ඔබ මේ කතාව දැනටමත් මේ සමාජ ජාලයෙන් අහල බලල ඇති. ඒත් අපි ඒක නැවත ලියන්නෙ යම් මිනිහෙකුගේ සුලු ක්රියාවකින් එක් දුක්විදින ජීවිතයක් කොතරම් අපූරු ලෙස ඉන් මුදවාගත හැකිද යන්නත් එය සුරංගනා කතාවක් මෙන් දෙසවනට මිහිර ද හදවතට අපිරිමිත දයාව ද ගෙන දෙන කතාන්දරයක් වෙන හැටි කියන්නත්......
ඇයට අවුරුදු 59 ක් වෙනකොටත් ඇය තමන්ගෙ පණ ගැටගහගත්තෙ යමෙක් දෙන කාසියකින් එහෙමත් නැතිනම් කවුරුහරි කාල ඉතිරි වෙච්ච බත් මුලකින්. සමහර දවස් තිබුණ ඇය සිගමන් යැද්ද බටහිර බෙංගාලයේ රණගාත් දුමිරියපොලේදී බඩ පුරා කා නින්දට වැටුණු දවස්. තවත් සමහර දවස් තිබුණ නිරාහාරව දූවිලි ගොඩක සැතපෙන්නට සිද්දවුණු. එයා හැමදාම සිගමන් යදිද්දි කරපු දෙයක් තමයි ඇය ගොඩාක් ආදරය කරපු ගීත සිගමන් යදිමින් ගයපු එක. ඒ ගීතවල තිබුනෙ මේ ගැහැණියගෙ ජීවිතයට කිසිම සම්බන්ධයක් නැති සුරංගනා කතාවල එන දේවල් . මියයන තුරු ආදරයෙන් වෙලිල පැටලිලා ඉන්න පෙම්වත්තු ගැන. මීදුම් ගලාගෙන යද්දි සර සර හඩ නංවමින් ඇද වැටෙන දිය ඇලි ගැන. එහෙමත් නැත්නම් උදෑසන අවදිවෙලා ප්රීතියෙන් ගී ගයන කුරුල්ලො ගැන. වයස 22 දිම තමන්ගෙ මනුස්සය දාල ගිය ඇයට මේ ගීතවලින් කියන්නෙ යමෙකුගෙ ඇත්තම ඇත්ත ජීවිතය ගැනද ඇත්තම ඇත්ත ලෝකය ගැනද කියල හිතන්න නම් කිසිම අදහසක් තිබුණෙ නෑ. ඒත් ඇය ඒව ගැයුවා. ඒ කතා වලට ආදරය කළා. ඒ ගීත හාත්පසින්ම ඇගේ ජීවිතය එක්ක සසදද්දි වෙනස් කතාන්දර වුනත් එකම එක කිළිටි කඩමාලු සාරිය දවටන් ගී ගයන මේ ගැහැණියගෙ ජීවිතය 2019 අගෝස්තු මාසෙ එක් දවසක වෙනස් කළා.
ඒ දවසෙ දුම්රියක් බලාපොරොත්තුව රණගාත් දුමිරිය පොලේ බලන් හිටපු 26 හැවිරිදි අතීන්ද්ර චක්රවර්ති කියන ඉංජිනේරුවට ඇහුන දුම්රිය පොලේ පසුබිමින් මොහොමඩ් රාෆිගෙ ගීතයක්. ඒත් එක්කම ඔහුට ඇහුණ ඒ ගීතයම ඊට සමාන්තරව උස් හඩින් ගයන ගැහැණියකගේ කඩහඩ. ඒක හරි මිහිරි කටහඩක්. ඒත් ඒක ගයමින් සිටියේ දුමිරිය වේදිකාවේ සිගමන් ඉල්ලමින් සිටි මැදිවියත් ඉක්මවා ගිය ගැහැණියක්. ඔහු සිය ගමන යන එක මොහොතකට පැත්තකින් තියල සෙමින් සෙමින් කිට්ටු වුණා. ඒ ගැහැණිය වෙතට නැමුන ඔහු,
‘‘ඔබ හරි ලස්සනට ඒ ගීතය ගායානා කළා ! මොකක්ද ඔබේ නම ?‘‘
‘‘ රණූ මොන්ඩල් ‘‘
‘‘ රණූ මොන්ඩල් ඔබට බැරි ද ලතා මංගේෂ්කාර්ගේ එකක් ගයන්න ? ‘‘
ඇය දැන් ගයනවා ලතා මංගෙෂ්කාර් 1972 දි ෂෝර් චිත්රපටියට ගැයූ ගීය ‘‘ඒක් ප්යාර් කා නග්මා හේ..... තේරී මේරි කහානී හේ ..... ඔබට එය ලබාගන්න පුළුවන්. එය කළ හැකියි.”
