ලෝකයේම ප්‍රකාශන කර්මාන්තයට අත්පිටපත් අතිරික්තයක් තිබ්බා; තියෙනවා.
ඒ නිසා ප්‍රධාන ප්‍රකාශන මාර්ගයට ඇතුළුවිය නොහැකි අය හැමදාම විකල්ප ප්‍රකාශන මාර්ග සොයා ගත්තා.
Self Publishing ඒ විකල්ප මාර්ගයේ ජනප්‍රිය මුල් රූපයක්.
2010 න් පස්සෙ නව තාක්ෂණික දියුණුව එක්ක අන්‍තර්ජාල ප්‍රකාශන වේදිකා බිහිවුණා. Self Publishing වල නව රූපය.
Wattpad, Webnovel, ao3, Fictionpress... ඉන් කිහිපයක්.

මේවා නවකතා රචනයේදී හරිම නිදහස් වේදිකාවන්. Fan Fiction ගණයට වැටෙන මේ නවකතා බොහෝවිට රචනා වෙන්නෙ රසික ප්‍රතිචාර, රසික යෝජනා මතින් ඉදිරියට යමින්.
ඒකයි ඒ නවකතා බොහෝමයක් මුද්‍රණය වුණාම පිටු ගණනින් ඉතා විශාල වෙන්නෙ.
ලංකාවෙ අපිට මේ Fan Fiction නවකතා ප්‍රධාන ග්‍රන්ථ ප්‍රකාශන ධාරාව හරහා එළි දකිනවා මුලින්ම අත් වින්දෙ පුවත්පත්වල කොටස් වශයෙන් පළවූ නවකතා 'කෘති' ලෙස පළවීමෙන්. ඉන් පස්සෙ ෆේස්බුක් හී පළ වූ නවකතා 'කෘති' ලෙස පළවීමෙන්.
දැන් Wattpad වැනි නිදහස් නවකතා රචන ප්ලැට්ෆෝර්ම්වල රචිත නිර්මාණත් 'කෘතීන්' ලෙස මුද්‍රණයෙන් පළ වෙන්න පටන් අරන්.
ඕක ලෝකෙ ප්‍රකාශන කර්මාන්තයේ නොවන දෙයක් නෙමෙයි.
Wattpad වල ලියවිච්ච නවකතාවලින් හොලිවුඩ් චිත්‍රපටත් හැදිලා තියෙනවා. සැළකියයුතු මට්‍ටමේ හොඳ නවකතාත් එයින් බිහිවෙලා තියෙනව.
සුවිශාල පාඨක ආකර්ශනයක් සහිත මෙම රසිකාකර්ශන නවකතා (Fan Fiction) මුද්‍රිත ග්‍රන්ථ ලෙස පළවීමේ ප්‍රශ්නයක් තියෙනවද?
නෑ. ලෝකයේ ප්‍රකාශන කර්මාන්තය තුළ එහෙම වෙනවා. ලෝකයේ ප්‍රකාශන කර්මාන්තයේ සාහිත්‍ය ඒජන්තවරු එවැනි වේදිකාවල පළවන ඇතැම් හොඳ නවකතා පළ කරන්න ප්‍රකාශකයන්ට යෝජනා කරන අවස්ථා තියෙනවා.
හැබැයි මෙහෙමයි... Wattpad වැනි නිදහස් රචන වේදිකාවේ පළ කිරීමේ අනන්‍යතාවයයි, මුද්‍රිත ග්‍රන්ථ පළ කිරිමේ අනන්‍යතාවයයි අතර අසමානතා තියෙනවා. ඒ අසමනතා සංස්කරණය නම් ක්‍රියාවලිය තුළ සමාන කරගෙන තමයි ලෝකයේ වෙනත් රටවල ඒවා මුද්‍රිත ග්‍රන්ථ ලෙස පළ කරන්නෙ; Wattpad අනන්‍යතාවෙන් මුද්‍රිත පොත් ප්‍රකාශන අනන්‍යතාවයට රූපාන්තරණය වෙලයි එන්නෙ.
භාෂාව, රචන උපක්‍රම, තේමාත්මක ගැලපීම්... ඇතුළු නවකතා රචනයේ ඓතිහාසිකව ගොඩනැඟුණු සුවිශේෂතා බොහෝ දේ සමරූපීකරණය කරගෙන තමයි ඒවා පළ වෙන්නෙ.

