සෙනසුරාදා හවස රෝයල් තැප්‍රොබේනියන් පරිශ්‍රයේ තිබුණු 'ඉන්ද්‍රාණි නම් පෙම්වතී' වැඩසටහන නරඹන්න ගියා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, ඉන්ද්‍රාණි පෙරේරාගේ සිංදු වලට තියෙන අත්‍යන්ත ආදරය නිසා.
ඉන්ද්‍රාණි පෙරේරා ගැන මගේ මතකය මුලින් ම ඇඳෙන්නේ ඉස්සර ටෙලිවිෂනයේ ගිය 'ලොවේ සැමා එකම දැයේ' සිංදුවත් එක්ක. වෙඩින් එකකට යන්න වගේ සැරසුණු ගායක ගායිකාවන් අතරින් නිල් පසුබිමේ සුදු පාට බෝල බෝල තියෙන ඔසරියක් ඇඳලා , නොයෙලින් හොන්ටර් දානවා වගේ එල්ලෙන කරාබු දාගෙන ඉන්න ඉන්ද්‍රාණි 'සාමයේ.. ගීතිකා - පතුරාලා මුළු ලෝ තලේ' කියන කොටස ගයනවා. රූකාන්තට, සමන් ද සිල්වා ට පස්සේ. ලතා වල්පොළ ට චන්ද්‍රලේඛා ට කලින්. ගායන පිළිවෙල පවා අද වගේ මතකයි.
කාජල් කියන්නේ අනූව දසකයේ බොලිවුඩ් තිරයට පිවිසුණ නිළියක්. ඇගේ තියෙන විශේෂත්වය තමයි කවදාවත් වෙන නිළියක් කියලා වැරදෙන්නේ නැති පැටලෙන්නේ නැති කාජල්ට ම අනන්‍ය කාජල්මය පෙනුම. ශ්‍රී දේවි ද දිව්‍යා භාරතී ද , මධුරි ඩික්සිත් ද ෆර්හීන් ඛාන් ද අයිශ්වර්‍යා රායි ද ස්නේහා උල්ලාල් ද වගේ සංසන්දන නෑ. කාජල් නම් කාජල් ම තමයි. මම දකින විදියට නන්දා මාලිනීගේ යුගයෙන් පස්සේ ලාංකේය ගායන ලෝකයට කාජල් ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්ද්‍රාණි පෙරේරා. අනික් එක්කෙනා චන්ද්‍රලේඛා පෙරේරා. මේ දෙන්නාගේම කටහඬ ඒ අයටම අනන්‍යයි. වෙන හඬවල් සීයක් මැද වුණත් වෙන් කරලා හඳුනගන්න පුළුවන් මට්ටමට ස්වාධීනයි.
ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ තමන්ගේ හඬේ අනන්‍යතාව නඩත්තු කරගෙන වුණත් ගීතයේ හැඟීමට ආකූලව ගායනා කරන, ගීතයේ හැඟීම දනවන්නට සමත් ගායිකාවක්. හඬ අනන්‍යතාව සහ ගීතයේ හැඟීම සමබරව පාලනය කරලා ගායනා කරනවා කියන්නේ තරමක අභියෝගයක්. චාන්දනී හෙට්ටිආරච්චි ගැන හිතමු. චාන්දනී 'සිහින පාරාදීසයේ' ගැයුවත්, 'රඹකිට රබන් කිකිඳ' ගැයුවත් ඇහෙන්නේ 'විලාසිතා මන බඳිනා විලාසිතා' ගීතයේ දී දැනුණ විනෝදජනක හැඟීමමයි. චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ හඬ ඊටත් වඩා මිහිරියි. නමුත් 'පන්සලේ පල්ලියේ' ගැයුවත් , 'සීනුව වදින තුරා' ගැයුවත් ඇහෙන්නේ 'සැප සම්පත් නම්' ගීතයේ දී දැනෙන උපදේශනාත්මක හැඟීමමයි. ඒත් ඉන්ද්‍රාණි පෙරේරා එහෙම ද ?
