මානව සම්බන්ධතා කෙමෙන් ලිහිල් වී හුදකලා පුද්ගල චරිත නිර්මාණය වීම මේ වකවානුවේ දැකිය හැකි පොදු ලක්ෂණයක්. විශේෂයෙන් පුද්ගලයින් තමන් විසින් තමන් ප්‍රබන්ධ ගත කිරීම එහිදී විශේෂයි. අනෙක් අතින් ගෝලිය ප්රාග්ධනය විසින් සියලු මානවීය සම්බන්ධතා සඳහා මිලක් නියම කරනු ලැබ තිබෙනවා. එම නිසා ඒවායේ පැවැත්ම තීරණය වන්නේ වෙළඳපොල මිල අනුව. එසේ වුවද, ඇතැම් තැනෙක තවමත් නොනැසී පවතින මානවීය සම්බන්දතාවන් ගේ හෘදය සංවේදී බව ඉතා සියුම්ව විග්රහ කරන චිත්‍රපටයක් ප්‍රකට ඉරාන චිත්‍රපට අධ්යක්ෂ මජීඩ් මජිඩි විසින් අධ්‍යක්ෂණය කර 2017 වසරේ දී නිර්මාණය කලා. ඒ Beyond the Clouds චිත්‍රපටය. ලොව විශිෂ්ඨ ගණයේ අධ්‍යක්ෂවරයෙකු වන මජිඩි ශ්‍රී ලාංකීය සිනමා රසිකයින් අතර වඩාත් කතාබහට ලක්වූයේ Children of Heaven, Colour of Paradise, The Song of Sparrows වැනි චිත්‍රපට හරහායි. ඔහුගේ නවතම චිත්‍රපටය වන්නේ Beyond the Clouds චිත්‍රපටය. මේ චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ ඉන්දියාව පදනම් කරගෙන හින්දි භාෂීය චිත්‍රපටයක් ලෙසින්.
මෙම චිත්‍රපටය ආරම්භ වන්නේ ආමීර් (Ishaan Khatter) නම් මුම්බායි නගරේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නියුතු , පාලමක් යට ජීවත් වන දුප්පත් පවුලක තරුණයෙකු ගේ දර්ශන පෙලකින්. ඔහු සිය මිතුරා සමග මෝටර් සයිකලයක නැගී සිය බෙදාහැරීම් කටයුතු සිදුකරනවා. ආමීර්ගේ සොහොයුරිය වන තාරා (Malavika Mohann) සිය සැමියාගේ වද හිංසනයන් ඉවසනු නොහැකිව විවාහය අතැර ලොන්ඩරියක රැකියාව කරනවා. මෙ ලොන්ඩරියේ වැඩ කරන වැඩිහිටි පිරිමියෙකු වන අක්ෂි (Goutam Ghose) තාරා කෙරෙහි ඉව අල්ලමින් සිටිනවා. මේ අතර දිනක් ආමීර් ඇතුලු මත්ද්‍රව්‍ය බෙදන්නන් සොයා එන පොලීසියට හසුවන්නට යන විට ඉන් බේරී පලා ගොස් තාරා වැඩකරන ලොන්ඩරියේ සැඟවෙනවා. ඔහු සඟවා තබන්න අක්ෂි උදව් කරනවා. ඉන් අනතුරුව එය උගසට තබා අක්ෂි තාරාව පොළඹවාගන්න උත්සාහ කරනවා. එහිදී ඇතිවන ගැටුමේ දී තාරා අක්ෂිගේ හිසට ගඩොලකින් පහර දෙනවා. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලු කරන අතර තාරා පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙනවා.
