හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැත නොහොඳ නරක දිනුවේ...සිත ඊර්ෂමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරඟ දිනුවේ.....
ගීතය රචනා කර තිබුණේ හියුගෝ ප්‍රනාන්දුය. සංගීතය ආර්. මුත්තුසාමි මාස්ටර්ය. ඒ. බී. රාඡ්. අධ්‍යණය කළ එස්. එම්. නායගම් නිපදවූ "ප්‍රේම තරඟය"චිත්‍රපටිය වෙනුවෙනි. මෙම ගීතය මුලින්ම ගායනා කරන්නට නියමිතව සිටියේ ධර්මදාස නොවීමද අපූරු කතාවකි. එය ගයන්නට සිටි අරුණ ශාන්ත නම් චිත්‍රපට නළුවා හදිසියේ අසනීප තත්ත්වයට පත්වීම නිසා චිත්‍රපට කණ්ඩායමට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය.
මුත්තුසාමි මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ තබ්ලා වාදනය කරමින් සිටි එම් . ආරියදාස ගැටලුවට විසඳුමක් ලබා දුන්නේය. මාස්ටර් හොඳට සිංදු කියන්න පුළුවන් හාදයෙක් ඉන්නවා. රේඩියෝ සිලෝන් එකෙත් "ලයිව් සෝන්ස්" කියනවා.
කවුරු වුණත් කමක් නැහැ. ඉක්මණට එක්ක එන්න. එවර කථා කළේ චිත්‍රපටියේ නිෂ්පාදක නායගම්ය. ආරියදාස හනි හනික කඳානේ සිට බස්රියක නැඟී මරදානේ සංඝරාජ මාවතේ ධර්මදාස සොයා ගියේය. වාසනාවකට ඔහු ගෙදර සිටියේය. "ධර්මෙ ඉක්මණට ඇඳ ගන්න. පොඩි වැඩකට යන්න තියෙනවා." ආරියදාස කීවේය. මිතුරාගෙන් ආගිය කාරණා නොවිමසා ක¹නට ගියේය. එදා ධර්මදාස චිත්‍රපටයකට ගීයක් ගැයීය. එය යුග ගීතයකි. ඔහුගේ සහාය ගායිකාව වූයේ ලතා ජෙනට් ප්‍රනාන්දුය. ඒ අපූරු ගීතය විය. ලතා ධර්මදාසගේ කටහඬ රන් රස සේ පෑහිණ. 1953 ධර්මදාස වල්පොල චිත්‍රපට ගීත ගායනයට අවතීර්ණ වන විට වයස අවුරුදු 26 කි. වල්පොල පළමුවෙන්ම තැටියකට ගීතයක් ගැයීමට අවස්ථාව ලැබුණ තම නිවස අසල පදිංචිව සිටි විවියන්ද සිල්වා බොරලැස්ස සමඟය. එය නිදියහනෙ ඇයිද?....
1927 නොවැම්බර් 24 වැනිදා මහනුවර දෙයියන්නෙවෙල ගම්බද නිවසක වල්පොල කංකානමගේ ධර්මදාස නොහොත් ධර්මදාස වල්පොල උපත ලැබුවේය. ඔහුගේ පියා වල්පොල කංකානමලාගේ පෑලිස් අප්පුහාමිය. මව කරුණාවතීය. කන්ද උඩරට සිට කොළඹට පැමිණ මරදානේ දෙවැනි මාලිගාකන්ද පටුමගේ පුංචි නිවසක පදිංචි වූ මෙම ජ්‍යෙෂ්ඨ වල්පොල යුවල තම පුතා අධ්‍යාපනය ලැබීමට මාලිගාකන්ද රජයේ පාසලකට යෑවීය. කුඩා ධර්මදාසගේ සිත සංගීතය කෙරෙහි කොපමණ ඇදී ගියා ද යත්, කුසට අහරක් නැතත් සංගීතය ගැන තිබූ ආශාව නිසා පියාගෙන් දඬුවම් ලැබූ අවස්ථා එමටය. එදා දෙමවුපියන් තම පුතා කෙදිනක හෝ ලංකාවේ විශිෂ්ට ගායකයෙකු වේ යෑයි නොසිතන්නට ඇත.
කාලයක් තිස්සේ තම සිත් තුළ රැව්දුන් සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට සිංහල සිනමාව ගැන කථාකිරීමේදී ධර්මදාස වල්පොල භූමිකාව විශේෂිතයි. ඒ විශේෂිත බව මොහු ගොනු කර ඇත්තේ සංගීතය හා ගායනය වෙතිනි. ශ්‍රීලාංකීය සිනමාවක ශ්‍රීලාංකීය සංගීතය සටහන් කළ පුරෝගාමී සංගීතඥයෙකු ලෙස ඔහුගේ නාමය අමරණීයයි. ඔහු අදීන සිතුවිලි සහිත ප්‍රතිපත්ති ගරුකව දිවිගෙවූ අයෙකි. හින්දි ගී තනු අනුකරණය ඔහු ප්‍රිය කළේ නැත. අනුකාරක හින්දි තනු සිය ගණනකට ඔහු ගීත ගයා තිබුණත් ඒවායේ වගකීම චිත්‍රපට අධ්යක්ෂවරුන් හා සංගීතඥයන් භාරගත යුතු බව විචාරකයෝ පෙන්වා දෙති."සේපාලි"චිත්‍රපටියේදී ධර්මදාස අනුකරණ හින්දි තනුව තදින්ම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ උනන්දුව මත "මේ සෞම්‍ය රාත්‍රී ගෙවිළා යතී" යන ස්වතන්ත්‍ර මිහිරි තනුව සේපාලි චිත්‍රපටිය වෙනුවෙන් බිහිවී ඇත.
ග්‍රැමෙෆෝන් ගී තැටි අතරටද වල්පොලයන්ගේ ගීත ඉතා ප්රමුඛ තැනක් ගත්තේය. ප්‍රේමසිරි කේමදාසයන්ගේ "කැලෑමල්" ගීත නාටකයට, ධර්මසිරි ගමගේ රචනා කළ "සිරිකත එනමග" යන ගීතය එදවස මහත් ආන්දොලනයක් ඇති කළේය."සිවම්මා ධනපාල" නාටකයේ ඔහු ජාලියගේ චරිතය රඟපාමින් නැවතත් රංඟන භූමිකාවටද එක්විය.
මුදලට වහල් නොවී ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගතකළ ධර්මදාස වල්පොල සැබෑ බෞද්ධයෙකි. අජන්තා රණසිංහ ලියූ"උත්තම මුනි දළදා " ගීතය බොහෝ දෙනෙකුගේ බල කිරීම හා ඉල්ලීම මත එදා ගුවන් විදුලියේ ගායනා කිරීමෙන් තමාට ලැබුණු රු. 35 මුදලද රැගෙන මහ මඟට අවුත් යාචකයන් වෙත බෙදාදීමට තරම් මොහු පරිත්‍යාගශීලී විය. මොහුගේ සංගීතය හැදැරූ ජනප්‍රිය ගායක ගායිකාවන්ද රැසකි. ඉන්දීය ගායිකාවක් වන කේ. රාණී. ජමුනා රාණී, සත්‍යාවතී සමගින්ද, ලාංකික ගායිකාවන් වන චිත්‍රා සෝමපාල, ජී. ඇස්. බී. රාණි, ලතා වල්පොල සමඟද ඉන්දීය සංගීතඥයන් වන ටී. ආර්. පාපා, දක්ෂිණ මූර්ති, රාමමුර්තු සහ ලාංකික සංගීතඥයන් වන සෝමදාස, ඇල්විටිගල, ප්‍රේමසිරි කේමදාස, පී. ඇල්. ඒ. සෝමපාල, රොක්සාමි, ටී. එම්. ලතීෆ්, ආර්. මුත්තුසාමි සමඟද වල්පොලයන් ශ්‍රීලාංකික ගීත ලොලීන්ට ගීත රාශියක් දායාද කළේය. ධර්මදාස වල්පොල සිංහල සිනමාවේ සහ ගුවන් විදුලියේ දක්ෂ ගායකයෙකු පමණක් නොව දක්ෂ වාදකයෙක්ද වෙයි. ඔහුට භාණ්ඩ 14 ක් දක්ෂ ලෙස වාදනය කළ හැක. දශක ගණනාවක් අපේ සංගීත වේදීන්ට නැතුවම බැරි ගායකයෙක් බවට ඔහු පත්ව සිටියේය. ඉන්දීය ශබ්දාගාරවල ඉන්දීය සංගීතයත් සමඟ විශාල වාදක මණ්ඩලයක් සමග ගී ගයා හපන් කම් කළ එකම පසුබිම් ගායකයා ඔහුය. ආදායම් වාර්තා පිහිටවූ සිංහල චිත්‍රපට විශාල ගණනාවක ජනප්‍රිය ගීත රැසක්ම ගැයූ එකම ගායක ශිල්පියා ඔහුය. මෙවැනි විරල හඬක් අපට කිසිදාක අසන්නට නොලැබෙනු ඇත. මෙවැනි හඬක් ඇති ගායකයෙක් මෙලොව බිහිවන්නේ ද නැති බව අතිශයොක්තියෙන් කිව යුතුය. ඔබට මේ සිරිලක් දෙරණේ යළි ඉපදෙන්නට හේතු වාසනා වේවා ·
සටහන - ඒ. වී. කරුණාදාස