lan englan tam

“තාත්තිගේ මතක රැදුණ ඒ එක් කමීසයක් අවුරුදු 34 කට පස්සේ මම ඇන්දා”- චිත්‍රාල් සෝමපාල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රාල් සෝමපාල  නම ඇසූ සැනින් මේ ප්‍රවීණ ගායකයාව වගේම බොහෝ දෙනාගේ මතකයට නැගෙන තවත් දෙපළක් ඉන්නවා.

ඒ තමයි පී.එල්.ඒ. සෝමපාල හා චිත්‍රා සෝමපාල යන ප්‍රවීණ ගායනවේදීන් දෙපළ. මේ ප්‍රවීණ සංගීත වේදීන් දෙදෙනා ලාංකික සංගීතය වෙනුවෙන් වගේම සිනමාව වෙනුවෙනුත් කළ මෙහෙය බොහෝමයි.

දැන් මේ දෙදෙනාම අප අතර නැතත්, ඔවුන්ගේ එක් පුත්‍රයෙක් වන අප කවුරුත් දන්නා හඳුනන ගායනවේදී චිත්‍රාල් සෝමපාල විසින් සිය මව සහ පියා ගැන ආදරණීය මතක සටහනක් එක් කර තිබුණා. ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහායි.

මේ සටහන මේ ප්‍රවීණයන් දෙපළගේ සංගීත දිවිය පිළිබඳව නම් නොවේ. සිය දරුවන්ට අසීමිතව ආදරය කළ මවක හා පියෙකු පිළිබඳව පුතෙකුගේ ආදරණීය මතකය හා සංවේදී හැගීම් පිළිබඳවයි.

මතු දැක්වෙන්නේ එම සටහනයි.

 

(උපුටා ගැනීම)

තාත්තිගේ ආදරය ගැන සටහනක්...

තාත්තී සහ අම්මී එයාලගේ Eye operation වලට 1991 වසරේ ඉන්දියාවේ ගිහින් එනවිට මට සිතාරයක් ගෙනල්ලා තිබුනා. ඒ එක්කම එයාට අඳින්න කුර්තා කමීස කිහිපයක් අරගෙන තිබුනා. ඒත් තාත්තිට ඒවා අඳින්නට බැරිවුනා 1991 අවුරුද්දේම මගේ ආදරණීය තාත්තී මියගිය නිසා.

මම තාත්තීගේ funeral එකට ඇවිත් නැවත ජර්මනියට යනවිට සිතාරයත්, තාත්තීගේ මම කැමති කුර්තා කමීස දෙකකුත් මතක විදියට අරගෙන ගියා. ඒ කමීස අදවන තුරු ආදරයෙන් පරිස්සමට මා ලග වසර 34ක් තිබෙනවා. ඒවා දකින හැමවිටම හිතට ගොඩාක් දුක එනවා තාත්තිගේ ආදරය මතක් වෙලා සහ මගේ තාත්තිට මගේ Musical career performances දකින්න බැරිවීම ගැන

යුරෝපයේ 60,000 ක ප්‍රේක්ෂකාගාරයට (Gods of Metal Festival, Milano -ITALY) මගේ සංගීත ශෛලියෙන් AVALON -German Progressive Metal Band සමග මා ගැයු ගීත අසන්නට - මා නරඹන්නට, ඒ වගේම මගේ සංගීත ජීවීතයේ සුවිශේෂී සංදිස්ථානයන් වුන Luxembourg Philharmonic Orchestra, Trier Symphonic Orchestra - Germany වල මගේ ගීත ගායනයට ප්‍රේක්ෂකාගාරයෙන් මට ලැබුන ප්‍රතිචාරයන් විදින්නට, සහ මා තැටි ගත කල ගීත Album 35 කටත් වැඩි ප්‍රමාණයක් ඔහුට අසන්නට සහ දකින්නට තිබුනා නම් කියා.

තාත්තිට වගේම අම්මිට මොනවගේ හැඟීමක් දැනෙන්නට තිබුනාද මා ගැන. එයාලගේ ප්‍රතිචාර අසන්නට බැරි වීම අදටත් මට මගේ ජීවිතයේ දැනෙන ලොකු හිඩසක්. එයාලගෙ උරුමයෙන් මට ලැබිලා තියෙන හඬින්, හැකියාවෙන් සහ මගේ අතිශය කැපකිරීමෙන් මා ආ දුර ගමනේදී මට ආදරය, ධෛර්‍ය් සහ අවස්ථාවන් දුන් අය බොහෝයී. අපහාසයට සිනහාවුවන් සහ අපහාස කල අය අද වගේම එදත් සිටියා.

ඒ කවුරු මොන දේ කීවත් කලත් මම, මගේ තාත්තී වගේම මගේ නිර්මාණ එක්ක මගේ කලාව කරගෙන යනවා. යම් අවස්ථාවන් වල විෂ සහිත මිනිසුන් මාව විනාස කරන්නට හැදුවත් මගේ ආදරණීය දෙමාපියන්ගේ ආශිර්වාද සහ මගේ කලාවට ආදරය කරන රසික ප්‍රජාව මාව හැමදාම රැකගන්නා බව මා දන්නවා.

එයාලා ආදරයෙන් මට ගෙන ආ සිතාරය තවමත් සුරක්ෂිතව ජර්මනියේ තිබෙනවා

තාත්තිගේ මතක රැදුණ ඒ එක් කමීසයක් අවුරුදු 34 කට පස්සේ මම ඇන්දා.”

 

546148079 24347067981582496 2866691676671137435 n 1

(සටහන සහ ඡායාරූප උපුටා ගැනීම - 'Chitral Somapala' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

Back to top
Go to bottom