සිවලිංගම් අනූ සහෝදරිය සිංහලට පරිවර්තනය කළ දීපචෙල්වන් ගේ කාව්‍ය සංග්‍රහය පිළිබද දිගු ලිපියක් ලියන්නට සිතා නොසිටියෙමි. ඒහෙත් ලියන්නට ඇති දේ බොහෝ වු විට ලිපිය දිගු විය. පුවත්පත් මෙවැනි දිගු ලිපි පළකරන්නට උනන්දුවන බවක් නොපෙනෙන නිසා ඒම දිගු අදහස මෙහි බහාලමි. කාලය ඇති අයෙක් ඒය කියවනු ඇතැයි විශ්වාස කරමි.
රාජ්‍යත්වයට ප්රශස්ති ලියූ කවියන් සිටි යුග තිබිණි. යුද්ධයට ආවඩමින් හටන් කවි ලියූ යුග තිබිණ. යුද්ධයට එරෙහිව ලියූ කවි සමාජය හෘද සාක්ෂිය ප්‍රකම්පනය කළේය. අරගල භූමිය මැද හිටගත් කවීන් ඒකාධිපති කෘර පාළකයන් වෙතින් මරණය වැළදගත් සිදුවීම් ඉතිහාසය පුරා ගහනය. හුදෙකලා හෘදස්පන්දනීය වේදනා හදබසකින් පිටාර ගැලුවේ කවි බසකිනි.
කවියේ බස තුළ වාග් පෙළගැස්ම කොතරම් ප්‍රබල දැයි තේරුම් ගන්නට මේ කෙටි කලාපය වුව ප්රමාණවත්ය. රාජ්‍ය අනුග්‍රහය ලත් රාජසභා කවීන් නඩත්තු කරන්නට ඇත්තේ කවිය නමැති භාෂා ශානරය තුළ තිබූ ජීවී ගුණය නිසා බවට සැක නැත. නෙරුදා හෝ වික්ටර් හාරා සිය භාෂා පෙළගැස්ම සමාජ විප්ලයක් දක්වා ප්‍රගුණ කරන්නට ඇත්තේ කුමන භාෂාවකින් වුව කවියට ඇති ප්‍රබලත්වය නිසා බව පැහැදිළිව තේරුම් ගන්නට පිළිවන. කවියෙහි අප තුළ කම්පනීය අවස්ථා ඇති කරනුයේ භාෂා පෙළගැස්මේ ප්‍රබලත්වය මතය. එය කවියාගේ සියුම් ප්‍රකාශන ශක්තිය අනුව තීරණය වන්නකි.
සිංහලට නගන ලද දීපචෙල්වන් ගේ “ රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ” සෑම කවියක් තුළම ඇග කිළිපොළායන බිහිසුණු පරිසරයක මනුෂ්‍යත්වයේ වේදනාව සියුම් තන්තුමය නහර තුළට නොදැනෙන්නේ නම් ඒ් මනස වහල්භාවයෙන් ඔත්පළවූවක් යැයි මම අනුමාන කරමි. කවිය සහ භාෂාව පිළිබද මගේ සංකථනය වන්නේ සාර්ථක කවියක් තුළ වර්ණ සහ රූප රාමු පාඨක මනස තුළ ඇති කිරිමට සමත් බවයි. එම වර්ණ සහ රූප රචනා පාඨකයා තුළ ඇති කරන බලපෑම බුද්ධිමය තෙරපුමක් දක්වා ගමන් කරමින් අප තුළ විවිධ හැගීම් ජනිත කරන බව මනෝ විද්‍යාත්මක අර්ථකථනයන් නිරීක්ෂණයෙන් පැහැදිළි කරගත හැකිය.
දීපචෙල්වන් කවියා ගේ කවි බස තුළ ඇත්තේ රිදුම් දුන් වේදනා කන්දක පසු කම්පනයයි. එම පසුකම්පනයන් විවිධ තලයන්ගෙන් අප ස්පර්ශ කරයි. එනිසාම දීපචෙල්වන් සිය භාෂාර්ථය ඉක්මවා යන සියලු මනුෂ්‍ය ප්‍රජාවගේ භාවයන්ට ආමන්ත්‍රණය කිරීමට සමත් නව කවි මාවතක් සකස් කරයි. කවිය ඇසුරේ බුද්ධි කම්පනයට ලක්වන කිසිදු පාඨකයකු ජාතිවාදි හෝ ආගම්වාදී සීමා පවුරු අතර සිරගත කිරීමට පහසු නොවන බව මගේ විශ්වාසයය.
