චූලානන්ද සමරනායකයන්ගේ සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනිණි.
කැමෙලියා- විරාජිනී තෙන්නකෝන්
‘මෙය අමතක වූ ජන කොටසකගේ කතාවකි. එය ශ්‍රී ලංකාවේ මලයග (කඳුකර) දෙමළ ජනතාව ගැනය. මලයග දෙමළ, ඉන්දියානු දෙමළ සහ උඩරට දෙමළ යන යෙදුම් වලින් හඳුනවනු ලබන්නේ කෝපි තේ සහ රබර් වතුවල වැඩ කිරීම පිණිස 19 වැනි සහ 20වැනි සියවස්වල දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලද කම්කරුවන්ගෙන් පැවතෙන දෙමළ ප්රජාවයි. ඇතැමෙක් වෙළෙන්දන් සහ වෙනත් සේවා සපයන්නන් ලෙස තමන්ම සංක්‍රමණය වූහ. ශ්‍රී ලංකාවේ කම්කරු පංතියේ වඩාත්ම පීඩාවට සූරාකෑමට සහ වෙනස්කොට සැලකීමට ලක්වන කොටස ඔවුන්ය.
මලයග දෙමළ කම්කරුවෝ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වූහ. එහෙත් ලංකාවේ අන්තගාමී ජාතිවාදීන් සහ ජාතිකවාදී වාමාංශිකයන් විසින් ඔවුන් ඉන්දියානු වයාප්තවාදයේ අතකොළුවක් ලෙස හංවඩුගසන ලදී. 1942 ජපනුන් කොළඹට බෝම්බ දැමූ විට බොහෝ ඉන්දියානු වෙළෙන්දෝ ඉන්දියාවට පලාගිය අතර සිංහල වෙළෙන්දෝ ඈත කඳුකරයට ඈත දකුණට සහ කඳුකරයට දිව ගියහ. නමුත් දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවේදී පවා මලයග දෙමළ කම්කරුවෝ නොසැලී රබර් සහ තේ වතුවල වැඩ කරමින් රටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කලහ. එහෙත අපගේ බෞද්ධ නායකයන් එයට කෘතවේදීත්වය පල කළේ 1948 ිනදහස ලබා මාස අටක් ඇතුලත එකම නීති සම්පාදනයකින් මලයග ද්‍රවිඩයන්ගේ ඡන්ද අයිතිය හා පුරවැසිභාවය අහෝසි කිරීම සහ නිෂ්ප්රභා කිරීම මගිනි.
ඉඩම් අහිමි උඩරට සිංහල ගොවි ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලූ ඊනියා උඩරට ගොවි ජන වීරයන් වූවේ බ්‍රිතාන්‍ය ඒජන්සි ආයතන වලින් බදු දී පවත්වාගෙන යන දැවැන්ත තේ වතුවල නොපෙනෙන ඉඩම් හිමියන් ලෙස ජීවත්වූ ඉඩම් කොල්කරුවන් ය. තවත් බොහෝ වීරයන් වූවේ උඩරට ගොවි ජනතාවගේ ඉඩම් ඩැහැගත් රබර් සහ පොල්වතු හිමියන්ය. එහෙත් ඉඩම් කොල්ලකරුවන් ලෙස ප්‍රචලිත වූවේ මිනිස් වාසයක් ඇති බවට ඓතිහාසික වාර්තා හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති මුහුදු මට්ටමේ සිට අඩි 3000කට වඩා ඉහල නැවුම් බිම් සහ ගන කැලෑ එළිපෙහෙලි කර තම ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව සඳහා වැවිලි කර්මාන්ත ආර්තික බෝග නිෂ්පාදනය කර රටේ පැවති පසුගාමී වැඩවසම්වාදය නූතන සමාජ පරිවර්තනයකට ලක් කළ ඉඩම් අඟලකට හෝ හිමිකමක් නොමැති මේ අහිංසක මලයග දෙමල කම්කරුවන්ය.
(ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව-1 -අමතකවූ ජනකොටසක්ද වඳවීමේ තර්ජනයට ලක්වූ ප්රජාවක්ද- බී ඒ කාදර්- සිංහල පරිවර්තනය සරත් අතුකෝරාළ)
විරාජිනී ගේ නවතම නිර්මාණය කැමෙලියා කියවන්නට ගත් අවස්ථාවේදී මගේ සිතට නැගුණේ කාදර් සහෝදරයාගේ ඉහත කෘතියයි. මෙ කම්කරුවන්ගේ ජීවිත වෙනස් කිරීම උදෙසා සිය දිවියෙන් විශාල කාලයක් අරගල කළ කම්කරුනායකයකු මෙන්ම දේශපාලකයකුද වන කාදර් මේ කෘතිය රචනා කරන්නට ගත්තේ අප අසූව දශකයේ එකට සිර කුටි බෙදාගෙන සිටි අවධියේ බව මට මතකය. විරාජිනී නවකතාකාරියක සේ මේ මිනිසුන්ගේ ජීවිතය වෙත වෙනම කවුළුවකින් ආලෝකය විහිදුවන්නීය.
