෝක් කරී පොල් රොටී’ නිසා ඒ පාර හිට්වෙනකොට පෝක් නොකන එවුංට ‘දෙල් කරී පොල් රොටී’, ඒ එකක්වත් නොකන එවුං අරවා කන එවුං එක්කම මේ පාරට එන නිසා උංට කන්න වෙන වෙන කෑම ජාති, ඊටපස්සේ එනඋංගෙ වයිෆ්ලාට ගන්න මල්පැල, ළමයිට සෙල්ලම් බඩු විදියට ‘පෝක් කරී සහ පොල් රොටී’ නිසා නිර්මාණය වුණූ පාරිභෝගික වටපිටාව විවිධාංගීකරණය කරමින් වඩා වඩා පාරිභෝගිකයන් ඒක දිහාට ඇදගන්න පුළුවන්. දැන් මේකෙන් ‘පොක් කරී සහ පොල් රොටී’ වලටත් මාර බෙනිෆිට් එකක්. ඒ තමයි දැන් ටික කාලෙකින් මල් පැල ගන්න එන එවුනුත් ‘පොක් කරී සහ පොල් රොටී’ දැකලා එතෙන්ට ඇවිල්ලා ගන්නවා.
විචාරය විසින් කලාවත්, Reviews හෙවත් සමාලෝචනයක් එහෙම නැත්තං සෝෂල් මීඩියා භාෂාවෙන් කිව්වොත් හෑලි වලින් කර්මාන්තයත් වර්ධනය සහ පෝෂණය කරනවා. මේ දෙකම මේකේ ගමනට අත්‍යවශ්‍යයි. මම මේක ලිව්වේ විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සහ නිර්මාණකාරයාට. ඒ තමයි Reviews බලලා ෆිල්ම්ස් නොබල ඉන්න එපා. Reviews කියන ඒවා කොහොමත් පේන නිසා ඒක කන්ට්‍රෝල් කරන්න අමාරුයි. නමුත් අනිවාර්යෙන් දිග රිවීව්ස් කියවන්න එපා ෆිල්ම් එක නොබලා. ෂෝට් රිවීව්ස් වලින් යම් සරල අහදසක් විතරයි එන්නේ. ඒ වගේම විචාර කියවලා ෆිල්ම්ස් බලන්නත් එපා. මොකද එතකොට බලන්නා ඉන්නේ විචාරයෙන් දුන්න පූර්ව නිගමනයක… අපරාදේ ටිකට් එකේ සල්ලි සහ ඒ සල්ලිවලට ලැබෙන ආතල් එක.
ඉතින්,
හැකිනම් කෙටි Reviews එහෙන් මෙහෙන් දැක්කම ගිහිල්ලා චිත්‍රපටිය ඉස්සරලා බලන්න. ඊටපස්සේ Reviews සහ විචාර කියවන්න. එතනදී ඔයාට චිත්‍රපටියට ගෙව්ව එකම ටිකට් එකේ වටිනාකමට තවත් ආතල් දෙකක් හම්බෙනවා. හරියට ලිව්ව විචාරයක් සහ හොඳට ෆිල්ම් බලන එකෙක්ගේ Review එකක් කියන්නේ ෆිල්ම් එකක් බලනවා තරම්ම ආතල් වැඩක්…. මේක ලංකාවේ සිනමාවට අදාලව විතරක් නෙවෙයි මම කියන්නේ… සමස්ත ලෝක සිනමාවටම…..
ඉස්සරහට එන්න තියන ෆිල්ම්ස් වලදී මේක කරලා බලන්න... ආතල්....
ලකා.

සටහන -ලක්මාල් ධර්මරත්න
(චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක)
මෙම සටහන 'Laka Darmarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



