The Sexual Life of Catherine Millet
ලේඛිකාවන් ලිංගිකත්වය නිරාවරණය කර ලිවීම ඉතිහාසය තුළ පිරිමියාට සාපේක්ෂව එතරම් සුලබ දෙයක් නොවේ. කැතරින් මිලට් (Catherine Millet ) තරම් තමන්ගේ පුද්ගලික ලිංගික අත්දැකීම් නොවලහා එළිදරව් කර පොතක් ලියූ ලේඛිකාවක් සමහරවිට තවත් නැතුව ඇති, විශේෂයෙන් තාමත් ජීවත්වන ලේඛිකාවක් ලෙසින්. ඒ් 2002 වර්ෂයේ මුලින්ම ප්‍රංශ බසින් ලියා පසුව ඉංග්‍රීසියට පරිවර්තනව වූ The Sexual Life of Catherine Millet නම් පොතයි. ඇය එම පොත තුල නව යොවුන් තරුණියක(ටීනේජර්) ලෙස ස්වයං වින්දනයේ යෙදුන ආකාරයේ ඉඳන් විවිධාකාර පිරිමින් සහ ගැහැණුන් සමග ආශ්වාදය කළ ලිංගික අත්දැකීම් ඉතා නිර්භීතව නොවළහා මුදවා හරියි. හැකි හැමවිටම මෙන් නම් ගම් ස්ථාන පවා සඳහන් කරමින් විවිධ පිරිමි කණ්ඩායම් සමග පවා රමණ සාද (Orgy) වල ඇය විනෝද වූ ආකාරය, දැණුන හැඟීම්, ලිංගිකත්වය නිදහසේ ආශ්වාදය කරපු හැටි ඉතා විචිත්රව විස්තර කරගෙනවා. එය කියවන කෙනෙකුට කාම සූත්‍රය මතක්වීම වැලැක්විය නොහැකි නමුත් වාත්ස්‍යයන තරම් එය සෞන්දර්ය විද්‍යාවක් බවට පත් කර නොගත්තද ඇය එය ලියාගෙන යන්නේ කෙලින්ම ඇත් දැකීමක් කියාගෙන යන අකාරයටයි. මුලුමනින්ම මෙන් කෙනෙකුට ලැබිය හැකි සෑම ආකාරයකින්ම මෙන් ලිංගික ආශ්වාදය ලැබූ හැටි ලියන ඇය එය කෑම බීම්. සංචාරය කලාශ්වාදය ලෙසට ආශ්වාදය කළ හැකි බවත් බොහෝ දෙනා අපහසුවටත් සමහරු පසු තැවීමටත් පත්වන්නේ ආශ්වාදයේ ප්‍රශ්ණයක් නිසා නොව සමාජය ඊට දක්වන ප්‍රතිචාරය නිසා බව කැතරීන්ගේ අදහසයි. තමන් පසු තැවීමට පත්වන එකම අවස්ථාව ලිංගික බලහත්කාරකමකට( Rape) ලක් නොවීම බවත් එසේ වූවානම් එයින් පසුව ද නැගිටින හැටි තමන්ට පෙන්වන්නට තිබුණ බවත් ඇය කියනවා.
කැතරීන් මිලට් යනු කවුද? ඇය තමයි Art Press නම් සුප්‍රකට සඟරාවේ නිර්මාතෘවරිය හා ප්‍රධාන සංස්කාරවරිය. ඇය කලා විචාරිකාවක්, කලා සංරක්ෂිකාවක් මෙන්ම මේ වන විට කලා ව හා විචාරය සම්බන්ධ පොත් ද ඇතුලු පොත් අටක් පමණ ලියා ඇති ලේඛිකාවක්. මීට අමතරය චිත්‍ර ශිල්පි සැල්වඩොර් ඩාලිගේ ලිංගික ජීවතය ගැන විශේෂ පොතක්ද ( Dali and Me) ලියන ඇය නැවතත් ඇගේම ජීවිතය ගැන සත්‍ය විස්තර ඇතුලත් පොතක් Jealousy: The Other Life of Catherine Millet නමින් රචනය කරනවා.
මේ වනවිට 70 වියැති කැතරීන් ඇගේ ස්වාමි පුරුෂයා වූ ප්‍රකට ලේඛක ජැකාස් හෙන්රික් සමඟ (Jacques Henric ) එක්ව ලේඛන කටයුතු වල යෙදී සිටින අතර ඔවුන් දෙදෙනා විසින් ලියු තවත් ආන්දෝලනාත්මක ප්‍රංශ ලේඛකයකු වූ මිෂෙල් වෙල්බෙක් Michel Houllebecq ගැන පොතක්ද මෑතක දී පල කරනවා. වෙල්බෙක් පිලිබඳව මම මිට පෙර පොත් මාසයක් වෙනුවෙන් සටහනක් ලීවා සමහර විට ඔබට මතක ඇති.
මේ වන විට ආදායම් වාර්තා තබා ඇති මේ පොත ප්‍රසිද්ධ සිවිල් ජීවිතයක් ගත කරන කාන්තාවක් විසින් තම ලිංගික ඇත්දැකීම් මෙතරම් විවෘතව ලියා ඇති ලොව පළමු පොත ලෙස ග්රන්ථ ලෝකයේ දැනට ඇති සාමාන්‍ය විශ්වාසයයි.
ඔබට කෙතරම් දුරට ඔබව විනිශ්චය කරන්නාව නොසලකා හැරිය හැකි ද එතරම්ම දුරට ඔබ ලෝකය ඉදිරියේ යථාර්ථවාදී වනු ඇත!
ධනංජය කරුණාරත්න