සටහන් ප්‍රේමකීර්තිගේ සදා නොමියෙන මතකවත Please Rate Vote 1 Vote 2 Vote 3 Vote 4 Vote 5 ගතානුගතිකත්වයෙන් මිදී තමාට ම ආවේණික ස්වාධීන මං පෙතක සැරිසරමින් නව අත්හදා බැලීම් උදෙසා ඇප කැප වී සිටි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙරට සම්මත විද්‍යුත් මාධ්‍ය සම්ප්රදාය උඩු යටිකුරු කළ අසහාය මාධ්‍යවේදියෙකි. රූපකාය අතින් කුඩා මිනිසකු වූ හෙතෙම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් යෝධ ප්‍රතිරූපයක් මවාලීය. මාධ්‍ය ජනතාවට සමීප කිරීමෙහිලා යුග කාරක කාර්ය භාරයක් ඉටුකළේය. ගුවන් විදුලිය වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් කළ සේවාව උදෙසා පෙරළා ඔහුට ලැබුණේ කෙනෙහිළිකම්, අවලාද, සේවා මාරුවීම් සහ වැඩතහනම් කිරීම් පමණි. වෙසෙසින්ම ඔහු තරම් දේශපාලන පළිගැනීම් වලට ලක්වූ වෙනත් සන්නිවේදකයකු නැති තරම්ය. ප්‍රාදේශීය සේවාවන්ට මාරුවීම් ලද මේ මානව හිතවාදී කලාකරුවා ජීවිතයේ අනේකවිධ දුක්ඛ දොaමනස්සයන් කෙරෙන්ම පන්නරය ලැබුවේය. සමාජයෙන් පළිගැනීමට තැත් නොකළේය. ශීත කාමරවලට වී වන්නි හත් පත්තුවේ ජන දුක පටිගත කිරීමේ ව්‍යාජත්වය පිළිකෙව් කළ ඔහු කමිසයකින් සරමකින් සැරසී ගිරි දුර්ග, වන දුර්ග පසුකරමින් ජනතා හදවත් තුළ නිදන්ගත විය. රුහුණු, රජරට, මහනුවර පළාත්වල සම්පත් උපයෝගී කරගෙනම ප්‍රදේශයේ අසන්නන්ට නව රසාස්වාදයක් ලබාදුන්නේය. ජනතාව සහ මාධ්‍ය අතර පුදුමාකාර සහසම්බන්ධතාවක් ගොඩනංවා ගත හැකි කථන කලාවක් හඳුන්වාදීමට පුරෝගාමී වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. අපේ රටේ එෆ්. එම්. ගුවන් විදුලි සේවාවල නිර්මාතෘ ලෙස ඔහු හඳුන්වාදීම යුක්ති යුක්තය. බටහිර රටවල බොහෝ අත්හදා බැලීම් වලට ලක්වූ මේ නව මාධ්‍ය භාවිතය ප්‍රේමකීර්ති සිය ගුවන් විදුලි වැඩසටහන් මගින් පරිපාකයට ගෙන ආවේය. ප්‍රබල අන්තර් සබඳතා ගොඩනංවන දුරකථනය මන බඳනා අර්ථවත් මෙහෙවරක් උදෙසා ඉවහල් කර ගන්නා අයුරු නවතාවකින් රටට පෙන්වීය. ප්‍රේමකීර්ති ගත් මඟෙහි ඉදිරියට ගිය සුළුතරයක් සේම ඔහුගේ මඟ වැරදි ලෙස වටහා ගෙන මාධ්‍ය කලාව කිසිදා නොදුටු අගාධයකට ඇද දැමූ බහුතරයක්ද අප අතර වෙති. රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතන කිහිපයක්ම අලුතින් ඇරැඹි ඇති මෙවන් යුගයක නිවේදක නිවේදිකාවන් පැටව් ගසා ඇත්තේ එම වෘත්තියේ ගරුත්වය කාබාසිනියා කරමිනි. මාධ්‍ය වගකීම වටහා ගත් සැබෑ නිවේදකයකු සතු විය යුතු ජීවිත පරිඥනය, භාෂා නෛපුණ්‍යතාව, බහුශ්‍රැතභාවය බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි බලධාරීන්ට විහිළුවකි. 