මිනිස් අර්ධ වල විලාපය හෙවත් ජෝකර්
ජෝකර් චිත්‍රපටය ආරම්භ වන්නේ කුලී කවටයෙකු වන ආතර් ෆ්ලෙක් (වාකීන් ෆීනික්ස්) ගොතම් නගරයේ වීදියක දැන්වීම් පුවරුවක් අත දරා නර්තනයේ යෙදෙමින් සිටින දර්ශනයකිනි. එහිදී ආතර් වෙතට කඩාපනින තරුණ කණ්ඩායමක් ඔහු අතැති දැන්වීම් පුවරුව උදුරා ගෙන ගොස් එයින්ම පහර දී ඔහුව බිම දමා දිගින් දිගටම පහර දෙයි. තරුණයන් ආතර්ට පහර දෙන්නේ හේතු සහගතව නොව හුදු විනෝදය උදෙසා ය. චිත්‍රපටයේ තවත් දර්ශනයක ධනවත් බැංකුකරුවන් තිදෙනෙකු දුම්රියක් තුළ දී ආතර්ට පහර දෙන්නේ ද තම ආශ්වාදය වෙනුවෙන් ය. මෙසේ අනෙකාගේ විනෝදය උදෙසා පහර කන ආතර් වැනි පුද්ගලයන්ව මහා සමාජය බාර ගන්නේ මිනිසුන් ලෙස නොව මිනිස් අවශේෂ නොහොත් මිනිස් අර්ධ ලෙස ය. මිනිසෙකුට හිමි විය යුතු හිමිකම්, අවශ්‍යතා ඔවුන් කෙරෙහි බලපාන්නේ නැත. ලාංකික සමාජයේ උදාහරණ හරහා විස්තර කළ හොත් රත්නපුරේ බට්ටී නොහොත් කාන්තිලතා, කොටදෙණියාවේ කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත, දෙහිවල මුහුදු තීරයේ දී මරා දැමුනු ශිවකුමාර් නැමැති මානසික රෝගී තරුණයා අයත් වන්නේ මෙම සමාජ කොටසට ය. ඔවුන්ගේ වේදනාව මහා සමාජය කම්පනය කිරීමට සමත් වන්නේ නැත. ඔවුන්ගේ ජීවිත සමග සාමාන්‍ය ජනතාවට අනන්‍ය විය නොහැක. ජෝකර් චිත්‍රපටය වඩාත් ප්‍රබල සිනමා කෘතියක් බවට පත් වන්නේ මහා සමාජය විසින් මිනිස් අර්ධ ලෙස සලකා, තලා පෙළා ඉවතට විසි කරනු ලැබූ ආතර්ගේ ජීවිතය සමග ඒකාත්මික වීම සදහා ප්‍රේක්ෂකයාට මග පාදන සෞන්දර්යාත්මක මාවතක් විවර කිරීම නිසා ය.
චිත්‍රපටයේ කතාව ගොඩනැංවී ඇත්තේ මානසික රෝග ගණනාවකින්ම පෙළෙන, සාර්ථක හිටිවන කවටයෙකු (stand-up comedian) වීමට වෙර දරන, ආතර් නැමැති හුදෙකලා මිනිසා බැට් මෑන් කතා මාලාවේ එන "ජෝකර්" නැමැති සුපිරි දුෂ්ටයා බවට පරිවර්තනය වීමට බලපාන සිදුවීම් මාලාව වටා ය. යතාර්තයත් ෆැන්ටසියත් අතර නිරන්තරයෙන් දෝලනය වන චිත්‍රපටයේ ආඛ්‍යාන ශෛලිය අවසානයේ ප්‍රේක්ෂකයා යතාර්තයත් ෆැන්ටසියත් අතර මැදි තැනක අතරමං කර දමයි. මේ සියල්ල ආතර්ගේ විකෘති මනස විසින් කරන පරිකල්පනීය ගොඩනැංවීමක් ද? එසේත් නැතහොත් යතාර්තයක් ද? චිත්‍රපටය අවසානයේ ප්‍රේක්ෂකයා මුහුණපාන ගැටළුව එයයි. ඩී සී චිත්‍ර කතා ඉතිහාසයේ පටන්ම ජෝකර් චරිතයේ සම්භවය අපැහැදිලි එකකි. "ඩාක් නයිට්" චිත්‍රපටයේ හීත් ලෙජර් විසින් රගපෑ ජෝකර් චරිතය ද තම සම්භවය පිළිබදව දක්වන අදහස් පරස්පර විරෝධී සහ ගැටළු සහගත ය. ජෝකර් ගේ උත්පත්ති කතාව ව්‍යාකුල කිරීම ම එම චරිතයේ විකාරරූපීත්වය ප්‍රබල කිරීමේ උපක්‍රමයක් ලෙස ඩී සී ඉතිහාසය පුරා භාවිතා කර ඇත.
