සැනට් දික්කුඹුර... ඇතැම් විට කෙනෙකුට මේ නම අමතක වන්නට පුළුවන. එහෙත් මේ රූපය නම් අමතක නොවනු නිසැකය. වේදිකා නාට්‍යවලදී මෙන්ම ටෙලිනාට්යවලදීද සිනමාවේදීද සැනට් දික්කුඹුර නොහොත් මේ රැවුල්කාර නළුවා ඔබ දැක ඇතුවාට සැක නැත.
නළුවන් රාශියක් අපට සිටී. බොහෝ නළු නිළියෝ පොහොසතුන්ය. සමහර නළු නිළියෝ එක්තරා කාලයකට පමණක් පෝසතුන්ය. ඉනිදු ඇතැම් නළු නිළියන්ගේ මහලු විය ඛේදජනකය. කිසිදු ආදායමක් නොමැතිව දුකසේ ජීවිතයේ අවසන් බාගය ගත කරන නළු නිළියෝ ඕනෑ තරම් සිටිති. ඇතැම් අය ප්‍රසිද්ධිය සහ චිත්‍රපට තිබුණු කාලයේ ජොලියේ ජීවත් වූවෝ වෙති. සමහරු බීමෙන් නාස්ති වී ගියහ. තවත් සමහරු මිතුරෝ නිසා නැතිවී ගියහ.
සැනට් දික්කුඹුර යනු නළුවෙකි. අවුරුදු විසි තිස් ගණනක සිට මා දන්නා මිත්රයෙකි. මමත් ඔහුත්අතර මිත්‍ර ධර්මය ඇති වූයේ ඔහු නළුවෙකු නිසා නොවේ. ඔහු අහිංසක මිනිසෙකු නිසාය. නළුවෙකු වුවද කිසිවක් නැති මිනිසෙකු නිසාය.
සැනට් දික්කුඹුරගේ පියා මාතර වැසියෙකු වුවද සැනට් උපන්නේ කළුබෝවිල ගුණාලංකාර පාරේ අංක 99 නිවසේය. පියා නොම්මර 99 සැලකුවේ අසුබ අංකයක් ලෙසය.
සැනට්ටද කුඩා කාලයේ සිටම නළුවෙකු වීමේ උණ තිබුණි. හේ තරුණවියේදී කැලණියේ කොකාකෝලා වෙළෙඳසලක ගණන් ලියන්නකු ලෙස රස්සාව කළේය. ඔහු පළමු වරට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාව ලබා ගත්තේ එතැනට ආවගිය ධර්මසේන පතිරාජගේ පිහිටෙනි. අහස්ගව්ව චිත්‍රපටයෙන් සැනට් දික්කුඹුර නළුවෙකු වෙයි. ඒ කුඩා චරිතයකිනි.
එතැන් සිට ඔහු දිගින් දිගටම රඟපෑවේය. ඒ හැම විටම ඔහුට ලැබුණේ සුළු චරිතය. කුඩා වුවද චරිතය හොඳින් කරන නළුවෙකු ලෙස සැනට් අධ්යක්ෂවරු අතර නමක් දිනා සිටියේය. ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා නාට්‍යයේ වේදිකා සැරසිලි සහ වේශ නිරූපණය කළේ සැනට් දික්කුඹුර විසිනි.
ඔහුගේ නළු ජීවිතයම ගෙවුණේ කුඩා චරිතවලිනි. ඒ නිසා ඔහුට ගෙවීම් කරනු ලැබුයේද කුඩාවටය. ඒ නිසා ඔහුගේ ජීවිතයේ සුඛ විහරණයද කුඩා විය.
ඉහ නිකට පැහෙන විටත් ඔහුට විවාහයක් වූයේ නැත. ඔහුට හිමි වූයේ සහකාරියකගෙන් තොර හුදෙකලා ජීවිතයකි.
පියා පිළිකෙව් කළ අංක 99 නිවස ඔහුගේ සහෝදර සහෝදරියන් ද ප්‍රතික්ෂේප කළහ. ඒ අනුව 99 නිවසේ අද තනිව ජීවත් වන්නේ සැනට් දික්කුඹුරය. නිවසේ පැත්තක් කඩා වැටී ඇත. කඩා නොවැටුණු කාමරයක සැනට් නිදා ගනී.
එක් දිනක නාට්‍ය රඟ දැක්මක් අවසානයේ බොරැල්ලේදී මට සැනට් දික්කුඹුර හමුවිය. ඔහු අතේ සිලි සිලි බෑගයක බත් පාර්සල් දෙකක් තිබුණි.
"ඇයි බත් පාර්සල් දෙකක්" මම ඇසීමි.
"එකක් මට, අනිත් එක බල්ලන්ට." ඉන් පසු ඔහු බල්ලන්ගේ කතාව කීවේය.
"මම ඉතින් තනිකඩ මිනිහානෙ. මං බල්ලො දහ දෙනෙක් හැදුවා. හම්බ කරපු දේවල්වලින් දහ දෙනාටම කන්න දුන්නා. දැන් ඉන්නෙ තුන් දෙනයි. මට ඉන්න හොඳම විශ්වාසවන්තයො තුන් දෙනා. උන් රෑට මං එනකල් බලා ඉන්නවා. උන්ට කෑම ගෙනියන්නෙ නැතුව මම ගෙදර යන්නෙ නෑ.
තිරිසනුන් සහ මිනිසුන් අතර බැඳීම මිනිසුන් සහ මිනිසුන් අතර බැඳීමට වඩා දැඩිය. එය තේරුම් ගත හැක්කේ සතුන් සමඟ ඇසුර කරන මිනිසුන්ට පමණි. සැනට් දික්කුඹුර ඒ හඳුනා ගැනීම බල්ලන් සමඟ ජීවත් වීමෙන් ලැබූවෙකි.
උන් රෑට මං එනකම් බලා ඉන්නවා. සැනට් කීවේ දයාභරිත හඬිනි.
පැන්ෂන් පඩියක් ඉල්ලා ගනු පිණිස සැනට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය.
"වයස කීයද."
නිලධාරියා ඇසීය.
"හැට දෙකයි"
"අපොයි, පැන්ෂන් ඉල්ලන කාලෙ පහුවෙලා. දැන් දෙන්න බෑ." විශ්‍රාමික කලාකරුවකු ලෙස සැනට්ට නිලධාරියා දුන් පිළිතුර එයයි. සැනට්ගේ අසරණ බව දුටු තලවතුගොඩ සඳුන් දොලමුල්ල නම් මහතෙක් සැනට්ට හැම මාසයකම රු. 4000 ක් දෙන්නට පොරොන්දු විය.
සැනට් දැන් ජීවත් වන්නේ ඒ මුදලෙනි.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