lan englan tam

ස්ත්‍රී පීඩන යථාවෙහි නව්‍ය දෘශ්‍යමානය “නිදි නැති නිම්නය”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Thilina Weerasinghe-

"කතා ගොන්නක් ලියාගෙන

පොතක් කරගන්න

බැරි හීනයක් ඔතාගෙන

පාරක දුර ඇවිදින සද...."

තරංගා රණසිංහ "නිදි නැති නිම්නය" ට අප ප්‍රවේශ කරනුයේ එසේය...

nidinathi nimnaya iතරංගා රණසිංහගේ 3 න් වන කෙටි කතා සංග්‍රහය - "නිදි නැති නිම්නය"

 

2008 දී "මෙමා හැර ගියෝ" නිර්මාණයෙන් අනතුරුව 14 වසරක් නිදි නැති නිම්නයක සැරිසරා තරංගා අපට සම්මුඛ වෙයි. පුරා දශක එකහමාරකට ආසන්න කාලයක් තරංගා නිර්මාණකරණයේ නොයෙලුණේ ඇයි..

"නිකිණි පාලුවේ" සිට "නිදිනැති නිම්නය" දක්වා ඇගේ තෙවැනි කෙටිකතා නිර්මාණ සැරිසරියේදී ඇතැමුන් විමසනු ඇත. නිහඬතාවය පිළිබඳ විමසන මේ පැනයට පිළිතුරක් හෝ පිළිතුරු කිහිපයක් තරංගා වෙත තිබිය හැකිය. මෙහිදී මම තරංගා ඇතුලු සියලුම සහෝදර ලේඛිකාවන් වෙනුවෙන් ඒ පිළිබඳ සිතා බලන්නට උත්සාහ කරමි.

"කටුස්සෙකුගේ මළගම", "වෙරෝනිකා මටත් දැන් පිස්සු" සිට තරංගාගේ පූර්ව නිර්මාණ පිළිබඳ කවරා වූ ප්‍රතිචාරයක් ඇයට හිමි වූවාද... ඇගේ නිර්මාණ සමාජගත කිරීමට කොතෙක් අවකාශයක් හිමි වූවාද... ඒ පිළිබඳ කියවා ගැනීමක් ප්‍රතිචාර දැක්වීමක් සිදුවුණාද.. ලාංකීය සාහිත්‍යකරණය තුළ ඇගේ ප්‍රකාශනය පිළිබිඹු වීමට තිබූ ඉඩ ප්‍රස්ථාවන් කවරේද...

ප්‍රකාශකයන්... සාහිත්‍ය විචාරකයන්... පාඨකයන්... මාධ්‍යවේදීන් තරංගාට කවර සහයෝගයක් දැක්වූවාද...

මෙම ගැටලු තරංගාට මෙන්ම අපේ සහෝදර ලේඛිකාවන්ට, කිවිඳියන්ට, සහෝදර ලේඛකයන්ට ඉතාම සංකීර්ණ අර්බුදකාරී පසුතලයක් නිර්මාණය කරයි.

කෘතියක් ප්‍රකාශනයේදී, සමාජගත කිරීමේදී, සංවාද සහ විචාරයන්හිදී, නිර්මාණ ක්ෂේත්‍රයෙහි පවතින ස්ත්‍රිය කේන්ද්‍රීය ප්‍රමාණවත් සංවාදයක් නොමැති වීමේ මෙම ගැටලුව තරංගා දිගු කලකට පසු නිහඬතාව බිඳිමින්, ඉතාම අවධාරණාත්මකව ස්පර්ශ කරයි.

නිහැඬියාව බිඳිමින් තරංගා රැගෙන එන නිර්මාණ මාලාවෙන් විද්‍යාමාන කරන්නේ ඇය අත්විඳි සමාජ අනුභූතීන්හි අග්‍ර ඵලයයි.

නිකිණිපාලුවෙහි සුනන්දා හරහා අතිශයින් කඨෝර පීඩාකාරී පසුබිමක කරුකුට්ටම් වී තිබුණු මහ වේදනාව සමග ජීවිතය ගැටගසා ගන්නට පොරබදින පීඩිත හුදකලා ගැහැණියගේ ජීවිතයට වටිනා අරුතක් දීමට තරංගා උත්සාහ කරයි. සැමියා අතැර ගිය ඉතා කුඩා දරුවන් දෙදෙනෙකු සමඟි ග්‍රාමීය කෘෂි ආර්ථිකයක හුදකලා වූ මවක, සිය හුදකලා වේදනාව සමඟ පොරබදයි.නිකිණි පාළුව තුළම හමුවන පියවතීද, පියවරුන් නොහඳුනන දරුවන්ට මවක් වූ ගැහැණියකි.

