සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු, මානව හිතවාදියෙකු, ගායකයෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගයන් දැයට අහිමි වී අද (16) දිනට 38 වසරක් ගත වී ඇත.
විජය කුමාරතුංග අහිමි වී වසර 38 යි
විජය කුමාරතුංගයන් 1978 පෙබරවාරී 20 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ දිවියට එළැඹි අතර විජය දරුවන් දෙදෙනෙකුගේ පියෙකු විය.
ඔවුන් දෙපළගේ දියණිය යශෝධරා කුමාරණතුංග වන අතර පුතා විමුක්ති කුමාරණතුංගයි.
මතු දැක්වෙන්නේ විජය කුමාරතුංගයන් දේශපාලන හේතූන් මත සිර ගතව සිටි අවස්ථාවක සිය දියණිය යශෝධරා වෙනුවෙන් ලියූ ලිපියක උපුටා ගැනුමයි.
මෙම ලිපිය විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන 38 වසරක් පිරෙන අද දින චන්ද්‍රිකා බණ්ඩාරනායක නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
(උපුටා ගැනීම)
විජය ඝාතනය කර අදට වසර 38ක්-
"උඹ ඉපදුණු වෙලේ මම තීරණය කරලා තිබුණේ උඹට 'යශෝධරා' කියලා නම තියන්න. උඹට තියන්න නම් සිය ගණනක් හෙව්වත් මට තිබුණ එකම නම 'යශෝධරා' විතරයි.
මේ මිහිපිට ඉපදිලා රජ සැප විඳලා පසුව කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා අසරණ වුණු කෙනෙක් යශෝධරා. ඒත් ඒ සියල්ල මේ ලෝකේ අසරණ ජනතාව වෙනුවෙන් ඉවසා වදාරගෙන හිටියා."
"ඉවසීමේ, අවබෝධයේ, කරුණාවේ, ගුණ යහපත්කමේ කෙළවර තමයි 'යශෝධරා'. ආදරයේ, දයාවේ, අසරණ බවේ කෙළවරයි 'යශෝධරා'.
ඒ ගුණ ධර්මවලින් බිඳක්වත් තිබුණොත් උඹ හොඳ මනුස්සයෙක් වෙයි. මට ඒ ඇති.
මේ ලෝකේ ඉපදුණු කෙනෙකුට ආරක්ෂා කරගන්න ඕන එකම දේ මනුස්සකමයි. ඒ මනුස්සකම රැක ගත්තොත් අපිට මුළු ජීවිතය පුරාම සතුටු වෙන්න පුළුවන් වේවි."
- විජය සිරගතව සිටිය දී යශෝධරාට ලියූ ලිපියක්
(උපුටා ගැනීම අවසන්)
