මං හිතන්නෙ මෙහෙ (ලංකාවෙ) වෙලා නැත්තෙ ඕක.
ගත්තා, ගැහුවා.
ගැහුවා, වික්කා.
(ඇන්නා, පැන්නා වගේ )
ඒක නිසා වෙනස් අනන්‍යතාවකින්, වෙනස් රූපයකින් යුතු කෙනෙක් වුණත්, වෙන State එකකට එනකොට ඒකෙ අනන්‍යතා හා ඓතිහාසිකව ඒ State එක තුළ ගොඩ නැගුණු සුවිශේෂතාවලට ඇතුළු වෙමින් ඊට ඇතුල් වෙන්න. නිදහස වුණත් වල්බූරු විදියට පාවිච්චි කරන්න එපා. Social Accountability, සමාජ වගවීම, කියල දේකුත් තියෙන බව දැනගෙන වැඩ කරන්න.
ඉදිරියට මොකද වෙන්නෙ?
දැන් ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයට දරාගන්න බැරි තරම් ප්‍රකාශකයො හා ලේඛකයො ඉන්නවා.
ලෝකයේ ප්‍රකාශන කර්මාන්තයට අත්පිටපත් අතිරික්‍තයක් තිබුණට ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ කලින් තිබ්බ අත්පිටපත් අතිරික්තය ටිකෙන් ටික දැන් පහ වෙමින් යන්න නියමිතයි.
මොකද ප්‍රකාශන කර්මාන්තයේ අලුත් සල්ලිකාරයන්ට ආර්ථික ප්‍රාග්ධනය තිබ්බට සමාජ ප්‍රාග්ධනය නැති නිසා කෙක්කෙන් හරි කොක්කෙන් හරි ඒක ගන්න 'කොහෙන් හරි පත්තු වෙයි' කියලා හිටු කියලා නවකතා පළ කරනවා.
එතකොට Wattpad ඇතුළු නිදහස් රචන වේදිකා තුළ සංස්කරණයට භාජනය නොවූ නිර්මාණ තව තවත් අනාගතයේදී පළ වේවි.
හේතුව, අත්පිටපත් හිඟය.
ඇයි මේවා මෙහෙම වෙන්නෙ?
ලංකාවේ ප්‍රකාශන කර්මාන්තය බල හුවමාරුවක් ආසන්නයේ තියෙන්නෙ.
ලාංකිය ග්‍රන්ථ ප්‍රකාශන විජිතය තුළ කිරුළු දරන්න කිහිප දෙනෙක් මාරාන්තික තරඟයකට ඉදිරියේ එන්න නියමිතයි.
මුරලිදරන් විකට් 250 ක් ගන්නකොට ඕස්ට්‍රේලියාව නිවැරදිව ගණනය කරා ඔහු තව වසර කිහිපයකින් නතර වෙන්නෙ කොතැනද කියල. ඒගොල්ලො වහාම ක්‍රියාත්මක වුණා මුරලිට ෂොට් එක දීල නවත්වන්න. වාසනාවට අපිට අර්ජුන රණතුංග කෙනෙක් හිටියා.
ඒ නිසා විදර්ශන ආයතනයේ වෙළඳ කුටි සීමා කිරීම වර්ග අඩි සීයක ඉඩ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒක විසාල බල අරගලයක දිගුවක්. මට ආර්ථික හයියත්, සමාජ හයියත් තියෙන නිසා හැප්පුණාට මෙලෝ ජගතෙක් මේ ප්‍රකාශන කර්මාන්තය තුළ ඒගොල්ලො එක්ක ඔහොම හැප්පෙන්නෙ නෑ.
ඒක අමතර කතාවක්.

බුක්ෆෙයා එක සංවිධානයේත්, එම සංගමයේත් මං ජගතෙක් වෙලා ඉන්න කාලෙ නිතර කිව්ව දෙයක් තමයි 'බුක්ෆෙයා එකේ ස්පොන්සර්ෂිප් කියන්නෙ නිවැරදිව නියාමනය නොකළොත් භයානක ප්‍රතිඵල අත්පත් කරදෙන්න පුළුවන් දෙයක්' කියලා.
මොකද ලංකාවේ බුක්ෆෙයා සංකල්පය හා එය නවීකරණය කර ගොඩ නැංවීම පබ්ලිෂිං ඉන්ඩස්ට්‍රියෙ එලීට් එකේ වැඩක්. ස්පොන්සර්ෂිප් හරහා මුදල් වියදම් කරලා පහළ ස්ථරය භූමිය ආක්‍රමණය කළොත් බුක්ෆෙයා එකේ මුල් හැඩය නරක විදියට වෙනස් වෙන්න පුලුවන් කියලා මං කිව්වෙ 2010 දි.
දැන් සියල්ල වෙලා ඉවරයි.
මගේ නිගමනය යථාර්තයක් වෙමින් තියෙන්නෙ.
පොත් විතරක් නෙමෙයි ප්‍රකාශන කර්මාන්තයේ බොහෝ දේවල්වල Unedited versions ගොඩක් ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන්.
විකල්පයක් ගොඩ නැගීම හැර අන් මගක් නැත.

සටහන - ජනක ඉනිමංකඩ
(විදර්ශන ප්‍රකාශන ආයතන ප්‍රධානී)
(මෙම සටහන "Janaka Inimankada" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)















