නිදහස් සටනේ පුරෝගාමියා වූ දේශමාන්‍ය ඩී. ඇස්. සේනානායක ශූරීන්ගේ ජීවිතකතාව ඇසුරින් සුනෙත් මාලිංග ලොකුහේවා නිර්මාණය කළ “නිදහසේ පියා ඩී.ඇස්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා, ඩී.එස්. සේනානායක සහ එෆ්.ආර්. සේනානායක පරපුරේ සාමාජිකයින් වෙනුවෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ඩී.ඇස්. සේනානායකයන්ගේ මුණුබුරු රුක්මන් සේනානායක මහතා මෙන්ම, ගරු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ එෆ්,ආර්. සේනානායක පවුලේ සාමාජික පිරිසක් සමඟින් , හිටපු අධිකරණ ඇමැති ගරු විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු සීමිත ආරාධිතයින් පිරිසක් සහභාගී විය.
චිත්‍රපටය නරඹා අවසානයේ පවුලේ සාමාජිකයන්ගේ පොදු අදහස වූයේ, මෙහි අන්තර්ගතය, නිමාව මෙන්ම ඩී.ඇස්. සේනානායක ශූරීන්ගේ චරිතය ගොඩනගා ඇති අන්දම ඉතාමත් විශිෂ්ඨ තත්වයක ඇති බවයි. එතුමන්ගේ චරිතාපදානය එළිදැක්වීමට මෙතරමි කාලයක් ගතවීම පිළිබඳ තමා කනගාටුවන බැව් පවසමින් ඩී.ඇස්. සේනානායකයන්ගේ මී මුණුබුරු, ගරු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා චිත්‍රපටය පිළිබඳව තම අදහස් පලකළේ මෙසේය.
“ඇත්ත වශයෙන්ම අපට සතුටු වෙන්න පුළුවන්. හොඳ චිත්‍රපටයක් ජාතික නායකයෙක්වූ ඔහු ගැන. විශේෂයෙන් ජාතියේ පියා ගැන. බොහෝ රටවල්වල මේ වගේ චිත්‍රපට නිෂ්පාදනය වෙලා තියෙනවා ඒ අයගේ ජාතික වීරයන් පිළිබඳව. ලංකාවේ එලෙස නිර්මාණය කරපු පළමුවන චිත්‍රපටය මෙය යැයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා මම විශේෂයෙන් සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. මේක දැන් කරන්න තිබුණ දෙයක් නොවේ. මෙයට අවූරුදු ගණනකට පෙර විය යුත්තක්ව තිබූ දෙයක්. මම රට වෙනුවෙනුත්, පෞද්ගලිකව පවුලේ කෙනෙක් විධියටත් විශේෂ ස්තූතියක් පුදකරනවා මේ අවස්ථාවේ.
නිදහස වෙනුවෙන්, නිදහස ගැන කතා කරනවා මිසක් ඒ වෙනුවෙන් කොපමණ කැපවීම් කලාද, ජීවිත පූජා කලාද කියා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම අපි කිව්වට, ලේ බිදුවක් නොහෙලා ගත්ත නිදහසක් කියලා. නිදහස ලැබීමට අවුරුදු කිහිපයකට පෙර එය සත්‍යයක් වූ නමුත්, ඊට පෙර හෙන්රි ප්‍රේදිරිස් වැනි වීරයන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කලා ජාතියේ නිදහස වෙනුවෙන්. ඒ වගේ නායකයනුත් ඩී.ඇස්. සේනානායක මහතා සමඟින් මෙම නිර්මාණය තුල සීහිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
