-Asoka Handagama-
චිත්‍රපටියකට කැමැත්ත අකමැත්ත තීරණය වෙන්නේ තම තම නැණ පමණින්. සියලු දෙනාගේ කැමැත්තට හරියන්න චිත්‍රපටි කරන්න බෑ. සඳ දඩයම තෝරාගත් පිරිසකට පසුගිය දවසක පෙන්නුවා. ඒ පිරිස අතර චිත්‍රපටියට කැමති අකමැති අය හිටියා. (ඒ චිත්‍රපටයේ මංගල දර්ශනයවත් මාධ්‍ය දර්ශනයවත් නෙවෙයි.) සමහරු තමන්ගේ කැමැත්ත අකමැත්ත තම තමන්ගේ FB පිටුවල ලියලා තිබ්බා.
ඒ නිකම්ම කැමතියි අකමැතියි කියලා නෙවෙයි. ඒ ගැන විවරණයකුත් එක්ක. මේ චින්තා ඒ ගැන ලියලා තිබ්බ අදහස.
('සඳ දඩයම' චිත්‍රපටය ගැන චින්තන ධර්මදාසගේ සටහන මෙතැන් සිට)
"ඊයෙ හඳයාගෙ සඳ දඩයම බලන්න පුළුවන් වුනා. ඒ හඳයාගෙ දෙවෙනි ෆිල්ම් එක. ආපහු පරණ වැඩක් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් වීම කියන්නෙ ක්‍රියේටර් කෙනෙක් විදිහට අමුතු අත්දැකීමක්. ඒ සොමිය හඳයා උපරිමයෙන් අරං තිබුන.

මේක වේදිකාවත් සිනමාවත් අතරමැද තැනක්. චිත්‍රපටියෙ වචනවලින්ම කිව්වොත් සිනෙඩ්‍රාමා එකක්. ඒක ඒ කාලෙ වෙනස් රහක් දුන්නු අත්හදාබැලීමක්.
අපේ බොහොමයක් සිනමාකරුවො බිහිවුනෙ වේදිකාවෙන්. තමන් ඇතුලතින් මුහුන දෙන භාෂා සංක්‍රාන්තිය නිර්මාණයේ අඩංගුවක් කරන්න සමහරු ආකෘතිකමය උත්සාහයන් දැරුවා. හඳයා මේ ආකෘති හරඹය නිර්මාණයේ දේශපාලනයක් විදිහට පාවිච්චි කරනවා. අන්තර්ගතය තරම්ම ආකෘතියත් වැදගත් බවට පත්කරනවා.
මට ආස්වාදජනකම දේ වුනේ අපිට ඒ හරහා ආපහු අතීතෙට ගිහින් ඒ සිනමාවෙ ගැටවර හඳයාව දකින්න පුළුවන් වීම. අපි ලොකු වෙනකොට අපේ සිනමාව ලොකු වෙනවා. අර ඉනසන්ස් එක ටික ටික මැචුවරිටි එක ඇතුලෙ අහිමි වෙනවා.

හඳයාගෙ සිනමාවෙ දේශපාලනය කියන්නෙම ලිංගිකත්වය. හඳයා එයාගෙ චිත්‍රපටිවල ස්ත්‍රීත්වයේ එක් එක් අපූර්ව ස්වරූප මවනවා. ඒවා පිරිමි හිතක පහල වෙන නිදහස් ගැහැණියක් ගැන සොඳුරු සිහින.
"උඹට තියෙන ආදරේ හින්දම තමයි උඹට වේ#යෙක් වෙන්න ඉඩදුන්නෙ"
89 ජවිපෙ කැරැල්ලේ උත්තුංග පරමාදර්ශ අතර මගහැරුනු දුහුවිලි මිනිස් ජීවිත ගැන කතාවක් සඳ දඩයම. භීෂනය කියල මතු කරන "ඉතිහාසය" ඇතුලෙ යටපත් වෙන "අතීතය" ගැන කතාවක්. විප්ලවයේ පුරුෂාර්ථ අබියස ජීවිතයේ ස්ත්‍රීත්වය ගැන කතාවක්.
කොයිතරම් සමානාත්මතාව ගැන කතා කළත් කැරලිකරුවාට මරණ මොහොතේදි තමන්ට වඩා මරණයට සුදුසු අසමානයෙක් මුනගැහෙනවා. ලුම්පන් අනෙකාව පාවාදීමෙන් හෝ තමන් ගැලවීම විප්ලවය වෙනුවෙන් වඩා වැඩදායී කියල හිතනවා. තමන් පොදු අරගලයක් වෙනුවෙන් කැපවෙන නිසා අනෙකාට වඩා උසස් කියල හිතෙනවා.

සම්මතය ගැන, කසාදය ගැන අමුතු අමුතු සංවාද අමුතු අමුතු විදිහට දිගහැරෙනවා. මැරිච්ච මිනිස්සු ජීවත් වෙන උන් එක්ක සංවාද කරනවා. කැරැලිකරුවා සහ හමුදාව අතර දේශපාලනයට සෙක්ස්, ආදරය සහ උමතුව හරස් වෙනවා.
හඳයාගෙ පිරිමි නිරුවත්. නිරුවතින් ඉඳන් උන් දාර්ශනික කතා කියනවා. පිරිමින්ව නිරුවත් කිරීම හඳයාගේ ආශාවක් බව පේනවා.
හඳයා මේ දඩයමේ අතීත මොහොතට වර්තමානය මුහු කරනවා. එහෙම වැඩක් කරන්න තරම් දඩබ්බර වෙන්න පුළුවන් හඳයාටම විතරයි. එදා භීෂනයෙදි මිය නොගියා නම් ඉතුරු වෙන විරුවන්ව අපිට වර්තමානයේ මුනගැහෙනවා.
89 ඔවුන් දිවිපුදා සටන් කළ සිහිනය දැන් සැබෑ වෙලා තියෙනවා. ජවිපෙ ආන්ඩු බලය මෙහෙයවනවා.
‘ජයසිරි අයියා 2024දි මැරුනා. චන්ද ප්‍රතිපල බලන් ඉන්න අතරෙ හාර්ට් ඇටෑක් එකක් හැදිලා. ඒ සතුටට ද දුකට ද කියල අපි දන්නෙ නෑ’
චිත්‍රපටිය ඉවර වෙනවා. ආන්ඩුව තාම පටන් ගත්තා විතරයි."
සටහන - Chinthana Dharmadasa
(මෙම සටහන 'Asoka Handagama' ෆේස්බුක් පිටුව ඇසුරිනි)