භාෂාමය රූපක සහ මනෝ විශ්ලේෂණාත්මක අර්ථකථන යන දෙකම ඒකිනෙක අතර ඡේදනය වන ආකර්ෂණීය මාතෘකා වේ. මෙම සංකල්ප දෙක එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේදැයි විමසීමෙන් දීපචෙල්ව භාෂාර්ථයෙන් මතු කරන කවියේ අනාගත ස්වරූපය කියවා ගැනීම පහසුය.
රූපකයක් යනු, සාමාන්‍යයෙන් එකක් අනෙක බව ප්‍රකාශ කිරීමෙන් (උදා: "කාලය මුදල්" හෝ "ආදරය යුද පිටියක්") එක් දෙයක් තවත් දෙයක් සමඟ සංසන්දනය කිරීම ඇතුළත් වන කථන රූපයකි. රූපක භාෂාව තුළ පැතිරී ඇති අතර වියුක්ත සංකල්ප පිළිබඳ අපගේ අවබෝධය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මනෝවිද්‍යාඥ ජෝර්ජ් ලැකොෆ් සහ දාර්ශනික මාර්ක් ජොන්සන් සංකල්පීය රූපක න්‍යාය වර්ධනය කළහ. මෙම න්‍යාය යෝජනා කරන්නේ රූපක යනු භාෂාමය ප්‍රකාශන පමණක් නොව මානව චින්තනයට සහ අවබෝධයට මූලික වන බවයි. උදාහරණයක් ලෙස, අපි බොහෝ විට වියුක්ත සංකල්ප, වඩාත් පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි සංයුක්ත සංකල්ප මත සිතියම්ගත කිරීමෙන් තේරුම් ගැනීමට රූපක භාවිතා කරමු. මෙයට "ආදරය යනු ගමනක්" හෝ "තර්ක යුද්ධයකි" වැනි රූපක ඇතුළත් විය හැක.
දීපචෙල්වන් ගේ “යාළ් නගරය ” කවියේ අරම්භක පෙළ අප තුළ සංකල්පීය රූප පෙළක් වෙනත් අර්ථයක් නිෂ්පාදනය කිරීම සදහා යොදාගන්නා ආකාරය ප්රබලය.
කොත්තු රොටි කඩයක්
නාදුනන මළකුණක්
වටකරගත් නගරයක්
යාපනය නිහැඩියාවක්
මේ වචන පෙළ ගැස්වීම ඔස්සේ ඔහු අප තුළ යාපනයේ ජන සමාජය තුළ යුද බිය සහ මර්ධනය තුළින් ඇති කර තිබෙන භීතිය තේරුම් ගතහැකිය. එම දේශපාලන බලයට එරෙහි වන්නන්ට අත්වනුයේ මරණයයි.
දින සටහන්
සුළගට හසුව
ඉරීගොස් ඇත
මගේ පෑන
ලෝහිතව
උතුර උතුරා
ගලනු ඇත
දෙමළ ජනයා තුළ පුපුරු ගසන අභ්‍යන්තර වේදනා කවියා සිය කෙටි වචන තුළ ප්රබලව පෙළගස්වා පාඨකයා තුළ උනුසුම් වාසුලියක් ඇති කරයි. දීපචෙල්වන් සිය හෘද සාක්ෂිය අවදිකරන්නේ නිහඩව මේ බලහත්කාරී පීඩනය දරාගෙන සිටින සමාජයට ඇගිල්ලක් දිගුකරමින්ය.
පණ නැති මා නිහඩය
පණ ඇති ඔබත් නිහඩය
තව සැනෙකින් ඇදිරි නීතිය
පොදු සිරිත බිදදැමූ
යාළ් නගරය
දැන් කුමක් සිදුවේද?
දීපචෙල්වන් ගොඩනගන කවියේ භාෂාත්මක රූපාවලිය මනෝවිශ්ලේෂණාත්මකය. “ රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” කාව්‍ය ඊට හොදම නිදසුනකි. ඒහි භාෂාව මෙන්ම රූපක යෙදුම් ඉතා ප්‍රබල මනෝ රූපාවලියකි. ඔහු කවිය ආරම්භ කරන්නේ මෙලෙසය.