1989 ජුලි 31 වන දා රාත්‍රි හෝමාගම කටුවාන පාරේ ප්‍රේම්ගේ නිවසට පැමිණි සාහසිකයෝ පරිසක් ඔහු නිවසින් පිටතට රැගෙන ගියහ. රබර්වත්ත අසල වැටේ ප්‍රේම්ගේ දැත දෙපා බැඳ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පිනවූ කටහඬ ගොළු කළහ. පපුවට වෙඩි තබා නතර නොවූ අධමයන් මුව පෙදෙසට ද වෙඩි උණ්ඩ නිකුත් කළේ කෝපාග්නිය පිට දමමිනි. විකල් මතක මැද පහන් තරුව ඔබ බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ වැළපුණු වෙරළක දිය බිංදුව ඔබ ගොළුවුණු දෙතොලක සිනහ සිලිල ඔබ ගීතය සමාජ යථාර්ථ නිරූපණය සඳහා කොතරම් ප්රශස්ත ලෙස ඉවහල් කර ගත හැකිද යන්නට ඔහුගේ ගීත බොහොමයක් දෙස් දෙයි. උපහාස ගීත කලාව ජනතාව අතරට ගෙන ගියේ විචාරකයන්ගේ රැවුම් ගෙරවුම් මැදිනි. අලුත් කලාවක් සොයා ගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බං පෙත්සම් කෙනෙක් දියුණුවේ ඉහළට යනවා බලා ඉඳින්නට බැරි නම් කර වටටම දාපියව් තොප්පියක් ලෝකේ චාරේ ඒකයි දැන් අද ලෝකේ චාරේ ඒකයි ප්‍රේමකීර්ති ද අල්විස් ස්පර්ශ නොකළ විෂය ක්ෂේත්රයක් නැති තරම්ය. ඔහු විසින් රචිත ගීත සංඛ්‍යාව 4000 කට අධිකය. චිත්‍රපට 150 ක් පමණ ප්‍රේම්ගේ පන්හිඳෙන් ලියෑවුණු ගී තුළින් විචිත්‍ර වත් විය. අඳුර බිඳින්න රැයක් දවාලූ, මුදු පරම පිවිතුරු, ආදරයේ උල්පත වූ අම්මා, බැරිබර හින්දයි දරුවන් දුන්නේ, කැකුළු මලක පෙති මත ඇති කඳුළු කැට සලා, සිහින සතක් දුටුවෙමි මම, කුරුල්ලන්ට ගී ගයන්න, මුතු වරුසාවට තෙමිලා, සුන්දරත්වයෙන් පිරි, දැවැදි දෙන්නට රන්මුසු පොදි නැති, මිනිසකු පිට නැගි අසරුවෙකි, රත්තරං මැණික් මුතු මොකටද ඒවා, රැලකින් තනි වී වන මැද සරණා, සිතින් මා නොසැලී සඳිද්දී, සරතැස නිවා දිවි කතරේ, රන් සමනලයෝ පුංචි කැකුළියෝ, මා එක්කලා අමනාපව වී දබර, සියල්ල ඉදිරී ගරා වැටුණු දා, බිඳුණු පෙමට නාඩන් මා නැඟණියනේ, බින්දුමතී, ඒ දණ්‍ඬෙන් පිය මනිනු එපා, තනි තරුවේ, දෙව්රම් වෙහෙරේ, නිවන් දුටු හිමි රුවන් පිළිරුව, කෙදිනද කූඩු සදන්නට එන්නේ, සමනලයා මල හා ළමයා සේ, එදා රෑ ගුවන් තොටුපළේ දී මා, ආදරණීය නේරංජනා, සඳට අහස ආදරේදොa, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ, පුංචි දුවෙක් ඉස්කෝලෙට, බෑයි කියල බෑයි කියල බෑ, ඕං රීං කට්ටු කට්ටු, අමුතු ඇඳුම් ඇඳ නටවන, ගිනි බෝල බෝල, ඇටසැකිල්ල වාගේ, පාන් කිරිත්තා, ලෝකය නමැති ගමේ, මන්නාරම් පිටිවැල්ලේ, හඳමාමා උඩින් ඇතේ වැනි අතොරක් නැති අපූරු ගීතාවලියක් සර්වකාලීන අගයකින් අප සිත් ප්‍රමුදිත කරවයි. ඔබෙ දෙතොල් පෙති ලිහි පිපුණු හසරැල් විලේ හද දියව ගලා යයි රැළි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ නාගසක් දළු දමා වසන්තය එළඹිලා මඳ පවන් රැළි වැදී සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දොතොල් ඔබෙ පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ අතීතයේ එක්තරා දිනක ප්‍රේම්ගේ දයාබර බිරිය වන නිර්මලා ප්‍රේම් පිළිබඳව ඇය සතු මතකය මෙනෙහි කරන ලද්දේ මේ ආකාරයටය. සිහිනෙන් ගෑ සුවඳක් වාගේ ඒ අතීතය සනාතනව හදවතෙහි