'කාගෙද ගොන් වස්සා, ඔළිඳ කැළේ, එදා තරම් මගේ හිතේ' වගේ ගීත ගයනකොට අපිට ඉන්ද්‍රාණිගේ හඬත් එක්ක ඉලන්දාරි වයසේ විනෝදජනක හැඟීම, කණ්ඩායම් සංගීතයෙන් පන්නරය ලැබුණ නටන්න උචිත හැඟීම දැනෙනවා. ඒත් 'එක දවසක් ඔබ දුටුවා' කියනකොට අපිට මැවෙන්නේ ප්‍රේමයෙන් ආසක්ත වුණ නමුත්, ප්‍රේමයේ අත්දැකීම් වලට ආධුනික තරුණියක්. 'ඔබ සොයනා කළු කෙල්ල මමයි' ගීතයේ දී අපිට දැනෙනවා ඒ පෙම්වතිය ප්‍රේමයේ මාත්සර්යය විඳින බව. 'තිළිණේ ලෙසින් පිළිගන්වමී' කියනකොට අපිට තේරෙනවා මේ නම් ඉන්නේ පොඩ්ඩක් මෝරපු , යමක් කමක් තේරෙන පෙම්වතියක් කියලා. 'සාගරය පරදා උතුරා' ගීතයේ දී ඒ තරුණිය විරහ වේදනාවෙන් පරාජිත වෙන නමුත් තමන්ගේ වේදනාව වෛරයක් කර නොගන්න තරම් මැදහත් වෙන හැටි ඉන්ද්‍රාණි ගයනවා. 'අතැඟිලි බැඳුණේ ඇයි මේ විලසින්' ගීතයේ දී අන්සතු ළඳකගේ නොසන්සුන් සහ ව්‍යාකූල ප්‍රේම හැඟීම දැනෙනවා. 'මතකය ඇසුරෙන් සිහියට ගන්නට' ගීතය ඇහෙනකොට ඒ හඬ ඇතුළෙන් දැනෙන වේදනාවත් එක්ක මේ ගයන්නේ කණ්ඩායම් සංගීතයේ නැටෙන දෙපා වලට ගීත ගයපු ඉන්ද්‍රාණිම ද කියලා පුදුමත් හිතෙනවා. 'වන දෙව්ලිය තුරුලේ' ගයන ඉන්ද්‍රාණී 'බිතු සිතුවම් නෙළුවෝ' කියන වැරදි යෙදුම අමතක වෙන තරමට විචිත්‍රවත් හැඟීමෙන් සීගිරිය මවනවා.
ඉන්ද්‍රාණි එක්තරා කාලයක දී රිදී තිරයට පිවිසෙනවා. නමුත් සිංහල සිනමාව මේ ගායිකාවට නිසි සාධාරණය ඉටු කළා ද කියන සාධාරණ ප්‍රශ්නය අදටත් මගේ හිත තුළ තියෙනවා. බාගදා ඇය කණ්ඩායම් සංගීත පසුබිමකින් යුක්ත වීම සහ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත ප්‍රවාහය නියෝජනය කරන ගායිකාවක් වීම ම මේ වෙනස් හැන්දකින් බෙදීමට හේතු වෙන්නත් ඇති. ගායන හැකියාවක් තිබූ නුමුදු රිදී තිරයට නොගැලපෙන හඬක් ඇති ගායිකාවන් කිහිප දෙනෙක් අනවශ්‍ය විදියට උලුප්පා දැමූ යුගයක සිංහල සිනමාව ඉන්ද්‍රාණි පෙරේරාව පමණක් අකාරුණික ලෙස අමතක කර දමනවා. නමුත් ඇය ගැයූ ගීත අපට අමතක කරවන්නට ඒ කල්ලිවාදී ඉතිහාසයට හැකි ද ?
1973 වසරේ 'සදහටම ඔබ මගේ' චිත්‍රපටයට වික්ටර් රත්නායක සමග ගැයූ 'පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ' ගීතය ද, 1974 වසරේ 'දිනුම් කණුව' චිත්‍රපටයට ගැයූ 'රෝස කැළේ රතු කැකුලී' ගීතය ද, එම වසරේ ම 'සැණකෙළිය' චිත්‍රපටය ට මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ 'සමනල රෑණක් සේ - අනන්ත හැඟුම් මැවේ' ගීතය ද ඔබට අමතක කළ හැකි ද ? 1975 වසරේ 'සිකුරුලියා' චිත්‍රපටයට ගැයූ 'වසන්තයේ මල් කැකුළයි' ගීතය ද, එම වසරේ ම 'තරංගා' චිත්‍රපටය ට දේවානන්ද වෛද්‍යසේකර සමග ගැයූ 'පවන් සුසුම් දැලින් වෙළී' ගීතය තුළින් ඔබ ඉන්ද්‍රාණි පෙරේරා නම් වූ චිත්‍රපට පසුබිම් ගායිකාව නොදකින්නේ ද ? ඒ හැරෙන්නට ඉන්ද්‍රාණිව අමතක කළ රිදී තිරය ,ලබා දුන් සීමිත අවස්ථාවන්හි දී පවා ඇයට බෙදා ඇති හැන්දේ ප්‍රමාණය පිළිබඳව ද අප දැනුවත් විය යුතු ය. සිංහල සිනමාවේ රිදී දෝලියන් වෙනුවෙන් ගයන්නට විනා නිළි රැජණන් වෙනුවෙන් ගී ගයන්නට ඉන්ද්‍රාණි පෙරේරාට වරම් නොලැබුණු තරම් ය.'සදහටම ඔබ මගේ' චිත්‍රපටයේ දී සෝනියා දිසා ටත් , 'දිනුම් කණුව' චිත්‍රපටයේ දී මාජි මන්ත්‍රිනායක ටත් , 'සැණකෙළිය' චිත්‍රපටයේ දී ෆරීනා ලායි ටත් , 'සිකුරුලියා' චිත්‍රපටයේ සුවිනීතා වීරසිංහ ටත් , 'තරංගා' චිත්‍රපටයේ මානෙල් වානගුරු ටත් පසුබිම් ගායනා කරන ඉන්ද්‍රාණි ඒ සියලුම ගීත සදානන්දකර ගීත බවට පත් කළා ය. රැජණන් වෙනුවෙන් වෙන් නොවූ ඒ මිහිරි හඬ ලක්ෂ සංඛ්‍යාත ගී ලෝලීන්ගේ හදවත් තුළ එදත් අදත් නින්නාද වන ලෙස ගැයුවාය. ඉන්ද්‍රාණී නම් පෙම්වතී සදාකාලිකව ම තරුණ වන්නේ එබැවිනි.