දුර දුරය
රාත්‍රිය මත
රතු කුරුල්ලෙක් ලැගගෙන
බත් කෑ පිගාන
වේලී ගොසිනි
අම්මාගේ පොල්කටු හැන්ද
වේලී දුම්මැස්සේ ඔහේ තිබිණි
දීපචෙල්වන් කියන මේ රත්‍රිය මත ලැග සිටින රතු කුරුල්ලා කවරෙක්ද? බිහිසුණු වර්ගවාදී යුද්ධයක් විසින් ඇති කළ මරණීය භීතිය නොවේද?
1983 යාපනය පුස්තකාලයට ගිනි තබන අවස්ථාවේ ඒහි සිටි පොලිස් නිලධාරියෙක් මෑතකදී මට මුණගැසිනි. ඔහු සමග කළ කතාවේදි දකුණේ සිංහල දේශපාලන කදවුර මෙහෙය වූ එම පාපතර ක්‍රියාව මගින් දෙමළ ජනයාගේ ඉතිහාසය මකා දැමීමට ගත් තීන්දුවක් බව පැහැදිලිව පෙනේ. තිස් වසරක් ඇදී ගිය වාර්ගික යුද්ධය ඒහි ප්‍රබල ප්රකාශනයක් මිස ඉන් වියුක්ත වූවක් නොවන බව ද පැහැදිළිය. මෙම යුද්ධයේදී වඩාත් පීඩා වින්දේත්, අහිමිවීම් විදදරා ගන්නට වූයේත් උතුරු - නැගෙනහිර සිවිල් දෙමළ ජනයාටය.
දීපචෙල්වන් කියන මේ සමාජ පරිසරය මේ ලියුම්කරු ඇසුදුටු සාක්ෂිකරුවකු නිසා හොදින් තේරුම් ගතහැකිය.
රන් මිලට
ගත් පෑන
නිතර නිතර
බිම පතිත වෙයි
අකුරු කුඩාවී උතුරයි
වෙව්ලනා ඇගිලි තුඩු
අවපැහැ ගනියි
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් වර්ධනය කරන ලද අතර පසුව වෙනත් මනෝ විශ්ලේෂකයින් විසින් පුළුල් කරන ලද මනෝ විශ්ලේෂණය යනු අවිඥානක මනස අවබෝධ කර ගැනීම සහ මිනිස් හැසිරීම් සහ චින්තන ක්‍රියාවලීන් කෙරෙහි එහි බලපෑම පිළිබඳව අවධානය යොමු කරන මනෝවිද්‍යාත්මක න්‍යාය සහ චිකිත්සක ප්රවේශයකි.
මනෝ විශ්ලේෂණයේ දී, මිනිස් මනෝභාවයන් බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ අවිඥානක මට්ටමේ ය. භාෂාමය රූපක ඇතුළු සංකේත, යටපත් කරන ලද ආශාවන්, ගැටුම් හෝ මනෝවිද්‍යාත්මක ගතිකත්වයේ ප්‍රකාශන ලෙස අර්ථ දැක්විය හැක. නිදසුනක් වශයෙන්, සිරගත කිරීම හෝ පැන යාම සම්බන්ධ රූපක නිතර භාවිතා කරන පුද්ගලයෙකු සීමාවන් පිළිබඳ අවිඥානක හැඟීම් හෝ විමුක්තිය සඳහා ඇති ආශාව ප්‍රකාශ කරයි.
ෆ්‍රොයිඩ්ගේ සිහින විශ්ලේෂණය යනු භාෂාමය රූපක සහ මනෝ විශ්ලේෂණය ඡේදනය වන එක් ප්රදේශයකි. සිහින බොහෝ විට සැඟවුණු ආශාවන් හෝ නොවිසඳුණු ගැටුම් හෙළි කිරීමට අර්ථකථනය කළ හැකි සංකේත සහ රූපක අඩංගු වේ. දීප චෙල්වන් ගේ සමස්ත කාව්‍ය භාෂාව තුළ මෙබදු මනෝවිශ්ලේෂනාත්මක ප්‍රකාශන දැකිය හැකිය.