රැඳී තිබෙනවා. පරමානන්දය මෙන්ම අනන්ත අප්‍රමාණ දුක්ඛ දොaමනස්සයන් ද කැටි වූ යටගියාව හෙට එච්චර කළුවර නැති බව පසක් කළා. සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රේමයේ මතු නොව උත්තරීතර මනුෂ්‍යත්වයේ ද උල්පත ඔහුයි. සැබැවින්ම ඔහු මගේ සිතුවිල්ලෙහි උල්පත, කුරගා ආ මරණය කාලයේ වැලි තලාවෙන් හිස ඔසවා ජීවිතයට නැවතීමේ ලකුණ තැබුවා. මන්දක හසුවී ඉන් මිදෙන්නට දඟලන මුවකුමෙන් මගේ සිත යමකින් මිදෙන්නට තතනයි. මුහුද ගැඹුරු තරමට නිසල වන්නා සේ ඔහුගේ ආදරය ද ගොළුවූවා. සිතුමිණින් සෑදූ ප්‍රසාදයක් බඳු ඒ හදවත මගෙන් උදුරා ගත්තේ කවුද? සිතුවිලි කම්බිලියක එතී පීඩා විඳි මගේ ආත්මය අවරගිරට ළං වූ හිරු මෙනි. පාසල් යන කාලයේ පටන් මගේ හිත ගත් ගීත රචකයන් තිදෙනෙක් සිටියා. මහගමසේකර, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුවනින් ප්‍රේම්ගේ හඬ සවනත වැකෙන කොට මසිත ඇඳී තිබුණේ අපූරු රූපකායක්, මට මතක විදියට ඒ 1983 බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ එම්. ඒ. උපාධිය සමත් වී බාහිර උපාධියට පෙනී සිටින අයට කොළඹ පන්ති පැවැත්වුණා. ගාල්ලේ ගිංතොට ඉඳල හැමදාම කොළඹ ඒම කරදර නිසා මම දෙල්කඳ ඉරිදා පොළ අසල බෝඩිමක ලැඟුම් ගත්තා. ප්‍රේමකීර්තිත් නැවතී සිටියේ ඒ නවාතැනේමයි. දැස්වලින් කථා කළා. ඒත් ඔහු කෙරෙහි සුවිශේෂ බැඳීමක් මා තුළ තිබුණෙ නෑ. දවසක් රෑ 12 ට විතර ප්‍රේම් ඇවිත් මට ලියුමක් දුන්නා. ඒ ලිපියේ අකුරක් නෑර අදටත් මතකයි. කෙටියෙන් සියල්ල පවසතොත් මම ඔයාට ආදරෙයි.... කියල ලියා තිබුණු ඒ ලිපියේ අවසානයට "ප. ලි" යනුවෙන් සඳහන් කර "... මෙය මා වැන්නකු අත් අකුරින් ලියන ලද බැවින් විහිළුවක් සේ නොසිතන්න" යෑයි කියා තිබුණා. ප්‍රේම් රිය අනතුරකට ලක්වෙලා දැඩි ලෙස තුවාල ලැබුවෙ ඔය අතරේ. අතයි කකුලයි බිඳිල තිබුණ නිසා ඔහු වම් අතින් කවි කියලා පුවත්පත්වලට යෑව්වා. දෙගුරුන්ගේ විරසකකම් මැද අනතුරු වාට්ටුවේදී ප්‍රේම්ට හිතින් බහ දුන්නා. "මම එක පාරක් විවාහ වුණු මිනිහෙක්. අපි දෙන්නට සුරංගි කියල දුවෙක් ඉන්නවා. එයා දැන් දයා ළඟ සුරංගීට දුක හිතුණා. සින්දුව දුවට ලියපු එකක් දයාත් මාත් වෙන් වුණාට අපි තරහා නෑ..." ඔහු නිර්ව්‍යාජව අතීතය මා ඉදිරියේ දිගහැරියා. මට මතක් වුණේ සේකරගේ කවියක්. "ඇර පෙන්වන ඔබගේ හද මට මගේ හද ඔබ හට මා පෙන්වන ලෙස හදවත් පැහැදිලි වූ විට මිනිසත් බවේ දුබලකමට සමාව දීමට පුළුවන 1986 ජනවාරි 10 වැනිදා ජීවිතයේ අමරණීය දවසක්... අපි එකතු වුණා. හතර අතින් අඳුර ඇවිත් බොහෝ දෙනා සිහින ලෝකවල, අපි සාමිචියට මුල පුරන්නේ එතකොට. ගේ පිළිකන්නේ ළිඳ ළඟ වරු ගණන් ඉක්ම යනතුරු රැය පහන් කළා. හදිසියේ... කොලේකුයි පෑනකුයි ගේන්න කියල හිත් තුළ රැඳි හැඟුම් පත්ඉරු මත ඔබනවා. ඒක ලස්සනම ලස්සන ගීතයක්. හැමදාම උදේට නැගිටලා ඇඳේ ඉඳගෙනම එක