lan englan tam

ටෙලි තිරයේ නිල නිළි රැජින!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- Lakmina Ranasinghe-

සුමති සහ රයිගම් සම්මාන උළෙලවල් දෙකේ වැඩිම වාර ගණනක් හොඳම නළුවා සම්මානය දිනාගැනීමේ ජාතික වාර්තාවට සම-හිමිකම් කියන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් සහ රොෂාන් රවීන්ද්‍ර.

ශ්‍රියන්ත විසින් සුමති සම්මාන 4ක් (2001, 2008, 2009, 2015), එක් රයිගම් සම්මානයක් (2012) බැගින් මුළු සම්මාන 5ක් සහ රොෂාන් රවීන්ද්‍ර සුමති සම්මාන 2ක් (2010, 2019), රයිගම් සම්මාන 3ක් (2010, 2015, 2018) බැගින් මුළු සම්මාන 5ක් දිනාගෙන තියනවා.

එක ළඟ අවුරුදු දෙකකදී පිට පිට හොඳම නළුවා හෝ නිළිය සම්මානය දිනාගැනීමේ වාර්තාවට සම-හිමිකම් කියන නළු නිළියො තමයි චාන්දනී සෙනවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, උමාලි තිලකරත්න, සුමින්ද සිරිසේන සහ ජැක්සන් ඇන්තනී.

ඒ වගේම එකම අවුරුද්දකදී හොඳම නළුවා හෝ නිළියට ලබාදෙන සුමති සහ රයිගම් සම්මාන දෙකම දිනාගැනීමේ වාර්තාවට සම-හිමිකම් කියන නළු නිළියො තමයි චාන්දනී සෙනවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රවීන්ද්‍ර, දුලීකා මාරපන, ජනක් ප්‍රේමලාල්, තුසිත ලක්නාත්, නදී කම්මැල්ලවීර, ප්‍රියන්ත සිරිකුමාර, උමාලි තිලකරත්න, තරින්දි ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, සේමිණී ඉද්දමල්ගොඩ සහ කාංචනා මෙන්ඩිස්.

ප්‍රථම සුමති සහ රයිගම් සම්මාන උළෙලවල් දෙකේ හොඳම නළුවා සහ නිළිය සම්මාන දිනාගත්ත අයගේ වාර්තාවට හිමිකම් කියන්නෙ මානෙල් ජයසේන, බුද්ධදාස විතානාරච්චි, චාන්දනී සෙනවිරත්න සහ ධනංජය සිරිවර්ධන. ඒ වගේම අඩුම කාල පරාසයකදී හොඳම නිළිය සම්මාන වැඩිම ප්‍රමාණයක් දිනාගැනීමේ වාර්තාවට හිමිකම් කියන්නෙ වසර 4ක කාල පරාසය තුළ හොඳම නිළිය සම්මාන 4 ක් දිනාගත්ත චාන්දනී සෙනවිරත්න.

ඊට අමතරව වැඩිම වාර ගණනක් හොඳම නිළිය නිර්දේශ නාම අතර හිටපු නිළියගේ වාර්තාවට හිමිකම් කියන්නෙත් චාන්දනී සෙනවිරත්න. වැඩිම වාර ගණනක් හොඳම සහය නිළිය සම්මානය දිනාගැනීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් චාන්දනී සෙනවිරත්න. හොඳම සහය නිළිය සඳහා සුමති සම්මාන 2ක් (2011, 2021) සහ රයිගම් සම්මාන 2ක් (2010, 2016) චාන්දනී සෙනවිරත්න දිනාගෙන තියනවා.

ඉහත හැම වාර්තාවකටම පොදුවේ හිමිකම් කියන එකම එක කෙනා තමයි චාන්දනී සෙනවිරත්න! දැන් තමයි වැදගත්ම වාර්තාව කියන්න යන්නෙ! සුමති සහ රයිගම් සම්මාන උළෙලවල් දෙකේ වැඩිම වාර ගාණක් හොඳම නිළිය සම්මානය දිනාගැනීමේ උත්තරීතර ජාතික වාර්තාවට හිමිකම් කියන්නෙ රයිගම් සම්මාන 5ක් (2004, 2005, 2007, 2014, 2018) සහ සුමති සම්මාන 3ක් (1996, 1999, 2007) බැගින් මුළු සම්මාන 8ක් දිනාගත්ත චාන්දනී සෙනවිරත්න. නළු නිළි දෙපාර්ෂවයම එකට සලකා බැලුවමත් චාන්දනී සෙනවිරත්න තමයි TV තිරයේ වැඩිම රංගන සම්මාන දිනාගත්ත සම්මාන මැෂිම!!

චාන්දනී සෙනවිරත්න කියන්නෙ මොළෙන් රඟපාන, ඒ ඒ චරිතයට හොඳටම අනුගත වෙලා, ඒ චරිතයට අදාළ හැම පුංචි දෙයක්ම උපරිමයෙන් රඟදක්වලා පෙන්නන්න පුළුවන් අති විශිෂ්ට නිළියක්. ප්‍රේක්ෂකයින්ට කිසිම අසාධාරණයක් කරන්නෙ නැතුව අදාළ චරිතයේ අභ්‍යන්තර සහ බාහිර දේවල් හරිම මිම්මට ප්ලේ කරන ශිල්පය ඇය හොඳටම දන්නවා. අදාළ චරිතයට තමන්ගේ පැත්තෙන් එකතු කරන්න ඕන හරිම දේවල් හරිම පදමට එකතු කරන්නත් ඇය දන්නවා. වේදිකාවත් රූපවාහිනියත් වෙන් කරන රතු ඉර හරියටම ගහපු අතළොස්සක් නළු-නිළියන් අතර උඩින්ම ඉන්නත් ඇයට පුළුවන් වෙලා තියනවා.

චාන්දනී සෙනෙවිරත්න තරුණ නිළියක්ව සිටි කාලයේදී ඇයට තිබුනෙ ස්වර්ණගේ සරාගී බවත් මාලිනීගේ අහිංසක බවත් මික්ස් වුන අමුතුම වීඩියෝජෙනික් පෙනුමක්. ඒ නිසා හැම වර්ගයකම පිරිමි හැඟීම්වලට කතා කරන්න පුළුවන් දුර්ලභ හැකියාවක් චාන්දනීගේ රූපයට තිබුනා. ඒ නිසාම මුල් කාලයේදී චාන්දනීට ලැබුන විවිධ වර්ගයේ සංකීර්ණ චරිතවලට ඒ පෙනුම ඕනවටත් වඩා ගැළපුනා.

තමන්ගේ ස්වභාවික හැකියාව, හැදෑරීම්, කැපවීම් සහ අත්දැකීම් ඇසුරෙන් පෝෂණය වුන චාන්දනී සෙනවිරත්නගේ රංගන හැකියාව නිසා TV තිරයේ අද්විතීය නිළි රැජින යන නමින් ඇයව හඳුන්වන එකේ කිසිම වැරැද්දක් නෑ. සිනමා තිරයේ නිළි රැජින මාලිනී ෆොන්සේකා නම්, ටෙලි තිරයේ නිළි රැජින තමයි චාන්දනී සෙනවිරත්න. ඇය ලබාගෙන තියන සම්මාන, ඇගයීම්වලට අමතරව ඇය කරලා තියන අති විශිෂ්ට චරිත විශ්ලේෂණය කරලා බැලුවම ටෙලි තිරයේ නිළි රැජින කියන විරුදාවලියට චාන්දනී සෙනවිරත්න නම් අද්විතීය රංගන ශිල්පිණිය නිල වශයෙන්... ඔව්.. නිල වශයෙන් ඕනවටත් වඩා සුදුසුයි.

2025 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහාත් චාන්දනී සෙනවිරත්න නිර්දේශ වුනා. එතෙන්දි ඇය ඒ සම්මානයට නිර්දේශ වුනේ අති දක්ෂ සහ ඇයට වඩා කණිෂ්ට නිළියන් තුන්දෙනෙක් එක්ක. ඒ තමයි තරින්දි ප්‍රනාන්දු, දිනක්ෂි ප්‍රියසාද් සහ රෙබෙකා දිල්රුක්ෂි. මේ අතරින් තරින්දි සම්මානය දිනාගත්තා. ඒත් චාන්දනී සෙනවිරත්න වගේ අද්විතීය රංගන පෞර්ෂයක් එක්ක නිර්දේශ වීමම ඒ නිළියන් තුන්දෙනා ලබපු අද්විතීය සම්මානනීය ගෞරවයක් විදිහට තමයි මට නම් පේන්නෙ. ඒක සම්මානය තරම්ම, සමහර විට සම්මානයටත් වඩා අති විශිෂ්ට ජයග්‍රහණයක්!

 

සුමති සහ රයිගම් සම්මාන උළෙලවල්වලදී හොඳම නළුවා සහ නිළිය සම්මාන දිනාගත්ත අය, ඒ සම්මාන දිනාගත්ත වාර ගණන තමයි මේ තියෙන්නෙ.

1. චාන්දනී සෙනවිරත්න - සුමති 1996, 1999, 2007 / රයිගම් 2004, 2005, 2007, 2014, 2018 - 8

2. ශ්‍රියන්ත මෙන්ඩිස් - සුමති 2001, 2008, 2009, 2015 / රයිගම් 2012 - 5

3. රොෂාන් රවීන්ද්‍ර - සුමති 2010, 2019 / රයිගම් 2010, 2015, 2018 - 5

4. දුලීකා මාරපන - සුමති 2004, 2005, 2009 / රයිගම් 2009 - 4

5. වසන්ති චතුරානි - සුමති 1998, 2002, 2008 / රයිගම් 2006 - 4

6. උමාලි තිලකරත්න - සුමති 2016, 2021 / රයිගම් 2016, 2022 - 4

7. ජනක් ප්‍රේමලාල් - සුමති 2006, 2014 / රයිගම් 2006, 2008 - 4

8. නිල්මිණී තෙන්නකෝන් - සුමති 2000, 2015 / රයිගම් 2008 - 3

9. සුමින්ද සිරිසේන - සුමති 1999, 2004 / රයිගම් 2005 - 3

10. විශ්වජිත් ගුණසේකර - සුමති 2012 / රයිගම් 2007, 2014 - 3

11. ජැක්සන් ඇත්තනී - සුමති 1997, 2014, / රයිගම් 2013 – 3

12. මහේන්ද්‍ර පෙරේරා - සුමති 2003‍ / රයිගම් 2017, 2023 – 3

13. බිමල් ජයකොඩි - රයිගම් 2011, 2020 - 2

14. ජයලත් මනෝරත්න - සුමති 2002 / රයිගම් 2009 - 2

15. ජගත් චමිල - සුමති 2011, / රයිගම් 2022 - 2

16. තුසිත ලක්නාත් - සුමති 2021 / රයිගම් 2021 - 2

17. ප්‍රියන්ත සිරිකුමාර - සුමති 2024 / රයිගම් 2024 - 2

18. තිසුරි යුවනිකා - සුමති 2014, 2018 - 2

19. නදී කම්මැල්ලවීර - සුමති 2017 / රයිගම් 2017 - 2

20. උදාරි වර්ණකුලසූරිය - සුමති 2020 / රයිගම් 2020 - 2

21. සේමිණී ඉද්දමල්ගොඩ - සුමති 2023 / රයිගම් 2023 - 2

22. මාලිනී ෆොන්සේකා - සුමති 1997, 2001 - 2

23. තරින්දි ප්‍රනාන්දු - සුමති 2024 / රයිගම් 2024 -2

24. පබෝදා සංදීපනී - සුමති 2013 / රයිගම් 2010 - 2

25. දමිතා අබේරත්න - සුමති 2006 / රයිගම් 2011 - 2

26. කාංචනා මෙන්ඩිස් - සුමති 2012 / රයිගම් 2012 - 2

27. ධනංජය සිරිවර්ධන - රයිගම් 2004

28. පුබුදු චතුරංග - රයිගම් 2016

29. ආනන්ද කුමාර උන්නැහේ - රයිගම් 2019

30. බුද්ධදාස විතානාරච්චි - සුමති 1995

31. අසෝක පීරිස් - සුමති 1998

32. ලකී ඩයස් - සුමති 1996

33. ජෝ අබේවික්‍රම - සුමති 2000

34. ජයලාල් රෝහණ - සුමති 2005

35. රොජර් සෙනවිරත්න - සුමති 2007

36. සුමිත් රත්නායක - සුමති 2016

37. ශාම් ප්‍රනාන්දු - සුමති 2017

38. උද්ධික ප්‍රේමරත්න - සුමති 2018

39. දසුන් පතිරණ‍ - සුමති 2020

40. මධුර ප්‍රභාෂ්වර - සුමති 2022

41. ජගත් මනුවර්ණ - සුමති 2023

42. ශලනි තාරකා - රයිගම් 2019

43. චම්පා ශ්‍රියාන් - රයිගම් 2021

44. වොල්ගා කල්පනී - රයිගම් 2022

45. මානෙල් ජයසේන - සුමති 1995

46. සසන්ති ජයසේකර - සුමති 2003

47. හිමාලි සයුරංගි - සුමති 2010

48. සමාධි ලක්සිරි - සුමති 2011

49. නිලුක්ෂි ප්‍රනාන්දු - රයිගම් 2013

50. මේනකා පීරිස් - රයිගම් 2015

51. සමනළී ෆොන්සේකා - සුමති 2019

52. නයෝමි තක්ෂිලා - සුමති 2022

(සම්මාන දිනාගත් වාර ගණන පිළිබඳ තොරතුරු  අන්තර්ජාලයේ දත්ත මත පදනම් වී ඇත.)

 

 

 

 

විශ්ලේෂණ සටහන - ලක්මිණ රණසිංහ

(මෙම සටහන 'Lakmina Ranasinghe' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom