මාලති රත්නම් කියා කිවහොත් එහි කිසිම ලකයක් නැත. මිනෝන් මාලති රත්නම් කිවහොත්, එතැනත් කුමක්හෝ අඩුවක් ඇත .
මිනෝන් රත්නමි කියා කිවහොත් නම් තරමක් දන්නා කෙනෙක් වගේ යැයි හැගේ. එහෙත් "කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ" කියා සදහන් කලහොත් නම් එදා පරපුරට බොහෝ දේ සිහිපත් වනු නොඅනුමානය. අද පරපුර වුවද
තරමක් දන්නා කෙනෙක් බව, ඇතැම් විට හැගෙනු ඇත.
ම්නෝන් රත්නම් යනු සුද්දියෙක් නොවේ. ඇයත් ලාංකේය පවුලකට දාවා ඉපදුනු ලාංකීකයෙකි. නිකම්ම ලාංකීකයෙක් නොව,
තම රටට බොහෝ කීර්ති පැසසුම් ගෙන ආ, අතීශයින්ම අගය කල යුතු නිහඩ චරිතයකි.
ඇගේ ශෛලය බටහිර උරුවයි. ලංකාවේ ඉපදුනු හැම ගායිකාවක්ම නන්දා මාලනි විය යුතු නැත. ලංකාව මිශ්රභාෂිත රටක් හෙයින්
මිනෝන් රත්නම්ලා වැනි අය සිටිය යුතුය. එලෙසම, ඇය වැන්නන් අගය කල යුතුය.
මිනෝන් රත්නම්, වයස අව්රුදු 7වන විට, ලංකා ගුවන්විදුලි සංස්ථාව (ඉංග්‍රිසි සේවය) සංවිධානය කෙරූ ආධුනික ගී තරගයෙන්
ප්‍රථම ස්ථානය දිනා ගනිමින් තම සංගීත ජීවිතය ආරම්භ කරන්නට විය. වෘත්තියෙන් නිතිඥ්ඥවරයෙකු වීමට සිහින මැව්වද,
එය යටපත් කරමින් ඇය සංගීත ක්ෂේත්රයට අවතීර්ණ විය. ඇය තෝරා ගත්තේ ඇයට වඩාත්ම හුරු ශෛලය වූ බටහිර ගායනයයි.
ටෝනි ප්‍රනාන්දුගේ "ජෙට් ලයනර්ස්"(Jet Lioners ) නම් සංගීත කන්ඩායමට ලාබාල වියේදීම එකතු වූ ඇය, එහි
නිත්‍ය ඉංග්‍රිසි ගායිකාව වූවාය. එකල අතීශය ජනප්‍රියවූ Bombay meri Hai- Oblady Oblada-
වැනි ගීත ගයමින් ඇය ජෙට්ලයනර්ස් සංගීත කන්ඩායම හරහා අතීශය ජනප්‍රිය වූවාය. ඔවුන් එකල කොළඹ තිබූ එකම,
සුපිරි හෝටලය වූ ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel) තම සංගීතය ඉදිරිපත් කරමින් සිටියෝය.
මිනෝන් රත්නම් ගායනයට අමතරව, ගී තනු සැදීමටත්, ගීත ලිවීමටත් දක්ෂ විය.
ඇය ලොව ජනප්‍රිය ගීත තරගයකට තම ගීතයක් වූ Love dont let me down" නැමති ඇයගේම ගීතයක්
ඉදිරිපත් කලාය. එම තරගයෙන් ඇය, "තානාපති සම්මානය" (Embassy Award) දිනා ලංකාව ලෝකයේ නම
රැන්දුවාය. ඉන්පසු ඇය, තවත් නිර්මානයක් කර ,ඇය විසින් ගායනා කර තවත් ලොව වඩාත්ම අවධානය යොමුවුනු ජාත්‍යන්තර
ගීත තරගයක් වූ ජපානයේ මුතුෂිඨා තරගයට ඉදිරිපත් කලාය. ගීතය වූයේ Some day my love some day"
නම් ගීතයයි. එය එම ජාත්‍යන්තර තරගයේ මුතුෂිඨා සම්මානය (Muthushita) දිනාගැනීමට සමත්විය. එහිදි ඇය
විශේෂිත ජූරි සම්මානය ,හොදම ගී තනු නිර්මානයට හා එම ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාවේ හොදම ප්‍රසංග ඉදිරිපත් කරන්නාට
හිමි සම්මානය (Best Composer and Performer at the Festival Song)
දිනා ගෙන ලංකාවට සංගිතය අතින් ප්‍රථම ජාත්‍යන්තර ජයග්‍රහනය ලබා දුන් පුරෝගමියා විය.එකල ලංකා ගුවන් විදුලි සංස්ථාවේ
ඉංග්‍රිසි සේවයේ මිනෝන් රත්නම් ගේ එම ජාත්‍යන්තර ජයග්‍රහනය වූ ගීතය "Some day my love some day"
නිතරම ප්‍රචාරය කලේය. එලෙසම එම ගීතය ලෝක තත්ව මට්ටමේද ඉහලින්ම තිබුනි. එම ගීතයත් සමගම මිනෝන් රත්නම්
ජාත්‍යන්තර ගායිකාවකගේ තත්වයට පත් විය.