එක කුරුල්ලන්ගේ හඬවලින් ප්‍රේම් මට කතා කරනවා. කීචි බීචි.... කීචි බීචි කුචු කුචු, බච බච කුරුළු හඬ වෙල්යාය මැදින් අපේ කුරුලු කූඩුවට ඇතුළුවුණා. ප්‍රේම් මට "බංචෙ" වුණේ කුරුලු හඬ නිසා. එයා මට කතා කළේ බචා" කියලා. එදා ඉඳන් මැරෙන තුරාවටම අපි දෙන්නා බංචෙයි බචායි. පුතා ඉපදුණු දවසෙ තරම් ප්‍රේම්කීර්ති අසීමිත සතුටට පත්වුණු දවසක් මා දැක නැහැ. පූර්ණ සම්පත් ප්‍රේමකීර්ති ද අල්විස් කියල නම තැබුවා. ප්‍රේම් මගේ උකුලෙ සිටි පුංචි පුතුගේ මුහුණ බල බලා කවි පන්තියක් කිව්වා. කිරිකැටි පුතේ නුඹ මට ලොකුවට පෙනුණි ලොකුකම කොයිද නම් ඇය මට හමු නොවුණි එතකුදු නොවේ මගෙ තනිකම හිතට දැනී ඇය මා වැනිම මා වැන්නකු තවත් තැනී ප්‍රේම්ගේ හිතේ පොදි බැඳගෙන සිටි බලාපොරොත්තු අප්‍රමාණයි. ඔහු නිතරම කිව්වෙ අපි චිත්‍රපටයක් හදමු කියල. තිර නාටකයෙ කොටහක් ලිව්වා. නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය තමන්ම කරන්නයි සිතා සිටියේ. චිත්‍රපටයක් හදන්න මුදල් කෝ? නිවසත් වාහනයත් උගස් කරලා හොඳ චිත්‍රපටයක් හදමු. වික්ටර් සමඟ එකතු වී නව ආකාරයක ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න. ඔහු පෙරුම් පිරුවා. ඔහු මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළා. ඒ නිසාම අසීමිත ජනතා ගෞරවාදරයට පාත්‍ර වුණා. ඇත්තෙන්ම ප්‍රේම් ආදරය කළේ මිනිසුන්ට විතරක්ම ද? නෑ. සතා සිවුපාවට ගහ කොළටත් ඒ ආදරය පොදුය. කලක් ප්‍රේම් ලෙඩ වෙලා ඉන්දෙද්දී නිට්ටාවට සුව වුණේ මොනර කුඩුම්බිය පැළේකට පින් සිද්ධ වෙන්නයි. එදා ඉඳල කවදාවත් කොහේ තිබුණත් මොණර කුඩුම්බිය පැළයක් උදුරා දැම්මෙ නෑ. ප්‍රේම් ඝාතනයට ලක්වෙන කොට බැංකු පොතේ තිබුණේ රුපියල් 1717 යි. ශත 4 ක මුදලක්. ඔහු මියගිය මොහොතේ මම ගියා වික්ටර් රත්නායකගේ ගෙදරට. වික්ටර්ගේ බිරිඳ චිත්‍රාගේ කණකර බඩු උගස් තියල අවසන් කටයුතු කළේ. ප්‍රේමකීර්තිට මරුවැල් බැඳපු සමහර මිනිස්සු අවසන් මොහොතේ රූපවාහිනියට ඔළුව දාගෙන කිඹුල් කඳුළු හෙළුවා. අදටත් ඔහුගේ නම විකුණමින් මඩි තර කර ගන්නවා. යුගයක් එකළු කළ මිනිසෙක්වූ ප්‍රේමකීර්තිද අල්විස් මියගොස් මේ මස 31 වැනි දිනට වසර 28 ක් සම්පූර්ණ වූවද ඔහු විසින් ඉතිරිකොට ගිය මතකය මතු මතුද සදානුස්මරණීය එකක් වනු ඇත. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රය නැවුම් දිශානතියක් වෙත හැරවූ පුරෝගාමී චරිතයක් වන ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොඳුරු මිනිසා මියගොස් දශක තුනකට ආසන්නව ඇති මේ මොහොතේ පවා ඔහුට ඇලුම් කළ ලක්ෂ සංඛ්‍යාත සහෘදයන් "ප්‍රේම්"ව සිහිපත් කරන්නේ ඔහු සැබැවින්ම ප්‍රේමණීය මිනිසෙකු වූ හෙයින්ය.ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ Rating ( 0 Rating ) Category සටහන් Hits 5140 times 01 August 2017 Prev Next tweet