-“ශ්‍රී ලාංකා පාර්ලිමේන්තුව මෝඩ අඳබාලයන්ගෙන් පිරුණු බාල කොමඩි චිත්‍රපටයක් සහ කපටි චණිඩින්ගෙන් පිරුණු පාතාලයක්”-
"මාගේ දේශපාලන භාවිතාව පවතින්නේ යම්කිසි පක්ෂයකට සීමාවී නොවේ. එබැවින් මා කරනා දේශපාලන මැදිහත් වීම් ඡන්දයෙන් පත් වී පාර්ලිමේන්තුවට යෑම හෝ රාජ්‍ය ආයතන වල තනතුරු ලබා ගැනීම හෝ වෙන මොන යම් පෞද්ගලික ලාභයක් උදෙසා හෝ කරන මැදිහත්වීමක් නොවේ. එය අවශ්‍යය නම් ඕනෑම කෙනෙකුට මාගේ ඉතිහාසය ගැන විමසීමෙන් සොයා බැලිය හැක. අද වන විට ශ්‍රී ලාංකා පාර්ලිමේන්තුව මෝඩ අඳබාලයන්ගෙන් පිරුණු බාල කොමඩි චිත්‍රපටයක් සහ කපටි චණිඩින්ගෙන් පිරුණු පාතාලයක් බවට පත් වී තම අභිලාෂයන් අමතක කරමින් හැසිරෙන වැඩි දෙනෙකුගෙන් පිරී තිබුණද, පාර්ලිමේන්තුවට ගොස් මහජනයා වෙනුවෙන් අවංකව වැඩ කිරීම සහ එසේ මේ වන විටත් වැඩ කරමින් සිටින පිරිස් වල හා ඔවුන්ගේ අවංක ශ්‍රමය මෙන්ම, කැපවීම ද මම කිසිසේත්ම අවතක්සේරු නොකරන අතර, ඒ සඳහා දේශපාලනයේ පූර්ණ කාලීනව නියැලීමේ හා අඛණ්ඩ අධ්‍යනයේ අනිවාර්ය අවශ්‍යතාවයක් තිබෙන බව විශ්වාස කරමි. එහෙයින්, 'පූර්ණ කාලීනව කලාවේ නියැලෙන්නියක්' ලෙස ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ ඒ භාරදූර අභියෝගය බාර ගැනීමට මා සුදුසු නැත. එමෙන්ම, එක් පක්ෂයක න්යායපත්රයකට කොටු වී රංගන ශිල්පිනියක ලෙසත්, සාමාන්‍ය පුරවැසියෙක් ලෙසත්, ස්ත්‍රියක ලෙසත් මා විශ්වාස කරන 'නිදහස් ආකල්ප' අර්බූදයකට යැවීමට මාගේ කිසිම බලාපොරොත්තුවක් නැත. ජනතාව වෙනුවෙන් ජනතාව සමඟ සිටගනිමින් කරන අරගල, වඩා සාධනීය හා බිම්මට්ටමේ අරගලයන් ලෙස මා පිලිගන්නේ එබැවිනි. එහෙයින්, 'සමනලී ඡන්දය ඉල්ලනවා...!' ආකාරයේ අතිශය බොරු ප්‍රචාරන සමාජගත කිරීම හරහා යලි යලිත් තම ලිංගික අර්බුදයන්ගේ ප්රතිබිම්බයන් සමාජය ඉදිරියේ නිරූපණය කරමින්, මා ඉලක්කයක් කරගනිමින්, මට පහත් ලෙස පහර ගසමින්, පරුෂ වචනයෙන් කෝමෙන්ට් කරමින්... එම ක්‍රියාවන්ගෙන් අප්‍රසන්න ආස්වාදයක් ලබන්නට මාන බලනා පිරිස්වල දැනගැනීම පිණිස මේ සටහන ලියා තබමි! සමාවන්න, මා ඡන්දය ඉල්ලන්නේ නැත...!!!"
- සමනලී ෆොන්සේකා