රෝයල් තැප්‍රොබේනයේ පොත් කඳු අතර මැදි වූ , අසුන් ගත් , බිම ඈඳි ගත් සහ සිටගෙන සිටි ජනතාව මැද තමාගේ ගී මදහසින් අසන ඉන්ද්‍රාණි පෙරේරා ය. නදී කම්මැල්ලවීරගෙන් ස්ත්‍රීවාදී ටොකු පහරක් කමින් වුව ද විනෝදයෙන් වැඩසටහන මෙහෙයවන්නේ පාඩමක් ඉගෙනගන්නේ නැති චාමර ගුරුගේ ය. 'ඉන්ද්‍රාණි නම් පෙම්වතී' ගයන පෙම්වතියන් කැළ මංජරී, අමන්දා, මල්ෂි, නයෝමි, තිළිණි ඒකනායක, තිළිණි රුද්‍රිගු, සිලනි, තරංගනී, තරිදි සහ හෂානි බවත් සත්සර මුසුව නිපුනි, රාදි, අකලිෂ්ට, රන්සිත්, තිළිණ බවත් චාමර විසින් හඳුන්වා දෙන ලදි. ඉන්ද්‍රාණි පෙරේරාගේ ගී ඉන්ද්‍රාණි අනුකරණය නොකරන, නමුත් ඇයට පෙම් බඳින විවිධ කටහඬ වලින් ඇසෙන විට එතැන සුවපහසුව දනවන සංගීත සන්ධ්‍යාවක් බිහි විය. එකියක් නන්දා මාලිනීගේ හඬට සමාන හඬකින් ඉන්ද්‍රාණිගේ ගීයක් ගයන විට තවත් එකියක් රාගධාරී සංගීතය ප්‍රගුණ කළ හඬකින් ඉන්ද්‍රාණි පෙරේරාගේ ගීයක් ගැයුවා ය. එතැන තිබුණේ ඉන්ද්‍රාණි පෙරේරා සමග තරගයක් නොව ඉන්ද්‍රාණිගේ ගීත තමාට දැනෙන ආකාරය එළි දැක්වීම බව චාමර කිසිවිටෙකත් පැවසුවේ නැත. නමුත් පැමිණ සිටි සැම දෙනාම මුල් ගැයුමේ සිට ම එය වටහාගෙන තිබිණ. 'ඉන්ද්‍රාණි නම් පෙම්වතී' තවත් එක් සාම්ප්‍රදායික උපහාර උළෙලක් හෝ උපහාර මුවාවෙන් පවත්වන සර්කස් සංදර්ශනයක් නොවුණේ ද , අපට අත්පොඩි තලන්නට අයිතියක් ඇති සන්ධ්‍යාවක් වූයේ ද එබැවිනි.
ඉන්ද්‍රාණි පෙරේරාගේ ගායනා පිළිබඳ ඔබගේ අදහස පවසන්නට යැයි යමෙක් මාගෙන් විමසුවහොත් පවසන්නට වෙන්නේ ඒ අදහස කරුණාරත්න අබේසේකර විසින් ලියා ඉන්ද්‍රාණි ලවා ම ගායනා කරවා ඇති බව ය.
ඉන්ද්‍රාණි නම් පෙම්වතී;
‘සමනල රෑණක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේ දෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර හැංගේ’
- සහන් කසීර වික්‍රමසිංහ -
ඡායාරූපය : Sehan Kavinda