ඇලපාත හාමුදුරුවෝ තම සිවුරු හැර ගිහි ජීවිතයට පැමිණියේ ගජමන් නෝනාගේ ගෘංගාර කවි පිළිතුරු නිසා බවත් සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඇලපාත මුදලි කෙසේ හෝ ගජමන් නෝනා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට නිතර උත්සාහ කර තිබෙනවා. සැමියා මිය යාමේ ශෝකයෙන් සිටි ගජමන් නෝනා එයට මුලදී ඉඩ දී නැහැ. සැමියාගේ මරණයෙන් අවුරුදු හයකට පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සමඟ පෙමින් බැඳෙනවා. ඉන්පසුව ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන නිතර පැමිණෙනවා.
ඇලපාත මුදලිද මාතර යුගයේ සිටි ප්‍රකට කවිකාරයෙකි. ඔහු සුරූපී ගජමන් කිවිඳියගේ සිත ගන්නට විශේෂ වෑයමක් දැරූ අයෙකු ලෙස ප්‍රසිද්ධය. ඔහු විටක ඇයගේ ගුණ වර්ණනා කළ අතර විටෙක අගුණ ප්‍රකාශ කළේය. තව විටෙක ඇයට අව කැපෙන දේ කියමින් හිංසා කළ බව පෙනේ. මේ ඇලපාත ඇගේ ගුණ වැනූ සැටිය.
“මදමත් දිග සොඬින් දස අත පිඹින්නිය
ලැමපත් පියයුරන් හස පොළඹවන්නිය
සිරිමත් එගජමන් නෝනා ඇතින්නිය
සිත ගත් රඹ උයන සිඳ බිඳ හෙලන්නිය"
ඉන් ඇගේ හැඩ රුව, සිරුරේ මහත දෙහෙත පමණක් නොව ඇගේ කාමාශක්‌ත බවද මතු වී පෙනේ. මුදලිතුමන්ගේ කවියට ඇය කවි දෙකක්‌ම ලීවාය.
“නාම රුක පසිඳු ඇලපාතින් පොරණ
සේම දළු ලමින් නැණ අතු විය දියුණ
සෝම ගුණ දහම් පල ඉදෙමින් නැමුන
කාම නල වැදී සහමූලයෙන් බිඳුන"
“වැස තදින් ගලන සිව් ඕගය ඈත
විසරමින් පිරීගිය නොර මෑත
නව දහම් බැම්ම බැඳ වෙර ඇල පාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඈත“
ඇලපාත මුදලි සමග තහනම් ප්‍රේමයේ රස පහස භුක්ති විඳීමට ඇය පටන් ගන්නවා. අවුරුදු කීපයකින් පසුව ගජමන් නෝනාගේ රූසිරිය වැහැරී යන්නට වූ විට ඇලපාත මුදලි ඇය හැරදමා ගමට ගොස් පවුල් ජීවිතයක් ආරම්භ කළ බවයි පැවසෙන්නේ. ඉන් පසුව ගජමන් නෝනා ආර්ථික වශයෙන්ද විශාල ගැටලුවලට මුහුණ පානවා. කලකිරීමට පත් ගජමන් නෝනා සියතින් පිහියෙන් ගෙල සිඳගෙන මරණයට පත්වූ බව කියවෙනවා. ඇය සියදිවි නසා ගත්තේ 1814. 12. 15 දින බව රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් කෘතියේ එච්.එම්. ජයන්ත විජේරත්න සඳහන් කරනවා. කිවිඳියගේ මළගමට ඇලපාත මුදලි පැමිණෙන අතර අවමඟුලේ කටයුතු සිදු වන්නේ ඔහුගේ මූලිකත්වයෙන්.
ඇලපාත මුදලි සහ සබරගමුව පාලනය කළ ඇහැලේපොල අදිකාරම අතර පෞද්ගලික හේතු නිසා විසරකයක් හටගත් බව පැවසෙනවා. මේ නිසා ඇලපාත නිලමේ දේපල ඇහැලේපොළ පවරාගනීවි යයි බියෙන් පසු වූ බව ජෝන් ඩොයිලිගේ සටහන්වලින් පේනවා. ජෝන් ඩොයිලිගේ දිනපොතට අනුව 1816 මැයි 4 දා බටුගෙදර දී ඇලපාත උණ රෝගයෙන් ඔත්පල වෙනවා. දින කිහිපයකට පසුව ඇලපාත මහ වලව්වට ගෙන යාමෙන් පසු ඔහු මරණයට පත් වෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 36ක් පමණයි. ඔහුගේ අවසන් කටයුතු වලව්ව අසල විහාරයකදී සිදු කර තිබෙනවා. භෂ්මාවශේෂ තැන්පත් කර සොහොන් කොතක්ද ඉදිකර තිබෙන බව ඩොයිලි සඳහන් කරනවා. තවත් ජනප්‍රවාදවල සඳහන් වන්නේ ඇහැලේපොළ වෙනත් කෙනකු ලවා වස දී ඇලපාත මරණයට පත්කළ බවයි.
(මුහුණුපොතෙහි 'ගමක සිරිය'හි මුල් ලියුම්කරුගේ නම සඳහන් කිරීමෙන් තොරව ප්‍රියංකර දිසානායක් විසින් පළ කරන ලද ලිපියකි.)