ඉතිං දුවගෙන ගිහිං බේරමු, පුරෝගෙන හිත ආදරෙන්, ඒවි සාමය, සතුට අරගෙන නොදැනීම අපෙ පසුපසින්!
"මම ළෙහිගුණෙන් පිරිලා ඉතිරිලා ගිහිං. එකමෙක ආදරේක කොටස් කරුවන් වෙච්චි නිසාම, මේ කාමරේ ඉන්න එක්කෙනෙක්ගෙන්වත්, මේ සහෘද අනික් නිර්දේශිත හිතවතුන් අතරින්වත්, උන් පරද්දලා මං ඉහළට එසවුනා කියලා මට හැගෙන්නෑ මිත්‍රවරුනි! ඒ එකමෙක ආදරය, සිනමාව නම් වූ ආදරය. ඒකෙන් ඉපදිච්ච් භාවප්රකාශන අභිනයන් මට එක් සුවිශේෂ ජීවිතයක් උදා කරලා. ඒක එහෙම නොවුනා නම් මං කොහේ කොහොම ඉදීදැයි හිතන්නවත් බැහැ මයෙ මිත්‍රවරුනි.
නමුත්, නමුත් මට හිතෙනවා හිතවතුනි, මං ලබපු, මං වගේම මේ අතර ඉන්න ගොඩදෙනා ලබපු, අති ශ්‍රේෂ්ඨතම තෑග්ග හඬක් නැගීමට හැකිවීම කියලා, ඔව් හඬක්! හඬක් නොමැත්තන් උදෙසාම වන හඬක්!! මට කල්පනා වෙනවා, අපි සාමුහිකව මුහුණ දෙමින් ඉන්න මහා දොම්නස් තාපයන්, උග්‍ර පීඩා කම්කටොළු ගැන.
මම හිතනවා, සමහර විට අපිට හැගෙනවා, නැතිනම් අපිට හැගෙන්නට උගන්වා තියෙනවා අපි කුමක හෝ කුමන ඉසව්වක හෝ ජයග්‍රාහිකයින් නේද කියලා. නමුත් මට පේන්නේ පොදුබිමක්, පොදුතැනක්, සාමුහික සාර්වත්රියක්!
මම හිතනවා, අපි ස්ත්‍රී-පුරුෂ අසමානතාව, වර්ණවාදය, සමලිංගික-විෂමලිංගික අයිතිවාසිකම් නැතිනම් ස්වදේශික අයිතිවාසිකම් හෝ සත්ව හිංසාව ගැන කතා කරද්දි අපි කතා කරන්නේ අසාධාරණයට එරෙහිව සටන් කිරීම ගැන කියලා.
අපි කතා කරනවා එක් දේශයක්, එක් ප්‍රාජාවක්, එක් ජාතියක්, එක් ලිංගාධිපත්යක් ඒ විතරක් නෙවෙයි එක් මනුෂ්‍ය විශේෂයක් බලහීන අන් කිසිවෙකු මත බලපෑම්, පීඩා හෝ පාලනය කළහැකියි යන සිතුවිල්ලට එරෙහිව සටන් කිරීම ගැන.
මම හිතනවා අපි ස්භාවධර්මයෙන් ගොඩාක් විසන්ධි වෙලා ගිහිං කියලා. අපි හැමෝම වැරදිකාරයෝ, ඔව් අපි හැමෝම වැරදී ස්වර්ථවාදී ලෝකයක් ගැන හීන දැක්කට. අපි වැරදි කාරයෝ මේ විශ්වයේ කේන්ද්‍රය අපි කියලා හිතාන දුර්ගුණ වැපිරුවට. අපි කැලෑ වැදුනා, වැදිලා ඒ සම්පත් ඔක්කොම හූරගෙන කෑවා! අපි අපිට බලය පවරගත්තා අහිංසක එළදෙනක් කෘතීමව ගැබ් ගන්වලා ඒ අම්මා සන්තාපයේ කටුක කදුලෙන් නෑවෙද්දි ඒ පැටියවම ඇගෙන් උදුරලා ගන්න. ඒ පැටියට ලෙයින් කිරි වෙච්චි ඒ අම්මගෙ සෙනෙහසම අපි උදුරගෙන ඒකෙන් අපි කෝපි එකක් හදං බිව්ව මිත්‍රවරුනි, සීරීයල් ටිකකට දාං කෑවා!
අපි වෙනස් වෙන්න බයයි හිතවතුනි, ඇයි? ඇයි අපි හිතනවා ඒකට කැප කිරීමක් අවශ්‍යයයි කියලා. දේවල් අතහරින්න වෙයි කියල බයයි. ඒත් අපිට අමතක වුණා, මිනිස්සු හරිම නිර්මාණශීලී විශේෂයක් කියලා, මිනිස්සුන්ට අළුත් දේ උපද්දන්න පුළුවං කියලා! ඇයි අපිට ඒකෙන් බැරි හදන්න ලෝකයක්, මිනිස්සු විතරක් නොවී සකල ජීවී වර්ගයාම, එකට සතුටින් ඉන්න වටපිටාවක්? ඇයි අපිට බැරි?
මං මගෙ මුළු ජීවිත කාලෙම අධම, ආත්මාර්ථකාමී දුෂ්ඨයෙක් වෙලයි හිටියේ. මං සමහර වෙලාවට එකට වැඩ කරන්න අමාරු නපුරු මිනිහෙක්. ඒත්, මේ ශාලාවේ ඉන්න හැමෝම ඒක අමතක කරලා මට දෙවෙනි අවස්ථාවක්, ඔව් තවත් එක අවස්ථාවක් දුන්නා! අපි තව කෙනෙක්ට එහෙම අවස්ථාවක් දෙද්දි, පරණ වැරදි මතක් කරලා එකට වැඩ කරන්න බැහැ කියලා අහක් නොකර, වැඩෙන්න හැදෙන්න ආයේ ඉපදෙන්න උදව් කළාම, මං හිතනවා, ඒ අපි, මිනිස්සු විදියට, අපේ හොදම තත්වයට ලබපු උසස් වීමක් කියලා. ඔව්! අපි එකෙනෙකා දක්කගෙන, පාර පෙන්නගෙන එතෙනට යන්න ඕනේ හිතවතුනි. එතෙන්ට යන්න ඕනෙ! මිනිස් චේතනාවක උපරිම හොද ස්ථරයකට!
මම අවුරුදු දාහතේ දී, මගේ අයියා තැනක මෙහෙම ලියලා තියෙනවා දැකලා තියෙනවා, ඒකෙන්ම මං අවසන් කරන්නම්.
-ඉතිං දුවගෙන ගිහිං බේරමු,
පුරෝගෙන හිත ආදරෙන්,
ඒවි සාමය, සතුට අරගෙන
නොදැනීම අපෙ පසුපසින්!
ස්තූතියි!!"
Joaquin Phoenix
හොදම නළුවා සදහා වූ ඔස්කාර් සම්මානය අතැතිව,
උදෑසන 09.36, පෙබරවාරි 10, 2020 (ශ්‍රී ලංකා වේලාවෙන්)
උපුටා ගැනීම - ඓතිහාසික ඡායාරූප නොසැලෙයි පිටුවෙන්