ඔහුගේ “තුවක්කු සයනයේ යෙදුනු රැයක් ” කවියේ ආරම්භය ඊට මනා නිදසුනකිත
මගේ කාමරය වටකරගත්
වෘකයන්
රාත්‍රිය සපාකෑහ
උන්ගේ උල් නියදත්වලින්
රැය ගොළුය
තුවක්කු අභියස
මගේ නිශාචර ගීතය
සුන්ව බිමවැටී තිබිණි
මගේ පෙම්බරිය තවමත්
නිවසට ගොස් නැත
දීපචෙල්වන් පියවරෙන් පියවර මෙම කවියේ පඨිත ගොඩනැංවීම තුළ ,ගැඹුරු - දකුණට බොහෝවිට නොදැණුන අනීතික භීතියක යෝධ සලකුණු අපගේ මනස් චිත්‍රයට ඇතුළත් කරයි.
වෘකයන්
මා වටකර ළං වනවිට
අත් ගැලවී
හිස වෙන් වී
සිටියෙමි මම
දීපචෙල්වන් මේ ආමන්ත්‍රණය කරන්නේ යුද්ධය නිමා කළ බවට වන මහා උජාරු කතා කියමින් දශක යකට මදක් වැඩි කාලයක් ඉක්මවන විට සමස්ත ශ්‍රී ලාංකීය සමාජයම ගොදුරු වෙමින් සිටින ඛේදවාචකයේ ආරම්භයයි. උතුරේ හිස සුන් මළ කදන් පිළිබද වාර්තාවන විට නිහඩව එය සමරමින් සිටි මහ සමාජය ඊට වන්දි ගෙවමින් සිටින බව අප තේරුම් ගැනීම වැදගත්ය.
සාරාංශයක් ලෙස, භාෂාමය රූපක සහ මනෝ විශ්ලේෂණාත්මක අර්ථකථන භාෂාව, චින්තන ක්‍රියාවලීන් සහ මානව මනෝභාවය පිළිබඳ ගවේෂණය තුළ ඔවුන්ගේ භූමිකාව හරහා අන්තර් සම්බන්ධිත වේ. භාෂාමය රූපක අවිඥානක මනසට කවුළුවක් ලෙස සේවය කළ හැකි අතර මනෝ විශ්ලේෂණයට මෙම රූපක පිටුපස ඇති ගැඹුරු අර්ථයන් අවබෝධ කර ගැනීම සඳහා රාමුවක් සැපයිය හැකිය.
කාව්‍ය සහ භාෂා රූපක මිනිස් මනස කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන අතර අපගේ හැඟීම් සහ සංජානන ගැඹුරු ආකාරවලින් හැඩගස්වයි.
කාව්‍යය බොහෝ විට සංකීර්ණ හෝ වියුක්ත සංකල්ප වඩාත් ප්‍රවේශ විය හැකි පදවලින් ප්‍රකාශ කිරීමට රූපක යොදා ගනී. මෙම රූපක සංකීර්ණ අදහස් අවබෝධ කර ගැනීම සඳහා මානසික කවුළුවක් විවරකර දෙයි.
කවියේ රූපක භාෂාව නිර්මාණාත්මක චින්තනය සහ පරිකල්පනය දිරිමත් කරයි. එය සංජානන නම්‍යශීලීභාවය සහ නවෝත්පාදනය පෝෂණය කරමින් හුරුපුරුදු දේවල් නව ආකාරවලින් බැලීමට පාඨකයන්ට ආරාධනා කරයි.කාව්‍යයේ හැඟීම් ජනිත කිරීම බොහෝවිට රූපක මත රඳා පවතී. විචිත්‍රවත් රූපකවලට ප්‍රීතිය සහ ආදරයේ සිට දුක සහ ශෝකය දක්වා පුළුල් පරාසයක හැඟීම් ඉස්මතු කළ හැකිය. ඒවා අපගේම අත්දැකීම් සමඟ අනුනාද වන අතර, කාව්‍යය චිත්තවේගීය ප්රකාශනය සහ සම්බන්ධතාවය සඳහා ප්‍රබල මාධ්‍යයක් බවට පත් කරයි.