ඔය වකවානුව තුල ඇය ජෙට්ලයනර්ස් සංගීත කන්ඩායමේ අයිතිකරුවූ ටෝනි ප්‍රනාන්දු සමග විවාහ විය. ඒවන විට ජෙට්ලයනර්ස්
කන්ඩායම ලංකාවේ අංක එකේ සංගීත කන්ඩායම වී තිබුනු අතර, එයට ජාත්‍යන්තර ඉල්ලීම්ද දැඩිවී තිබුනි.
මිනෝන් රත්නම් තම ජාත්‍යන්තර අත්දැකීම් එකතු කර ගෙන ලාංකේය ගීත ක්රේෂ්තය ට සදාකාලික ව මතක සිටින යමක් දෙන්නට
ඉටා ගත්තාය. ඇය එවකට අතීශයින්ම ජනප්‍රිය ගීත රචකයෙක් වූ කරුණාරත්න අබේසේකරව හමුවී තම අදහසත්, තම සිතේ
රෝපනය වී තිබුනු වස්තුබීජයත් පැවසුවාය. කරුනාරත්න අබේසේකර යනු පුංචි අදහසකට,මහා සාගරයක් මවා දෙන මහා
විශ්මකරුවෙකි.
ඔහු ලබා දුන් ඒ සංවේදි පදවැලට,මිනෝන් රත්නම් අතීශයින්ම සුමධුර තනුවක් යොදවා ගායනා කර ශ්‍රාවකයන්ට ඉදිරිපත් කලාය.
"කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවනේ,
නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විද අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිට වෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා."
මෙය එකල ලද ජනප්‍රියත්වය ගැන නම් ඇත්තටම මෙතෙක් යැයි ලඝු කර නොහැක.එලෙසම දැනුදු ලබන ජනප්‍රියත්වයද
ලඝු කල නොහැන. මතුවට ලැබෙන ජනප්‍රියත්වයද ලඝු කල නොහැක. එදා මෙය නොගැයුනු විවාහ මංගල්ලයක් නොතිබුනා
තරම්ය. අදද එසේය, මතුවටද එසේ වන්නේය. දැනට අවුරුදු 40 ගනනකට ඉහත බිහිවුනු මෙම මංගල ගීතය අභිබවන්නට
තවම කිසිදු මංගල ගීතයකට හැකියාවක් තිබුනේ නැත. සත්‍යම සත්‍ය කථාව එයය.
මිනෝන් රත්නම් එතැනින් නැවතුනේ නැත. ග්‍රීසියේ ඇතන්ස් හී 1972 වර්ෂය තුල පැවතූ ඔලිම්පික් ජාත්‍යන්තර ක්‍රිඩා
උලෙලට ලාංකාව නියෝජනය කල ගීතය වූයේ ඇය නිර්මානය කල "ඔබ නිසා" නම් ගීතයයි. එම ගීතයද ඉහලින්ම අගයට
පාත්රවී ඇය සමිමානනීය විය. ලැබී තිබූ දත්ත අනුව ඇය එම ගීතය සදහා රන් පදක්කමක් දිනා ගත් බව සදහන්වේ. ඇය එම
ගීතයට එහිදි ඉහලම අගය ලැබීමත්,සම්මානනීය වූ බවක් තහවුරු කරගත හැකිවූවද, රන් පදක්කමක් දිනාගත් බවක් මට එක
එල්ලේම තහවුරු කිරීමට නොහැක.
ඇයගේ "කොකනට් මෑන්" (Cocanut Man)යන ගීතයද, ටෝකියෝ හී ලෝක ජාත්‍යන්තර ගී තරගයේ අවසන්
වටයට පැමිනියේ තරග කෙරු රටවල් 64ක අතරින්ය.
ලාංකේය සිනමාවටද මිනෝන් රත්නම් ගේ සේවය ගායනයෙන් හා රගපෑමෙන් දායක විය. මුලින්ම ඇය ගාමිණී පොන්සේකා,
සන්ධ්‍යා කුමාරි රගපෑ ජනප්‍රිය චිත්‍රපටයක් වූ"සත පනහ" චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්න විය. එහි රාත්‍රි සමාජශාලාවක ගීයක්
ඇය ගැයුවාය. එය ඉංග්‍රිසි ගී තනුවකට අනුව තැනූ ගීතයක් විය.
