අවසානයේ විය යුත්තේ අප සියල්ලන්ම විසින් 'මනුෂ්‍යත්වය' රැකගැනීමයි
"මම මේ වෙද්දි සංකේතාත්මක ආගමක් අදහන්නෙ නැහැ. ඒකට ගොඩක් පිරිසක් මා සමඟ එකඟ නැහැ කියලා මම දන්නවා. ඒත් මේ මගේ අදහස පුලුවන් තරම් සරළවම. ආගමක් අදහන්නෙ නැතුව ඉන්න ලේසි නැහැ. මොකද ඒකට අපිව අපි ඇතුලෙන්ම සහ අපිව අපේ පිටතිනුත් සංස්කෘතිකව වගේම ආධ්‍යාත්මිකවත් බය කරලා තියෙන නිසා. මම ඉපදුනෙ බෞද්ධ පවුලක, ඉස්කෝලෙ ගියෙ බෞද්ධ පාසලකට, දහම් පාසල් ගියෙ ගෙවල් ලඟ පිරිවෙනට, සිල් අරං තියෙනවා, බණ අහලා තියෙනවා, බෞද්ධ ගීත අසා ගයා තියෙනවා... ඒත් වයසින් වැඩෙද්දි... සමාජයට අධ්‍යාපනයට, සාහිත්‍යයට, කලාවට විවෘත වෙද්දි... ඇත්තටම ආගම ගැන පංසලෙන් ඉස්කෝලෙන් කියලා දෙන දේට එහා ගිය කතිකාවකට විවෘත වෙද්දි මට තේරුණා මනුස්සයෙක් විදිහට මනුෂ්‍යත්වය විතරයි ආගම විය යුත්තෙ කියලා. ඇදහිලි, විශ්වාස මේ හැමදෙයක්ම තියෙන්න ඕනෙ මනුෂ්‍යත්වය වෙනුවෙන් විතරයි කියලා. ආගම කියන සංකේතීය, සංස්කෘතික ඇදහිල්ල තවදුරටත් අවශ්‍ය නැහැ කියලා. මොකද එහි පුද්ගලයෙකුගේ ස්වාධීනත්වයට විරුද්ධව යන දේශපාලනයක් තියෙනවා. ආගම නිසා දරුවන්ගේ, කාන්තාවගේ වගේම විව්ධ සමාජ කොටස්වල අධ්‍යාපනික, දේශපාලනික, ආර්ථික, සංස්කෘතිකමය, ලිංගික... මූලික අයිතිවාසිකම් සීමාකරනවා.
කෙසේ වෙතත් මේ මොහොතේ, මේ අපි මුහුණ දෙමින් සිටින ත්‍රස්තවාදය ආගමිකත්වය වගේම නිරාගමිකත්වය අස්සෙනුත් රිංගන්න පුලුවන් ත්රස්තවාදයක්. මොකද එහි මනුෂ්‍යත්වයක් කියා දෙයක් නැති නිසා. ත්‍රස්තවාදය ගොඩනැගෙන්නෙ අධිපති මතවාදයක් නිසා පීඩනය වන සමජ කොටස් වල. රාජ්‍ය මූලික ඒ අධිපති මතවාදයට එරෙහි වන්නන් රාජ්‍යය විසින් ත්රස්තවාදීන් ලෙස හඳුන්වනවා. එහෙත් අප මේ මුහුණ දෙමින් ඉන්න ත්‍රස්තවාදය මේ සියල්ලන්ගෙන්ම බැහැර කෙරුනු දෙයක්. මූලිකවම අධිපති මතවාදයට (ඇමරිකානු/යුරෝපීය) එරෙහි වෙසින්, එහෙත් ඒ අධිපති මතවාදයේම නිර්මාණයක් ලෙස මෙය විග්‍රහා වූවත් මෙම සංවිධාන වල සාමාජිකයන්ගේ අභිමතාර්ථයන් හැඩගස්වා ඇත්තේ ප්‍රායෝගික අයිතිවාසිකම් වෙනුවෙන්වත්, සමාජ සාධාරණත්වයක් වෙනුවෙන්වත් නොවේ. එය අපට ලඟාවන්නටවත්, සිතාගන්නටවත් නොහැකි ආගමික භක්තියක්, විශ්වාසයක් මත ගොඩ නැගුණු දෙයක්. ඒ වෙනුවෙන් ඔවුන් මේ ලෝකයම ලේ විලක් කිරීමට සූදානම්. එහි ඇති භයානකකම දකිනවිට සංකේතාත්මක හා ශාස්තෘ මූලික එක් ආගමකින් බැහැරව සිතීමට මා ගත් තීරණය, එක් ආගමක් වෙනුවෙන් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් පමණක් මිනිසෙක් ලෙස අභිමානවත් වීමට මා ගත් තීරණය පිළිබඳව මා තුල ඇත්තේ අවංක සැනසීමකි.
ආගම යනු මනුෂ්‍ය වර්ගයාට ඉතාම සංවේදී කාරණාවක්. අතීත ශාස්තෘන්ගේ එම සංකල්ප අප වෙත රැගෙන එන්නන්ව අප දිවිහිමි භක්තියකින් විශ්වාස කරන්නේ එහෙයිනි. ඕනෑම ආගමක මූලික හරයන් වැරදි අනුවර්තනයන්, පාවාදීම්, පාවිච්චි කිරීම්, වැරදි දේශනයන්, බාහිර අරමුණු නිසා සිදුකරන විකෘති කිරීම්... වැනි කාරණා නිසා අන්ධ, මුග්ධ අන්තවාදයන් වෙත ආගමක් හා එහි භක්තිකයන් රැගෙන යා හැක. එහෙයින් බෙදා වෙන් කරමින් තර්ක විතර්ක කරගනිමින් ඉහළම ආගම, සරළම ආගම, ලෝකෙම ආගම, ආගමක් නොවේ දර්ශනයක්, විශ්වයටම එක දෙවියෙක්... කියමින් යළි යළිත් සංකේත වන්දනාවේම යමින් සිදුකරන ආගමක් මට රැක ගැනීමටවත්, පිළිපැදීමටවත් අවශ්‍ය නැත.
මට රැකගැනීමට හා පිළිපැදීමට අවශ්‍ය වන්නේ සියලුම ශාස්තෘවරුන්ගේ අභිමතාර්ථයන්ගේ අවසාන හරය වූ මේ වනවිට ලෝකයෙන් ගිලිහෙමින් පවතින මනුෂ්‍යත්වය නැමති ආගමයි. ඒ වෙනුවෙන් පෙනීසිටිමට, අනෙකාට ඇහුම්කන් දීමට, මාවම ප්‍රශ්න කරගැනීමට, වැරදි වැරදී හෝ ඒ මග ඔස්සේ ගමන් කිරීමට මම මේ පරිණාමයෙන් මට ලැබී ඇති ජීවිතය පුරා උත්සාහා කරමි... අවසානයේ සිදුවිය යුත්තේ දෙවියන් ප්‍රශ්න කිරීමවත්, බුදුන් රැක ගැනීමවත්, බුදුන් ප්‍රශ්න කිරීමවත්, දෙවියන් රැක ගැනීමවත් නොවේ. අවසානයේ විය යුත්තේ අප සියල්ලන්ම විසින් 'මනුෂ්‍යත්වය' රැකගැනීමයි...!"
- සමනලී ෆොන්සේකා-