කාව්‍යයේ අද්විතීය භාෂා භාවිතය තුළින් ලෝකය පිළිබඳ අපගේ සංජානනය වෙනස් කළ හැකිය. යථාර්ථය අනපේක්ෂිත හා කාව්‍යමය රූපකවල රාමු කිරීමෙන්, එය හුරුපුරුදු දේ නැවුම් කෝණවලින් බැලීමට අපව පොළඹවයි. මෙය එදිනෙදා ජීවිතය පිළිබඳ ගැඹුරු ඇගයීමකට තුඩු දිය හැකිය.
දීපචෙල්වන් කවිය තුළ බොහෝ විට ඉන්ද්‍රියයන්ට ආකර්ෂණය වන රූපක භාවිතා කරයි. ඔහු වචන හරහා බහු සංවේදී අත්දැකීමක් නිර්මාණය කරයි. මෙම සංවේදී පොහොසත්කම පෙළ සමඟ අපගේ බැඳීම වැඩි දියුණු කරන අතර සංවේදී මතකයන් සහ නව සබදතා පවා අවුලුවාලිය හැකිය.
ගස් උගුල්ලා
පිලිස්සූ
අළු මත
උක්කුටියෙන් සිටිමි
මුවේ රැදි සිගරට් දුම
නයෙක් සේ ඇදෙයි
දෙපා ගිලී යයි
කවිය බොහෝ විට මිනිස් මනෝභාවය සහ මිනිස් පැවැත්මේ සංකීර්ණතා ගවේෂණය කිරීමට රූපක භාවිතා කරයි. එවැනි කාව්‍ය කියවීමෙන් පාඨකයන්ට රූපක තමන්ගේ ජීවිතයට හා අත්දැකීම්වලට සම්බන්ධ කරන බැවින් ස්වයං විමර්ශනය හා ස්වයං-ආවර්ජනය කළ හැකිය. දීපචෙල්වන්ගේ කවි තුළින් අප වෙත ප්රක්ෂේපනය කරන්නේ බිදී විසිරුණු මිනිස් කම පිරියම් කළ යුතු බවය. අතීතය නිවැරදි කිරීමේ මාවත තැනීම ඇරඹිය යුතු බවය.
සංස්කෘතික අනන්‍යතාවයන් තුළ රූපක ගැඹුරින් මුල් බැස ගත හැකි අතර දීපචෙල්වන් කවියා, බොහෝ විට මෙම සංස්කෘතික රූපක අප වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා කවි බස වාහකයක් සේ යොදාගනු පෙනෙයි. මෙය සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරන අතර පුද්ගලයන්ට ඔවුන්ගේ උරුමයන් සමඟ සම්බන්ධ වීමට උපකාර කරයි.
අවසාන වශයෙන්, කවිය සහ භාෂා රූපක මිනිස් මනසට බහුවිධ බලපෑමක් ඇති කරන ප්‍රබල මෙවලම් වේ. ඔවුන් සංජානනය හැඩගස්වයි. හැඟීම් අවුළුවයි. කාව්‍යමය රූපක සහ මිනිස් මනස අතර ඇති සංකීර්ණ සියුම් කලාපය අපගේ බුද්ධිමය හා චිත්තවේගීය ජීවිතය පොහොසත් කරයි. ලෝකය සහ අප ගැන ගැඹුරු මාර්ග ගවේෂණය කිරීමට අපට ඉඩ සලසයි.
දීචෙල්වන් කියන මෙම සමාජ ව්‍යසනයේ කොටස්කරුවන් වන අප දැන් ඊට වග්කිවයුතුය. බලලොභය විසින් ඔවුන්ට අහිමිකළ , තවදුරටත් පැහැරගනිමින් සිටින මිනිස් අවශ්‍යතා සහ අයිතීන් වෙන්වෙන් මනුෂ්‍ය සමාජයක් ලෙස අවංක පෙනී සිටීමක් කළ යුතුය. දීපචෙල්වන්ගේ වචනවලින්ම පවසන්නේ නම්,
මුවා
වේගයෙන් දුවයි
මුවා ලෙස වෙස් මාරුකරගත්තවුන්
මුවාට ආශා කළෝ
ඇවිදිමින් සිටිති......
දීපචෙල්වන් ගේ කාව්‍ය සංග්‍රහය එබදු පෝෂිත කවි ගුණයෙන් යුක්ත බව කිවයුතුමය.
2023/ 10/23
මාධ්‍යවේදී අශෝක වීරසිංහ විසින් තබන ලද සටහනකි.