“ඔබට මා මරන්න ඕන නම්
උල් පිහිය හෝ තුවක්කුව රැගෙන
උත්සාහ නොකරන්න
පුච්චන්න මගේ කවියෙන් සැදුණු
මගේ පොත් එකින්එක”
"කාව්‍ය පරිවර්තනයට මුඛ්‍ය සුදුසුකම කවියෙකු වීමයි. නොඑසේ නම් දෙවැනි සුදුසුකම කවි ශක්තිය ඇති නිර්මාණකරුවකු වීමයි" - පරාක්‍රම කොඩිතුවක්කු
-------------------------------------
සිංහල පරිවර්තන සාහිත්‍ය ලංකාවට කළ බලපෑම් 2කි.
1) පරමාරදර්ශී ගමක් නියෝජනය කරමින්, රචනා කරමින් සිටි ලේඛකයන්ව ඊට සීමා නොකර, විශ්ව කෘති පරිවර්තන කාර්යයට යොමුකරලීමයි.
2) කවියට, නවකතාවට, කෙටිකතාවට, නාට්‍යයට පරිවර්තනවල වස්තුවිෂය, භාෂාව, උපමා, වපසරිය එතෙක් පැවති රටාවට උරා ඉන් පෝෂණය ලැබීමයි.
කාව්‍ය කෘති පරිවර්තනයෙහිදී අපට සිහි කැඳවන නම් පෙළක් වෙයි.
ඨාකූර් ගීතාංජලිය ඉංග්‍රීසි බසට නැගීය. එස්රාපවුන්ඩ් චීන, ජපන් කවි පරිවර්තනය කළේය. ජී. බී. සේනානායක (රුබයියාට්), ආරියවංශ රණවීර (මිණි පැමිණි, විසිරි මිණි, මග දෙපස මල්-හයිකු තන්ග් කවි), ඩබ්ලිව්. ඒ.අබේසිංහ, රත්න ශ්‍රී විජේසිංහ සහ තවත් ප්‍රවීන කවියන් කළ විශිෂ්ට පරිවර්තන උක්ත කියමනට ඉඟි දෙයි. මොනිකා රුවන්පතිරණගේ සිට කල්පනා ඇම්බ්‍රෝස් දක්වා සහ තවත් කිවිඳියෝ ද මෙම මගට අවතීර්ණ වූහ.
සම්භාව්‍ය සාහිත්‍යයක්, විශිෂ්ට බටහිර සාහිත්‍ය කෘතීනුත් අධ්‍යයනය කිරීමෙන් ලත් පරිචය කවියකුට වටනේ ය. සෙසු භාෂා උගනීම පසෙක දමා අප බසම පමණක් හොඳයැයි සිතමින් නිර්මාණකරනයේ යෙදීම දූපතක හිඳිමින් මේ ලෝකය මේ ආකාරයි කීමක් බඳු ය.
ලක්ෂාන්ත අතුකෝරල නූතනයේ කවියකු වීමට තරග කරමින්, එක රැයින් කවියකු වූ අයකු නොවේ. ඔහුගේ මේ දක්වා වූ කාව්‍ය ග්රන්ථ නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, නිරන්තර අත්හදාබැලීම්වල යෙදෙමින්, දැනුම පිපාසාවෙන් මඩනා ලද අනවරත ඉගෙනුමක නිරත වූ බවකි. හයිකුවේ සිට විවෘත පැදි දක්වා එය ගමන් කර ඇත. උච්චස්ථාන සේම බෑවුම් පල්ලම්ද එකසේ තරණය කරමින් වුවද රැහැන අත් නොහරින ගමනකි. ඒ කවි ගමනේ සංයමයකි. මෙ සුලකුණු කාව්‍ය පරිවර්තනයේදී ඔහුව ඔසවා තබමින් නැගී සිටියි.
බටහිර කවියෙහිත්, කවියට සීමා නොවූ විවිධ ක්ෂේත්රයන්හි ලොව ගවේෂණය කරන්නකු වන අප කවියා තමා දන්නා එකම වදන් යොදමින් අපව නීරස කරන්නේ නැත. ඒ බව කෘතියෙහි මැයෙන්ම පෙනේ. සිපුම් සීරුම් කෙනිත්තුම් යන මැය පවා කවියක් බව වරක් චූලානන්ද සමරනායක කීවේ එබැවින් විය යුතු ය.
කමලාදාස්ව අප හඳුනාගන්නේ ඩබ්. ඒ. අබේසිංහ කළ අනුරාගයේ මුල් පොත කෘතියෙනි. පරාක්‍රම කොඩිතුවක්කු කළ 'රතු රෝස නිල් රෝස් නම් පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන කමලාදාස්ගේ පරිවර්තන කවකිනි. මෙයිනුත් නොනැවතී අප කමලාදාස්ගේ චරිතය කියවිය යුතු බවට වන පෙළඹුමක් ලක්ෂාන්ත කෘතිය ආරම්භයේ කරන විස්තරයෙන් සිදු කර යි.