විශ්මයෙනුත් ඒ හඬේ මිහිරෙනුත් වශී වුණ අතීන්ද්ර ඒක සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරල ඇයට සුබ පතල ගෙදර යනව. සමහර විට ඔහු ඇයට යම් මුදලක් දෙන්නත් ඇති. ඊට දවස් දෙකකට පස්සෙ ඔහු සිය ෆේස් බුක් සමාජ ජාලා ගිණුම ඔස්සේ එය මුදාහරිනව අන්තර්ජාලයට. විශ්වාස කරන්න ඒ ගීයෙන් මත්වුණු රසිකයො ඒක බෙදාගන්නව ලක්ෂවාරයක්. ඇයව සහ ඇගේ ගීය අහපු ඉන්දියාවේ 'Barpeta Town The place of peace'' නමින් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ඇයව සොයාගොස් ඔවුන්ගෙ නවාතැනේදී ඇගේ හැඩපලු ගැසුණු කෙහෙරැලි මනාලෙස පීරා කපා ඒවා සුවද පැනින් නහවා ඇගේ දිරාගිය ඇඳුම් ගලවා ඉවත දමා පට පිලී වලින් ඇය සරසවා රණූට වඩා හොඳ පෙනුමක් ලබා දී තිබුණා. මෙහෙම මේ ගී පටිය අතින් අත බෙදාගන්නකොට ඒක ඇහෙනව ඉන්දියාවේ ජනප්රිය ගායකයෙක් වෙච්ච හිමේෂ් රෂ්මියාගෙ දෙසවනට. එහි මිහිරෙන් ඇලලුණු ඔහු යනව මේ සිගන්නියව හොයාගෙන රණගාත් දුම්රිය පොළට. ‘‘ එන්න රණූ අපි ඔයාගෙ ජීවිතයත්, මේ ඉන්දියානු සංගීත ලෝකයත් වෙනස් කරමු ‘‘ ඔහු එහෙම ඇයට කියන්න ඇති. ඊට පස්සෙ හිමේෂ් ඇයව එක්කන් එනව තමන්ගෙ අති නවීන ශබ්දාගාරයට. නැවත ඒ ගීයම සංගීතයත් සමග මුසුකරල පළකරනව ඔහුගේ ඉන්ස්ටග්රෑම් සමාජජාලා පිටුවේ. එය හාරලක්ෂයක් මිනිසුන්ගෙ අතිනත යනව. ඉතින් ඔහු ඇය ගැන සෑහිමකට පත්වෙනව. ඊට පස්සෙ ඔහු ඇයව කසී සලුවලින් පොරවල ඇගේ දෑතට වළලුදාල ඇය හැඩකරල මෙය සිහිනයක් යැයි සිතමින් සිටින රණු මොන්ඩල් වෙත ඔහු ඉදිරිපත් කරනව සිය යෝජනාව.
“රණූ ! මම කැමතියි ඉදිරියට එන මගේ චිත්රපටියකට ඔබ සමග යුග ගීයක් ගයන්න”. ඒ වගේම ඔහු ඒ චිත්රපටිය වෙනුවෙන් රණූ මොන්ඩල් සමග යුග ගීයක් ඉදිරිපත් කළා. අන්න එහෙමයි රණු මොන්ඩල් නැමති 59 හැවිරිදි සිගන්නිය ඉන්දියාවේ ප්රකෝටිපතියන් අතර තරගයක් වුණු සංගීත ලෝක තුලට පිවිසෙන්නෙ. හිමේෂ් රෂ්මියා රනූ මොන්ඩල් හූරන් කන්නැතිව ඇයට ගෙවන්නෙ ඇත්තෙ අද ඉන්දීය වෙළදපොලේ ජනප්රිය ගායිකාවකටම ගෙවන මිලම වෙන්නත් ඇති. කොහෙම වුනත් හිමේෂ් රෂ්මියා බටහිර බෙංගාලයේ දුම්රිය පොලක අකාලයේ මිය යාමට තිබූ මිහිරිම මිහිරි කඩහඩකට අමතක නොවන ජීවයක් රිද්මයක් ගෙනවිත් දුන්න. ඔහු ඇගේ ඉරණම වෙනස් කළා අතීන්ද්ර චක්රවර්ති කියන 26 හැවිරිදි ඉංජිනේරුවත් එක්ක. ඔව් අපි කියනව ‘‘ඔබට එය නැවත ලබා ගන්න පුලුවන්. ඔබට එය කල හැකියි” ඒක් ප්රයර් කා නග්මා හේ ... තේරී මේරි කහානී හේ !
සටහන: උපාලි ජයසිංහ