ජෝකර් ගේ පැවැත්ම අභිප්‍රේරණයකින් තොර ය. ඔහු විසින් කෲර ලෙස සිදුකරන මනුෂ්‍ය ඝාතන සහ ඔහු ගන්නා තීරන චේතනාන්විත, අභිප්‍රයක් සහිතව සිදු කරන ඒවා නොව සම්පූර්ණයෙන්ම අහඹු සිදුවීම් ය. දුම්රිය තුළ දී තමාට පහර දෙන මිනිසුන් තිදෙනාව ඔහු මරා දමන්නේ අහඹු ලෙස ය. එම සිදුවීමට ප්‍රතිචාරයක් ලෙස සමාජයේ නිර්ධනයන් අතරින් ධනපතියන්ට විරුද්ධව ගොඩනැගෙන විරෝධය ද ආතර් විසින් සැළසුම් කළ යමක් නොව අහඹුවකි. මරේ ෆ්රෑන්ක්ලින් (රොබට් ඩිනීරෝ) ගේ වැඩසටහනට සහභාගී වීමට ඔහු තීරණය කරන්නේ එහිදී සියදිවි නසා ගෙන තම ජීවිතය තුළින් සොයා ගත නොහැකි වූ යමක් මරණය මගින් හෝ අත් පත් කර ගැනීමට ය. එහෙත් සිදුවන්නේ එය නොවේ. එහෙයින් සජීවී රූපවාහිනී වැඩසටහන තුළ මරේ ෆ්රෑන්ක්ලින් මරා දැමීම ඔහු විසින් ඒ මොහොතේ අහඹු ලෙස ගත් තීරණයක් මිස සැලසුම් සහගත එකක් නොවේ. ජෝකර් ගේ තීරණ සදහා පදනම් සපයන කිසිදු අභිලාශයක් හෝ අභිප්‍රේරණයක් නොමැත. ඔහු තුළ ඇත්තේ අරාජිකත්වය ම පමනි.
මරේ ෆ්රෑන්ක්ලින් සමග සිදුවන සම්මුඛ සාකච්චාවේ දී ජෝකර් පවසන්නේ තමන්ට නැතිවන්නට කිසිවක් ඉතිරි වී නැති බවයි. ඒ වන විට ඔහු ගේ පියා පිළිබදව මව විසින් ඔහුට පවසා තිබූ සියල්ල අසත්‍ය බවත්, ඇය ඔහුගේ නියම මව නොවන බවත් ඔහු දැනගෙන හමාර ය. එහෙයින් ආතර් නැමැති චරිතය සම්පූර්ණයෙන් ම මවාපෑමක් පමනක් බවට පත් වී හමාර ය. ඔහුගේ පෙම්වතිය ද ඔහුගේ ම මනසේ පරිකල්පනයක් මිස සත්‍යයක් නොවන බව ඔහුට වැටහී අවසන් ය. එහෙයින් ඔහු ආතර් ව අතහැර දමා පරිපූර්ණ ලෙසම ජෝකර් බවට පත් වේ. ඔහු තුළ ක්‍රමිකව ගොඩනැගෙන මෙම තත්වය එකිනෙකට වෙනස් දර්ශන දෙකක ඔහුගේ නර්තන ස්වරූපයන් හරහා කදිම ලෙස පිළිඹිබු කිරීමට අධ්‍යක්ෂකවරයාත් ප්‍රධාන නලුවාත් සමත් වේ. දුම්රිය තුළ තිදෙනෙකු මරා දැමීමෙන් පසු ආතර් විසින් පොදු වැසිකිලියක් තුළ සිදු කරන නර්තනය ඔහු තුළ ජෝකර් චරිතය ගොඩනැගීමේ ආරම්භය පිළිඹිබු කරයි. සම්මුඛ සාකච්චාවට පිටත් වීමට ජෝකර් ඇදුමින් සැරසී පඩි පෙලක් මත සිට ඔහු කරන නර්තනය ඔහු ජෝකර් බවට රූපාන්තරනය වීමේ කූඨප්රාප්තිය සනිටුහන් කරයි.
සම්මුඛ සාකච්චාවේ දී මරේ ෆ්රෑන්ක්ලින්ව මරා දැමීමට ප්‍රථම ජෝකර් විසින් පවසන දෙබස චිත්‍රපටයේ සමස්ත අදහසෙහි සාරාංශයක් ලෙස සැළකිය හැක. "තමන්ව කුණු කෑල්ලක් ගානට දාලා සලකන සමාජයක ජීවත්වෙන හුදෙකලා පිස්සෙක්ට කෙලවන්න ආවම උබට මොකද වෙන්නෙ දන්නව ද? උබ වගේ එකෙක්ට වියයුතු ම දේ වෙනවා." දෙබස අවසාන වනවාත් සමගම සිය පිස්තෝලය එළියට අදින ජෝකර් මරේගේ හිසටම වෙඩි තබා මරා දමයි. මෙම ප්‍රකාශය තුළින් මෙන්ම සමස්ත චිත්‍රපටය පුරාම ගොඩනගන කේන්ද්‍රීය අදහස වන්නේ දුෂ්ඨභාවය යනු සහජයක් නොව සමාජ ගොඩනැංවීමක් බවයි. අසරණ, හුදෙකලා, මානසික රෝගියෙකු වන ආතර්ව ජෝකර් කෙනෙකු කරන්නේ ඔහුව කුණු කෑල්ලක් ලෙසින් පගා දමන සමාජය විසිනි. ජෝකර් ගොඩනැගෙන්නේ ආතර්ට එරෙහිව එල්ලවන සමාජ දුෂ්ඨභාවයට ඔහු තුළම නිර්මානය වන ප්‍රතිරෝධයක් ලෙස ය. එහෙයින් ජෝකර් යනු සමාජ දුෂ්ඨභාවයේ පිළිඹිබුවකි.
වෙනත් ලෙසකින් කිවහොත් ඔබ විසින් එල්ලා මැරීමට බල කරන, අනීතික ලෙස මරා දැමීම සාධාරණීකරනය කරන, අයුක්ති සහගත මර්ධනයන් නොසලකා හරින, වේදනාවේදී සංවේදී නොවන, මිනිස් අර්ධයන් ලෙස සලකන, මේ සමාජයේම තවත් ස්ථරයක ජීවිත යනු ඔබගේ දුෂ්ඨභාවයේ පිළිඹිබුවකි.
හිමිකම් : කසුන් චන්ද්‍රනාත් පතිරණ