සමහර අය හිතනවා මේ නිදහස නිකම්ම ලැබුන දෙයක් කියලා. ඩී.ඇස්. සේනානායක මහත්මයා සිරබත් කෑවා කියලවත් බෙහෝ අය දන්නේ නෑ. මම හිතන්නේ ඒවා මේ චරිතේ ප්‍රධාන ලක්ෂණ. එතුමාගේ සහෝදරයා එෆ්. ආර්. සේනානයක මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බැරිස්ටර් උපාධිය අරගෙන ලංකාවට ආවට, ඩී.ඇස්. සේනානායක මහත්මයා ඉගෙනුම අතින් ඉදිරියට ගියෙ නෑ. ඒ උනාට එතුමාට හොද ප්‍රායෝගික දැනුමක් තිබුණා. කෘෂිකර්මාන්තය හා මේ රටේ පෙලොව ගැන. ඒ වගේම මේ රටේ ජනතාව පිළිබඳව එතුමාට ලොකු හැඟීමක් තිබුණා. ඒවා තමයි මේ නිර්මාණයේදී එතුමගේ චරිතෙන් ඉස්මතු වෙන්නේ. අනෙක මොන දේ වුනත් එතුමාගේ පසුබසින්නේ නැති අධිෂ්ටනශීලි ගතිය. ඒවා එතුමාගේ චරිතය තුල තිබුන විශේෂ ලක්ෂණ. ඒ වගේම එතුමා ප්රාජාතන්ත්රවාදියි. ඒ බව බොහොම පැහැදිලිව මෙයින් පිළිබිඹු වෙනවා. මෙම නිර්මාණකරුවන් එතුමා ගැන ලොකු සමීක්ෂණයක් කරලා ඇති බව මට හැඟුනේ, එතුමාගේ ඇත්ත චරිතයට බොහෝමත් සමාන වූ ගති පැවතුම් පවා ඉදිරිපත් කර තිබීමෙන් මෙය ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙසයි මා දකින්නේ.
ඒ වගේම ඩී.ඇස්. සේනානායක කියන චරිතයට ඉතාමත් හොඳ සාධාරණයක් වෙලා තියෙන බවත් කිව යුතුයි. එතුමාගේ අභාවයෙන් පසුව ගෙවීගිය කාලයේදී එක එක දුර්මත හා විවිධ අදහස් ප්‍රකාශ වී තිබුනා, අපි නිදහස ලබාගත් ආකාරය පිළිබඳව. එතුමාගේ පවුල් පසුබිම පිළිබඳවත්, විවිධ කතා පැතිර තිබුණා. ඒ අතර ඇත්ත නොවෙන කතාත් බොහොමයි. මෙම චිත්‍රපටයෙන් එතුමාගේ සැබෑම ජීවිත කතාව පෙන්නුම් කරන නිසා, දුර්මත දුරුවී එතුමා පරිත්‍යාග කරපු දේවල්, එතුමාගේ ජීවිතය ගොඩනැගුණු හැටි, එතුමාගේ පවූල් ජීවිතය වැනි සියල්ල ගැනම සත්‍ය නිරූපණය කර තිබීම පිළිබඳව මා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටයට මුලින් යොදා තිබූ “දොන් ස්ටීවන්” කියන නම වෙනස් කිරීම පිළිබඳව මා දකින්නේ මෙලෙසයි. එකක් තමයි මම හිතන්නේ “නිදහසේ පියා” කියන නමින් චිත්‍රපටය ඉදිරිපත් වෙනවා නම් ඒක වඩා හොඳයි කියා. ඇත්තටම මේ රටේ තරුණ පුරපුරටයි. ශිෂ්‍ය ප්‍රජාවටයි තමන්ගේ දේශයේ, ජාතික පියා ගැන ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් එයින් උදාවෙන නිසා. දොන් ස්ටීවන් කියන නමේ ගැබ්වෙලා තියෙන්නේ කලාත්මක බවක්. මෙම නිර්මාණය ඉදිරිපත් කරන අයට උවමනා මෙය අධ්‍යාපනික වශයෙන් ඉදිරියට ගෙනයන්නද, එහෙමත් නැතිනම් කලාත්මක පැත්තෙන් ඉදිරියට ගෙන යන්නද කියන කාරණය නිර්මාණකරුවන්ගේ තීරණයක් විය යුතුයි. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස ඩී.ඇස්. සේනානායක ශූරීන් පිළිබඳව වඩාත් හොඳ නිර්මාණයක් බිහිවීම පිළිබඳව මා අතිශය සතුටට පත්වෙනවා.”
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු