-Lakmina Ranasinghe-
සුනිල් එදිරිසිංහ නම් මහා ගායකයා 2025 Sumathi Awards උළෙලේ U.W සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ වෙලාවෙදි සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් අපූරු ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සුමති වේදිකාවේ දිගහැරුනා. ඒ අංගයේ පළවෙනි සින්දුව ගායනා කළේ සිනමැටික්, ඩොල්බි ඇට්මොස් සහ 7.1 ෆ්රෙන්ඩ්ලි හඬ පරාසයන් තියන ගායිකාවන් අතරට අලුතෙන්ම එකතු වෙමින් ඉන්න Nuwandhika Senarathne. ඒ සින්දුව තමයි ‘තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඬ පැතිරෙනවා’ සින්දුව. මේක Bandara Eheliyagoda, Dr. Rohana Weerasinghe සහ Sunil Edirisinghe සුසංයෝගයෙන් බිහිවුන අර්ථ රස දෝරෙ ගලන සින්දුවක් මිත්‍රවරුනි.
වීඩියෝව නරඹන්න පහතින් >>
සුනිල් එදිරිසිංහයන්ගේ ඒ සින්දුව ගායනා කරන්න ඊට වඩා හොඳ අවස්ථාවක් ඉතිහාසයේ කිසිම තැනක තිබිලා නැතුව ඇති. ටෙලිනාට්‍ය කලාවේ ඉන්න මානවිකාවන් ඇතුළු, නවක ප්‍රවීන අති දක්ෂ විශාල පිරිසක් එදා සුමති ඕඩියන්ස් එකේ හිටියා. සුමති වේදිකාවේ ගායනා වුන මේ තිරය ඇරෙනවා සින්දුවේ අර්ථය ඒ ඕඩියන්ස් එක තේරුම් ගත්තා නම් අපේ කලාව මීට වඩා ලස්සන කරන්න පුළුවන් මිත්‍රවරුනි.
අපි නිර්මාණයක් කරන්න ඕනෙ අපිට ඔල්වරසන් දෙන ප්‍රේක්ෂක දායක සභාවලට විතරක් නෙමෙයි. තිරය ඇරුනත් තිරය වැහුනත් අපි මොන දේ කළත් අපේ දායක සභාව අපිට ඔල්වරසන් දෙනවා. ඉතිං ගොඩක් වෙලාවට දායක සභාවේ කට්ටිය එකතු වෙලා කලාකරුවන්ව ඔල්වරසන්වලින් අන්දනවා. කලාකරුවොත් මදි නොකියන්න අඳිනවා. දායක සභාවේ ඔල්වරසන් අහලා තමන් කරපු දේ ගැන අධි තක්සේරුවක් ඇතිකරගන්නවා. ඔන්න ඔතෙන්දි තමයි තමන්ගේ නිර්මාණය හෝ හැකියාව ගැන හරිම තක්සේරුවක් ඇතිකරගන්න කලාකරුවන්ට බැරිවෙන්නෙ මිත්‍රවරුනි. කලාකරුවන්ට පුළුවන් නම් තමන්ගෙ දායක සභාවේ නැති අයටත් දැනෙන්න සහ ඒ අයගෙනුත් ඔල්වරසන් ලැබෙන ලෙවල් එකට වැඩක් කරන්න, අන්න ඒක තමයි මිත්‍රවරුනි ‘වැඩේ’.
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ-සුඟ නටවනවා
රංගනය කියන්නෙ මහපොළවෙ තියන විෂයක්. ඒත් ඒ විෂය දන්නෙ නැතුව සඳළුතලාවල ඉන්න මානවිකාවන්ව සඳළුතලෙන් බිමට බස්සලා වේදිකාවට අරගෙන ටෙලිඩ්‍රාමාවල ‘රඟපාවෝනවා’. ඉතිං ඒ අය ටෙලිඩ්‍රාමා වේදිකාවට වෙලා තාලෙට ඉඟ-සුඟ නටවනවා. අපිත් ඒ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඒත් ඒ මානවිකාවන්ගේ නැටුම් සහ රැඟුම් තියෙන්නෙ, විෂයට ගොඩක් ඈතින් මිත්‍රවරුනි.