“ප්‍රියාදර සැමියාණ, මනසේ පුරාතන වැසියාන
පැරණි මහත මකුළු රාළේ, අවුල් ජාල මකුළු දැල් වියන
කාරුණික වන්න!
ඔබ මා ගලින් කළ කිරිල්ලියක කරන්නෙය
සෙල් කොබෙයි කිරිල්ලියක කරන්නෙය
ඔබ මා වටා කසිකබල් කාමරය තනන්නෙය”
ලිංගිකත්වය, ආදරය, නිදහස වැනි දෑ මෙන්ම රැඩිකල්, විකල්ප මත දැරීම, සෘජු සහ තියුණු භාෂාවකින් පණ පෙවුණු කමලාදාස්ගේ කවි ඈ සතු විශ්වීය මත, සංස්කෘතික ඝට්ටන කැඩී බිඳී යන සේ ගෙන එන බුද්ධිවාදී එළඹුම්, බුරුෂුවා ස්ත්‍රීවාදයක් නොවූ එහෙත් දැඩිතර ස්වභා මෙම කවිවලින් නිරූපිතය. ආස්වාදය උපදවන පුරුෂ වර්ණන, ලිංගික ආස්වාදය, ප්‍රේමයේ රිදුම්, කමලා තරම් ස්ත්‍රී ආත්මය සිඹින, සූරන, කොනිත්තන කිවිඳියක සිටියදැයි මෙම කවි කියවන විට සිතේ.
“නිරුවතින් සිටගන්න ඔහු සමඟ
කැඩපත ඉදිරිපිට
එයින් ඔහු දකිනු ඇත
ශක්තිමතා ඔහු බව
අදහනු ද නිසැකය ඔහු එය”
“දැකගන්න, ඔහුගෙ බාහු බල යස නිමැවුම
ඔහු දෙනෙත, දිය බුබුළ යට රත් පැහැ ගැනෙන
ස්නාන කුටිය හරහා යන ලජ්ජාව මුසු සක්මන
සාලුව ළිහනයුරු සහ
ගැස්සි ගැස්සී මුත්‍රා කරන විදිය”
ගස් ගල් මල් මුහුද වැනි වස්තූන් පුනපුනා එකම වදන්වලින් කවියට නගා ඒවා තමා විසින්ම උත්කර්ෂයෙන් අනුනට පෙන්වන ආධුනික කවිකිවිඳියන්ට කමලාදාස්ගේ කවි කියවා බැලීම වැදගත් ය. නූතනයේ එම අභියෝගය ජයගත් විමසුම් කටයුතු කිවිඳියන්ගේ නම් වැලක්ද ලක්ෂාන්ත සිහිපත් කර යි.
ලක්ෂාන්ත කවි වචනෙන් වචනයට පරිවර්තනයට නොය යි. පළමුව සමස්ත කවිය කියවා අදහස රැගෙන තම බසින් පණ පොවා නව කවියක් බවට හරව යි. සුදුසුම වචන සුදුසුම තැන යෙදීමට තරම් ඉවසිලිවන්ත වෙයි. ඉංග්‍රීසි බසින් එන එකම වදන විවිධ පද යොදා පරිවර්තනය කර යි. කවියේ රිද්මය තබ යි. නූතනයේ කවි බසට ආ යුතු වදන් යොදයි. බසක් පරිවර්තකය කිරීමෙහිදී මෙවැනි හුරුබුහුටිකමක් අප මෑතකදී දුටුවේ හෂිත අබේවර්ධන කළ 'මතක මිය ඇඳෙන සඳ' කෘතියෙහිදී ය.
‘ඇනට්’ නම් කවියෙහි, Reaping නම් වදනට ඔහු යොදන්නේ උදුරමින් යන්න යි. අස්වනු නෙළීම, ගැළවීම යන අරුත් සඳහා යොදන මෙම වදන ඔහු කවියේදී භාවිත කරන්නේ, තිරිඟු පැහැ කෙහෙපට උදුරාදැමීමට ය. එහිද ‘කෙස්’ නොව ‘කෙහෙපට’ය. Mirror fields යන්නට ‘දර්පණ තලය’ කියන ඔහු Mirrirයන්නට ‘කණ්ණාඩිය’ කිය යි. කවියේ දෙවනුව කියන දර්පණය පතුරු ගැලවී ගිය එකකි. දැන් ඊට සුදුසු නම කණ්ණාඩිය යන යෙදුම යි. මේ සියුම් තැන් කිහිපයක් පමණි.
