බැංක්සි (Banksy) යන නමින් පෙනී සිටින්නේ නිර්නාමික වීදි කලාකරුවෙකි. ලොව ජනප්‍රියම වීදි කලාකරුවා ලෙස ඔහුව හැඳින්වීමද වරදක් නොවේ.
ඔහු ගොඩනැගිලි බිත්ති, පාලම් සහ පොදු ස්ථාන තම කලා නිර්මාණ සඳහා භාවිත කරයි. යුද්ධයෙන් සිදුවන විනාශය මෙන්ම ධනවාදය, දේශපාලන බලය සහ දේශගුණික විපර්යාස වැනි සමාජ හා දේශපාලන කරුණු ඔහුගේ නිර්මාණවල ප්‍රධාන තේමා බවට පත්ව තිබේ. Girl with Balloon සහ Love is in the Air ඔහුගේ ලොව වඩාත් ජනප්‍රිය නිර්මාණ අතරට අයත් වේ.
ලන්ඩනයේ පිහිටි බැංක්සිගේ 'Girl with Balloon' බිතුසිතුවම
මේ දිනවල බැංක්සි පිළිබඳව නැවතත් උණුසුම් කතාබහක් මතුවී තිබේ. ඒ, පසුගිය අප්‍රේල් 29 වැනිදා රාත්‍රියේ ලන්ඩනයේ Waterloo Place හි රහසිගතව නව ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමත් සමඟය.
මෙම ප්‍රතිමාවෙන් පෙනෙන්නේ විශාල ජාතික කොඩියක් අතැතිව ඉදිරියට ගමන් කරන මිනිසෙකි. නමුත් එම කොඩිය ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබේ. එම නිසා ඔහුට ඉදිරිය දැකගත නොහැකි අතර, තමන් ගමන් කරන්නේ කොතැනටද යන්න නොදැන, ආරක්ෂිත වේදිකාවේ සීමාවෙන් ඔබ්බට පියවර තබන ආකාරයක් දක්නට ලැබේ.

බැංක්සි මෙම කෘතියේ නිශ්චිත අර්ථය පිළිබඳව නිල ප්‍රකාශයක් කර නැත. එහෙත් කලා විචාරකයන්ගේ ඇතැම් කියවීම් අනුව, මෙය “අන්ධ දේශප්‍රේමය” (blind patriotism) පිළිබඳ තියුණු දෘශ්‍ය ප්‍රකාශනයක් ලෙස අර්ථකථනය කළ හැකිය.
Waterloo Place යනු ලන්ඩනයේ බ්‍රිතාන්‍ය ඉතිහාසය, යුද ස්මාරක සහ ජාතික මතකය සමඟ ගැඹුරින් සම්බන්ධ වූ ස්ථානයකි. එවැනි ස්ථානයක, ජාතික කොඩියක් හේතුවෙන්ම තම මුහුණ සහ ඉදිරි දැක්ම අහිමි කරගත් මිනිසෙකු නිරූපණය කරන ප්‍රතිමාවක් තැබීම විශේෂ දේශපාලනික හා කලාත්මක අර්ථයක් ගෙන එයි.

ඉතිහාසය සිහිපත් කරන සාම්ප්‍රදායික ස්මාරක අතර, ඉතිහාසයම ප්‍රශ්න කරන ආකාරයේ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම තුළින් බැංක්සි අසන්නේ එක් ගැඹුරු ප්‍රශ්නයකි:
“ජාතික කොඩිය අපේ ඇස් වසා දැමූ විට, අපට තවදුරටත් ඉදිරිය දැකිය හැකිද?”
එසේ නම්, මෙය දේශප්‍රේමයට එරෙහි ප්‍රකාශයක්ද? නැතහොත් දේශප්‍රේමය සහ අන්ධ දේශප්‍රේමය
අතර වෙනස හඳුනාගැනීමට කරන ආරාධනයක්ද?
මෙම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට වඩාත් වැදගත් වන්නේ කලා කෘතිය තැබූ ස්ථානය සහ එහි සංකේත දෙස බැලීමයි.
මෙම ප්‍රතිමාව ස්ථිරවම Waterloo Place හි තබාගන්නවාද යන්න පිළිබඳව Westminster City Council තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. ඉතිහාසය සිහිපත් කරන ස්මාරක අතර, ඉතිහාසය සහ ජාතිකත්වය පිළිබඳවම ප්‍රශ්න කරන බැංක්සිගේ මෙම ප්‍රතිමාවට බලධාරීන් සහ මහජනතාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි කලා ලෝකය උනන්දුවෙන් බලා සිටී.
- ගයියා -
