 

"අපිට බත් උයලා දෙන්නේ කවුද?"

"පද හදන්න විතරයි ගමේ උන් හිටියේ."

"අම්මා අප්පොච්චි මැරුණට පස්සෙන් පහු කවුද බැලුවේ.."

"පැදුර පාගපු එක බල්ලෙක් ආවේ නෑ ළමයි කළුද සුදු ද කියල බලන්න..."

තරංගා කෙටි වාක්‍යයකින් දිගු ආඛ්‍යානයක් පාඨකයාට සමීප කරවයි.එසේම හුදකලා ගැහැණියගේ පීඩනය සාම්ප්‍රදායික දෘෂ්ටි විනිශ්චයෙන් ඔබ්බට ගෙන යයි.

පිඟානට බත් ඇටයක් වැටුණොත් කාටවත් අත නොපා සිටිය හැකි බවය.

(නිකිණි පාළුව, පිටු 16)

ආර්ථික දුෂ්කරතා මෙන්ම සහයෝගීතාවක් නැතිව කෘෂි උපකරණ නොමැතිව සුනන්දා හුදකලාව උදැල්ලෙන් පස් පිඩු පෙරලයි. මඩ පෙරළගෙන පෙරළගෙන ඉදිරියටම යයි. මඩින් නැහැවුණු ගතින් වෙහෙස නොතකා වෙහෙසෙන සුනන්දා, කෘෂි ආර්ථිකය හුදකලා වූ ගැහැණියකගේ අධිෂ්ඨානශීලීත්වය, ධෛර්ය සම්පන්න බව මූර්තිමත් කරයි.

තමා අතහැරගිය සැමියා හදිසි අනතුරකින් මියගිය බව දැන ගන්නා සුනන්දා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිශ්චල වෙන නමුත්, ඇය හුදෙකලා හිමිදිරියේ වැව දියේ ගැඹුරු දියඹට කිමිදිලා ප්‍රේමය මුදා හරින්නීය. ගැහැණියගේ ආදරයෙහි මොළොක් බව කතුවරිය වැව් රළ අතරින් අප වෙත විදහා දක්වයි.

"රතු කොට්ටම්බා ගස්" ගැමි දැරියකගේ අතීත හා වර්තමානය අපූර්ව යා කිරීමකි කිරීමකි. අපේ විකෘත අධ්‍යාපන රටාව තුළ කුඩා දරුවන්ගේ ව්‍යාකූල මනෝභාවයන්ද ගුරු භූමිකාවෙහි පැහැයන්ද සියුම්ව ස්පර්ශ කිරීමට කතුවරිය සමත්ව ඇත.

"කොටුවක සිටින කුකුළන්ගේ පාද ගණන 208 කි. එහි සිටින කුකුළන් ගණන ගණනය කරන දැරිය කුකුළාට කකුල් දෙකයි. කකුල් 208 ක්.මම ඉරි කෑලි 208ක් ඇඳගෙන ඇඳගෙන ගියෙමි. එක පාරටම ඉරි කෑලි ගොඩ උඩට හෙවනැල්ලක් වැටුණේය.

ච...ටා...ස්..ගා රත්නායක සර්ගේ වේවැල මගේ පිට මැද්දට ආවේය...."

"මේ හරක්ට උගන්නලා වැඩක් නෑ. තවම දෙකේ චක්කරේ දන්නේ නෑ".යැයි මහ සද්දෙන් කිව්වේය. පන්තියේම ළමයි මා දිහා බැලුවෝය. මම ඔලුව පාත් කළෙමි." අපේ ඉගැන්නුම් ක්‍රියාවලියේදී කොතෙක් නම් දරුවන් හිංසනයට පීඩනයට ලක්වන්නේද යන්න තරංගා සංවාදයට ලක් කරයි.

"ගණන මම ශ්‍යාමලීගේ පොතෙන් බලාගෙන ඇත්තේ 2 වෙනුවට 'Y'දමාගෙනය."

"ලියූ ගණන් මගේ පොතේ තිබේ. මටත් ඒ අපබ්‍රංසය නොතේරේ. මගේ උත්තරය............"