චිත්‍රපටයේ ගැටුම ඇරඹෙන්නේ මෙතැනින්. අක්ෂි මිය ගියහොත් තාරා ට මරණීය දණ්ඩනය හිමි වෙනවා. එතැන් සිට ආමීර් උත්සාහ ගන්නේ සිය සොහොයුරිය බේරා ගැනීමට. අක්ෂි සමග වෛරයකින් පෙලුනද ආමීර්ට ඔහු මියයන්නට නොදී ජීවත් කරවීමට සිදු වෙනවා. මේ අතර අක්ෂි ගේ දරුවන් දෙදෙනා හා මිත්තණිය (අක්ෂි ගේ අම්මා) අක්ෂි ගේ සුවදුක් සෙවීමට රෝහල වෙත එනවා. නවතින්නට තැනක් නැතිව මුම්බායි හි නවතින්නට සිදුවන දරුවන් දෙදෙනාට හා මිත්තණියට ආමීර් නවාතැන් දී අවශ්‍ය පහසුකම් සපයනවා. අනතුරුව මේ කුඩා දරුවන් දෙදෙනා හා ආමීර් අතර ගොඩ නැගෙන්නේ දැඩි සංවේදී මානව සම්බන්ධතාවක්. අක්ෂිගේ වැඩිමහල් දියණිය ගණිකා නිවසකට විකිනීමට ආමීර් සූදානම් වුවත් පසුව ඔහු එය අතැර දමනවා. ආමීර් ගේ සොහොයුරියට සිර ගෙදරදී සිරබත්කන තවත් තරුණියකගේ දරුවෙකු වන චෝටු (Shivam Pujar) මුණ ගැසෙනවා. තාරා හා චෝටු අතර ගොඩ නැගෙන්නේ මවක හා දරුවෙකු අතර ඇතිවන සංවේදී මානව සම්බන්ධතාවෙක්. මෙම සම්බන්ධතාවන් හරහා ආමීර් හා තාරා සිය ගැටලුවට පිළිතුරු සොයනවා.
මජීඩ් ගේ මෙම චිත්‍රපටයේ දී ඔහු මිනිසුන් අතරින් ගිලිහී යන මානව සම්බන්ධතා තීරණාත්මක අවස්ථාවක යලි මතුවන හැටිත් ඒවා යේ ඇති අතිශය සුන්දර බවත් ගැන ඉතා අපූරුවට කතාකරනවා. විශේෂයෙන් මෙහි දී ඔහු ගේ රූප සත්කාරය ඉතා ඉහළයි. Lagan, Veer - Zaara වැනි චිත්‍රපට වල කැමරා ශිල්පියා වූ Anil Mehta ගේ කැමරාකරණය මෙහි ඉහළ අගයක් ගන්නවා. කළබලකාරී මුම්බායි වීදි වල වේගයෙන් දිවයන ආමීර් ගේ දර්ශන පෙල ඔහුගේ කැමරාකරණයේ සුවිශේෂ බව හඟවන්නක්. මෙම චිත්‍රපටයේ වඩාත් සිත් ඇද බැඳ තබන්නේ ආමීර් ගේ චරිතයට පණ පොවන Ishaan Khatter සහ තාරා ගේ චරිතයට පණ පොවන Malavika Mohann ගේ චරිත නිරූපනය. විශේෂයෙන් ඉෂාන් ඛටේර් අනාගතයේ දිදුලන විභවයන් සහිත ප්‍රතිභාපූර්ණ නලුවෙකු බව ඔහුගේ මේ අපූරු රංගනයම සාක්ෂි දරනවා. මාලවිකා මොහාන් ගේ නිරූපණයන් ද එබඳුයි.
සුපුරුදු පරිදි ඒ. ආර්. රහුමාන්ගේ සංගීතය චිත්‍රපටයේ අවස්ථා සිද්ධි හා භාව ප්රකාශනයන් සමග මුසුවන්නේ අභ්‍යන්තරයෙන් දුවන කේශනාලිකාවන් වගේ.
මජීඩ් මජිඩි නම් වූ සම්මානනීය සිනමාකරුවා යෞවනයන් හා දරුවන් සිනමාකරන විෂයෙහි හැසිරවීම පිළිබඳ ඔහු තුල ඇති විශේෂ ප්රාගුණන්යය මෙහිදී ද සනාථ කරනවා. මුළු චිත්‍රපටය පුරාම අප එය හා බැඳ තබා ගන්නට එයද සුවිශේෂී බලපෑමක් කරනවා. කෙසේ වෙතත් මජීඩ් මජිඩි මිනිස් ජීවිතයේ සියුම් කලාපයන් සිය සිනමා භාවිතාවෙන් ස්පර්ශ කරන ආකාරය අපූරුයි. මේ සිනමා පටය තුලින් ද ඔහු ස්පර්ශ කරන්නේ ගිලිහී යන මානව සම්බන්ධතාවන් මිනිස් ජීවිතයේ මෙනතරම් සුන්දර ඒවා විය හැකි ද යන්නයි.
# කපිල එම්. ගමගේ