විෂය නොදැන නටන මානවිකාවන්ට බැනලා වැඩක් නෑ සහ බනින්නත් එපා. මෙතන වැරැද්ද තියෙන්නෙ ටෙලිඩ්‍රාමාවල රඟපාන නළු නිළියෝ කවුද කියලා අවසන් තීරණය ගන්න අයගෙ.
එක එක හේතු නිසා රඟපාන්න බැරි සහ නොගැලපෙන අයව වේදිකාවට ගේනවා. ඊට පස්සෙ විෂය දන්නෙ නැතුවත් වෙන වෙන ක්‍රමවලින් නටන්න රඟන්න පුළුවන් කියලා මානවිකාවො දැනගන්නවා. ඒ නිසා විෂය ඉගෙනගන්න ඒ අයට උනන්දුවක් නෑ. ඒත් විෂය නොදැන නටන නැටුම් නිසා ප්‍රේක්ෂකාගාරයටත් කලාවටත් හානියක් වෙනවා මිත්‍රවරුනි.
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නල වතුරෙන් සැනහෙන ‘නිළියෝ’
ගොයම් නැටුමකට දෑකැති ළෙලවති
කුඹුරක් ඇස නොගැටුන ‘නළුවෝ’
සඳළුතලේදි කළගෙඩියක් අල්ලලවත් නැති, කළයකින් කවදාවන් නාලා නැති, ක්ලෝරීන් ටැප් වතුරෙන් නාපු, කළගෙඩි නැටුම් ඉගෙනගන්නත් ඕනෙ නෑ කියලා හිතන අය මේ ක්ෂේත්‍රයේ කළගෙඩි නැටුම් නටනවා මිත්‍රවරුනි. නියරක් දිගේ දුවලවත් නැති සමහරු කියනවා මම ගැමි චරිත කරන්න ආසයි කියලා. ආසාව තියන එක හොඳයි. ඒත් මේක විෂයක්. කුඹුරක් දකින්නෙවත් නැතුව ගොයම් නැටුමකට දෑකැති ළෙලවන නළු නිළියෝ මොන තරම් ඉන්නවද මිත්‍රවරුනි.
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරලිය අභියස බලා හිඳී...
එක එක අසාධාරණකම් නිසා ඇත්ත රංගන හැකියාවන් තියන අයට වේදිකාව උරුම නැති වෙනවා මිත්‍රවරුනි. ඒ අයගේ දෙපා බෙර කවියේ තාලෙට සැලුනත්, වේදිකාවේ නටන්න අවස්ථාවක් නෑ. ඒ අය කරලිය අභියසට වෙලා බලාගෙන ඉන්නගමන් වෙන වෙන දේවල්වලට තමන්ගේ ගතේ හිතේ තියන හයිය දියකරනවා. සමහරු කොස්ටියුම් පැත්තට යනවා, තවත් සමහරු මේකප් පැත්තට යනවා, තවත් සමහරු ආර්ට් කරන්න යනවා, තවත් සමහරු ඇසිස්ටන්ට්ලා වෙනවා, තවත් සමහරු වෙනම ක්ෂේත්‍රවලට යනවා. මේ විදිහට රංගන ක්ෂේත්‍රයට අහිමි වුන සැබෑ දක්ෂයින්ගේ ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි මිත්‍රවරුනි.
තමන්ට ඇත්ත හැකියාවක් තියනවා නම් සැලෙන්නෙ නැතුව පුළුවන් තරම් try කරන්න. කවදා හරි දවසක ඔබට දිනන්න පුළුවන්. දක්ෂතාව තිබිලත් තමන්ට රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ නේද කියලා කල්පනා කරන අය වෙනුවෙන්, සුනිල් එදිරිසිංහ නම් ඒ මහා ගායකයාගේ තවත් සින්දුවකින් මම මගේ කතාව අවසන් කරන්නම්. අසා සිටි ඔබ සැමට සරස්වතී සහ ලක්ෂ්මි දෙවිවරුන්ගේ පිහිටයි.
කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි
මා දන්නේ කීමට පමණයි
කවදා මුත් මම ගායකයෙක් වී
නුඹලා හැම පරදනවාමයි...

සටහන - ලක්මිණ රණසිංහ
(මෙම සටහන 'Lakmina Ranasinghe' ෆේස්බුක් පිටුව ඇසුරිනි)