"අද අපි ඉන්නේ විනෝදෙන්ම මත් වී
ඔව් මේ රෑ
කව්රුද ඉන්නේ හොරා වගේ මත්වී
එය හොද නැහැ"
එය අදටත් ජනප්‍රිය ගීතයක් විය.
ඉන් පසු ඇය ගාමිණී ෆොන්සේකා, මාලනි ෆොන්සේකා, රගපෑ " සැණකෙලිය" චිත්‍රපටයෙ රගපාමින් ගීතයක් ගැයුවාය. එය
ස්වතන්ත්‍ර ගීතයක් විය .පැට්රික් දෙනිපිටිය විසින් සංගීතය සැපයූ එම ගීතයද ජනප්‍රිය වූ සුමධුර ගීතයකි.එය හැදින්වූයේ
"රණ මොණරාගෙන් මොණරිය ඉල්ලන්නෙ" යනුවෙනි.
එයිනුත් පසු ප්‍රේමසිරි කේමදාසයන් විසින් ඇයව තම සංගීතයට යොදවා ගත්තේ එච් ආර් ජෝතිපාලගේ සහය ගායිකාව ලෙසටය.
එහිදී ඇය පසුබිම් හඩ ලබා දුන්නේ, බියුලා ඩයස් කරුණාරත්න වෙනුවෙනි. බියුලා ඩයස් සමග චිත්‍රපටයේ එම නැටුම් දර්ශනයට
රගපෑවේද එච්.ආර් ජෝතිපාලමය. චිත්‍රපටය කේ ඒ ඩබ්ලියු පෙරේරාගේ "ඉහත ආත්මය"ය. ගීතය වූයේ
"බා බා බා කොක් කොක් කොක් කුක්කු කුකුරු කූ"
කෙකර කෙකර කෙකර ගගා හොටින් කොටන කිකිලියේ
අතන මෙතන උකුසු ඇසින් බලන කොට හැඩයි"
ඉන්පසු ද මිනෝන් රත්නම් ඇගේ ශෛලයට අනුව ලස්සනම සිංහල ගීත කීපයක් ගායනා කලාය. ඒවා බොහොමයක් අදත් යු
ටියුබ් හරහා නැරඹීමට හැක.
"ජීවිතේ වසන්තයේ මල් පල හට ගන්නේ"
"පරසතු මල්"
"හෙට වෙන තුරු"
"සැනසුම් සුව ලබා"
"පාවඩ දාලා පා ඔසවාලා (සී ඩී ෆොන්සේකා සමග)
Proud to be Srilankan එන්නෙමි කියාලා වැනි ගීත මෙන්ම එකල ඇගේ කුඩාම දියනිය හා පුත්‍රයා
යොදවා ගැයූ
"දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලෙ
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ" සුවිශේෂිත ජනප්‍රියත්වයක් ලබා ගති.
ඇයගේ ශෛලය වෙනස් වූවද, ඇය ලංකාව ලෝකයට ගෙන ගිය ලාංකේය කාන්තාවකි. ඇය බර්ගර් සිංහල සම්මිශ්‍රණ විය
හැකියි. නොඑසේනමි දමිල සිංහල සම්මිශ්‍රණයක් විය හැකියි. මොන මිශ්‍රනයක් වුවද මිනෝන් රත්නම් යනු ලාංකේය සංගීත
ක්ෂේත්රය තුල තවත් සුවිශේෂිතම චරිතයකි. එලෙසම ඇය ගෞරවනීය ලාංකේය පුරවැසියෙකි. ඇය එකල ලංකේය සංගීත
ක්ෂේත්රයට කල දෑ අපමණය. අදටත් හෙටටත් මතුවටත් මිනොන් රත්නම් යනු එකම එක පුද්ගලයෙකි. අදටත් ඇය සංගීත
ක්ෂේත්රය තුල වැජඹෙනු ඇත. ඇයට ආදේශකයෙක් නැත. ඇයගේ ශෛලයෙන් ඇයව අභිබවන්නට කිසිවෙක් බිහිවන්නේද
නැත. ඇයගේ ඒ අමුතුම හඩ යලි යලිත් සවන සිසාරා යයි.
"ජිවිතේ-වසන්තයේ -මල් පල හට ගන්නේ
පිරිපුන් අරුමැසි සිතුවිලි
හදතුල ඉපදෙන්නේ
ආදරේ, සිතාරයේ සත්සර නැංවන්නේ
නිවහල් රසබර කල්පනා
සුවයකි සලසන්නේ"
ශෝන් මැක්ස්මස් දිසානායක