"මගේ පොතට හරියක් වැටුණි.

මම හුස්මක් ගෙන හිනා වීගෙන ඇවිත් පුටුවේ වාඩි වුණෙමි. මගේ පොතට හරි දෙකක් වැටී තිබේ. උත්තරය වැරදි වුණත් උදේ පාන්දර සතුටින් සිටිය හැකිය."

දැරියගේ මනෝභාවය අපූරු ලෙසින් නිමවමින් ගුරු භූමිකාව හා ඉගැන්නුම් ක්‍රියාවලිය සියුම් උපහාසයකට ලක් කිරීමද වැරදි ගණනට හරියක් දැමීමෙන් තරංගා නිරූපණය කරයි.මෙහිදී තරංගා ආකෘතිමය අත්හදා බැලීමක්ද කතා නායිකාවගේ ජීවිත පූර්ව අපර සන්ධි ගැලපීමක්ද සිදුකරයි.

නාගරික පසුතලයක ගෘහස්ථ සියලු වගකීම් දරන්නට සිදුවූ ගැහැණියක කේන්ද්‍ර කරගත් 'ගෝල්ඩන් කී' අනුවේදනීය කතා පුවතක් දිග හරියි. "හැමදේම බිලක් විතරයි" ආර්ථික පීඩනයේ ගොදුරක්ව සිටින ගැහැණිය පිරිමියකුට හුදු ලිංගික සංතෘප්තය වෙනුවෙන් මිලක් නියම කළ හැකි සමාජ ආර්ථික නග්නත්වය හිස් අවකාශයක තරංගා තරු සලකුණින් සුවිශේෂිව දෘශ්‍යමාන කරයි.

තමා නොතකා හල ස්වාමිපුරුෂයෙකුට හා තමා මනසින් ආදරය කරන බාහිර ආදරවන්තයෙකු අතර මැදිවන ගැහැණියක එකී පුරුෂයන් දෙදෙනාම වෙතින් ළක්වන කායික මානසික වාචික පීඩනය පිළිබඳ "නිදි නැති නිම්නය" මනාව විවරණය කරයි. සම්මතය හෝ අසම්මතය තුළ අභියෝගයට හිංසනයට ලක්වන ගැහැණියකගේ පීඩනය මානුෂීයව විනිවිද දකින්නට "නිදි නැති නිම්නය" අවසන පාඨකයාට අවකාශ සැලසේ.

" මේකට කාලා ඇඳලා ඉන්න බැරිව වේස මඩම් අස්සේ රිංගන්න හොයනව."

"ප්‍රියා රූප රත්න දිහාවට හැරී කාන්තිලතාට අත දික් කළාය."

"තොට මොකාද වැහුනේ?" රූප රත්න ඇසුවේය.

"ඒක තමා මාත් අහන්නේ අහන්නේ " යයි රූපරත්නගේ අදහසම ප්‍රියාද අනුමත කළේය.

(නිදි නැති නිම්නය පිටුව 67 )

ගැහැණියගේ නිදහස සිරගත කරලීමට පුරුෂ මූලික සමාජයක, සම්මතය සහ අසම්මතය සීමා මායිම් නොමැතිව සංස්කෘතික සිතීම් තුළ සම්මිශ්‍රණය වන අයුරු මෙයින් මනාව නිරූපණය කිරීමට කතුවරිය සමත් වන්නීය.

අපූර්ව කවිත්ව බසකින් ගොඩනංවන චරිත සිද්ධීන් හා සංවාද හරහා ගැහැණියගේ පීඩනයට එරෙහි සමාජ කියවීමකට මං විවර කරන තරංගා රණසිංහගේ "නිදි නැති නිම්නය" පිළිබඳ සංවාදයක් ගොඩනැංවීමට අප දායක විය යුතු බව අවසන පවසමි.

 

499469699 1213864590411785 3913416684931900520 n 1

සටහන - තිලිනා වීරසිංහ

(ප්‍රවීණ ලේඛිකා, මාධ්‍යවේදිනී)

(2023 නොවැම්බරයේ ලියන ලද්දකි)

තරංගා රණසිංහගේ "නිදි නැති නිම්නය" පිළිබද අපගේ මේ කියවීම 2026 මාර්තු 08 දින සිළුමිණ පුවත්පතෙහි පළ කරනු ලබයි.

 

 

kemadasa

Back to top
Go to bottom