‘සුර දූතයක් සමඟ’ යන කවියෙහි, ලක්ෂාන්ත යොදන මුඩුබිම යන වදන එලියට්ගේ මුඩුබිම සිහිකරව යි.
තම කවි ඇඟයුම් ලබනවාට කැමති කවියන් අතර, කමලාදාස් තම කවිවලට ඇගයුම් ලැබීම උපේක්ෂිත පිළිවෙතකින් බල යි. ඇගයුමෙන් සතුටක් ලැබීම ගැන සිතාබල යි. ඇඟයුම් ඇයට කැරපොත්තන් වැනි ය.
“කැරපොත්තන් දුවනවා වගෙයි
මගේ කවි ඕනවට වැඩිය ඇගයුම් ලබයි
හැබැයි මං නරකෝම කැරපොත්තෙකුත් නෙමෙයි
මහා මායා වළලු පටලගන්න තරම්
මං උසස් ප්රතිරූපෙකුත් නෙමෙයි”
කමලාදාස් භාරතීය කිවිඳියක වුව ද, එයම උතුම් යයි බදාවැළඳ නොසිටි යි. ඇය ඇකඩමික් ප්‍රවේශයක අරමුණක් ඇති ගැහැණියක ලෙසින් සමාජ සම්ප්‍රදායට නොබියව ඉදිරිපත් වෙයි. ඉංග්‍රීසි සහ තවත් භාෂා උගෙන ඒවායින් ද කවි ලිය යි. තමන්ට සිය මව්බසින් පමණක් නොව ඉංග්‍රීසි බසින් ද කවි ලියන්නට දෙන්නැයි අරගල කර යි. ඇගේ ලෝකය පිරී ඇත්තේ, බත් උයන්නට, දරුවන් වඳන්නට ම නොව සාහිත්‍යයෙහි නිර්මාණකරණයෙහි යෙදෙමින් අනවරත අරගලයක යෙදෙන්නට ය. එය කාන්තා විෂයට යුතු නැත්තකැයි කියා ඇය එයින් ඉවත් කර පටු සංකල්පවල තවදුරටත් පල්කර දමන්නට කැමති දනෝ, ඇයට ඉංග්‍රීසියෙන් කවි නොලියන්නැයි කියති. එබැවිනි ඇය කියන්නේ, 'මා මරන්න වුවමනා නම් මගේ කවි පුච්චන්න' කියා.
“ මලබාරයේ උපන් - තද දුඹුරු
ඉන්දියානුවෙක්මි මම
භාෂා තුනක් කතාකරන
දෙකකින් ලියන - එකකින් සිහින දකින
‘ලියන්නෙපා ඉංග්‍රීසියෙන්’ ඔවුහු කියති
ඉංග්‍රීසි ඔබේ මව් බව නෙමෙයි’...
කෙල්ලක බිරිඳක වෙන්නැයි
සාරිවලින් සැරසෙන්නැයි උහු කීයෙහු
‘ගෙත්තම්කාරියක වෙන්න
අහර පිසින්නියක වෙන්න’
‘පරණ සෙල්ලම් ගෙදර’ ඉබ්සන්ගේ බෝනිකි ගෙදර සහ නෝරා, කමලාදාස් වෙනත් ස්වරූපයකින් භාරතීය තලයක තැබුවා වැනි ය.
භාෂා අර්බුදයකින් පෙළෙන, එකම වදන් කරක කරවා යොදන ආධුනික නිර්මාණකරුවන්ට බස රසවත් කිරීමට ආලවට්ටම් දැමීමට නොගොස්, අනුභූතිය, වස්තුවිෂය තීව්ර කරවීමට කමලාදාස්ගේ කවි ආදර්ශය සපය යි.
ගාෂියා ලෝකාගේ නාට්‍යවල භාෂාවෙන් උපන්නාක් බඳු වදන් කමලාදාස්ගේ කවි තුළ මම දකිමි! යෙර්මාවන්ගේ සෝකාලාප, අඩෙලාවන්ගේ විලාප, පිහි තුඩු මෙන් කිඳා බැස බැස අපව රිදව යි. ඒවා අපට පෙනෙන්නේ ලක්ෂාන්තගේ කවි බස හරහා ය. මෙහි එන ‘කැලෑ ගින්න’ යන්න වැටෙහන්නේ ලෝකා ගෙන ආවාක් එපරිද්දෙනි.
“වැව ගාව දුක්බර ගැබිණියක්
ඇග අඳුරු පියවුරු පිටතට ගෙන සෝදනව
පරණ කැනන් ගස් පේළියෙහි
කටුසු මසකට කපුටන් කලහ කරනවා”
තවත් සිපුම් - සීරුම් - කෙණිත්තුම්, කවියෙන් ගෙන එනු පිණිස ලක්ෂාන්තට සුබ පතමි!
ඩිල්ෂානි චතුරිකා දාබරේ