කඳුකරයේ වතුවගාවේ ආරම්භයේදී ලංකාවට වහල් මෙහෙය උදෙසා ගෙන එන ලද මේ මිනිස් සමූහය ගැන අප රටේ පරසිදු කතන්දරයක් වන්නේ ලංකාවේ ගස් යටත් උම්බලකඩ තිබෙනවා කියා රවටා ඔවුන් ගෙන ආ බවයි. මිනිසුන් ලෙස ජීවත්වූ දැඩි ආර්ථික අසීරුකම් මත මේ මිනිස් කණ්ඩායම වෙනත් රටක තම ජීවිතය උරගා බලන්නට කැමති වූ බව නිසැකය. එහෙත් ඒ මිනිසුන්ට තම ශ්‍රමය වගුරන්නට වූ දරුණු පසුබිම කිසි දවසක හෝ නිසි තක්සේරුවකට ලක්වී නැතුවා පමණක් නොව අදටත් ඔවුන් සැලකෙනුයේ පිටස්තරයන් නැතිනම් කරදරකාරයන් ලෙසිනි. එසේම තවත් අතෙකින් ඔවුන් සැලකෙනුයේ උතුරේ මෙන්ම දකුනේද මෙහෙකාර සේවයට සැපයෙන ශ්‍රමිකයන් ලෙසිනි.
මේ එක් පැත්තකි. එහි අනෙක් පැත්ත වනුයේ වතු වගාව පිණිස පැමිණි මුල් විදේශික පරම්පරාවයි. රන් පවුමකට අක්කරය බැගින් ගෙන වතු වැවිලි පිණිස මෙහි ආ විදේශික ආයෝජකයන්ගේ කතාවය. එක් පසෙක කම්කරු ජනයා අන්ත දුෂ්කර තත්වයන් යටතේ වහල් මෙහෙයක නියැලෙද්දී ඔවුන්ගේ හිමිකරුවන්ගේ ජීවිතද මුල් කාලයේ සරු වූවාද යන්න ගැඹුරින් විමසිය යුත්තකි. නුවර දළදා මාලිගාවට උඩින් ඇති පැරණි සුසානයේ මිහිදන් කර ඇති විදේශිකයන්ගේ වයස්, අතැම් තැනෙක පවුල් පිටින් මිහිදන් කර ඇති ආකාරය බලන විට මේ කතාව අප මතුපිටින් බලනා තරම් සරල නැති බව පෙනී යයි.
විරාජිනී සිය නවකතාවට විෂය කරගනුයේ මේ වතුවැවිලි ආරම්භයේ දෙවන පරම්පරාවේ පුවතින් බිඳකි. තම ජන්මයෙහි ඇති කැලැල් වලින් පීඩා විඳින තරුණයෙක් තම මුල් සොයා යන අසාර්ථක තැතක් අවසන ශ්‍රම සූරාකන්නෙකුගේ භූමිකාවට අවතීර්ණ වන ආකාරයත් ඔහු හා විවාහ වී තම ජීවිතයේ වෙනත් ඉසවුවකට පිය මනිනා තරුණියක අපේක්ෂා භංගත්වය හමුවේ ජීවිතයෙහි අර්ථය සොයා ගන්නා අකාරයත් ඒ සියල්ල මැද ලාංකීය ආර්ථිකයේ විසල් වහල් හමුදාව බවට පත් දෙමළ කම්කරුවන්ගේ කටුක දිවි පුවතත් මෙහිලා ඉදිරිපත් කෙරෙයි. තේ- කැමෙලියා යන යෙදුම මගින් ඇය නිරූපණය කරනුයේ මේ සමස්ත ඉතිහාසයම ය. මේ වතු වැවිලි ආශ්රිත දිවියෙහි සමාජ සංස්කෘතික ආර්ථික මෙන්ම දේශපාලනික විපරිණාමය ඇය නවකතාවක් හරහා යළි සටහන් කරනුයේ මලයග කම්කරුවන් තම අනන්‍යතාව ඉල්ලා අලුතින් අරගලයකට බැස සිටිනා වකවානුවක වීම බෙහෙවින් වැදගත්ය. සිය ජීවිතයේ සුඛ විහරණය උදෙසා තමන් වෙනුවෙන් දහදිය වගුරන කම්කරුවා භාන්ඩයක් සේ පාවිච්චි කරන වතුහිමියා මෙන්ම ඔහුගේ සපත්තුවට පෑගී සබුක්කුවේ පහර කමින් තම ජීවිතය දිය කර හරිනා කම්කරුවා යන දෙපාර්ශවයම හාම්පුතා වහලා සම්බන්ධය අතරම පොදු ඛේදයක ගොදුරු බවට පත්වන ආකාරයද එහිදී දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරයද විරාජිනී ගේ කෘතියෙහි අපට හමුවෙයි. ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම මෙන්ම එහිදී වතු කම්කරුවන්ගේ ජීවිත ඊනියා කම්කරු නායකයන්ය කියනා තවත් සූරාකන්නන් පිරිසකගේ ග්‍රහණයට නතුවන ආකාරයද විරාජිනී මෙහිදී අපූරුවට මතුකර දක්වන්නීය.
විරාජිනී සිය නවකතාවෙහිදී වතු කම්කරුවන් මේ වහල් දිවියට කෙතරම් තදින් සහ අනුකම්පා විරහිත ලෙස බැඳ ඇත්තේද යන්න ගෙනහැර පෑමට භාවිතා කරනුයේ අපූර්ව සංකේතාත්මක බසකි. ඇය මෙහිදී නිර්මාණය කරනුයේ සිය පිට බැඳි තේ කූඩයෙන් එක මොහොතකට හෝ වියො විය නොහැකි, එසේ වියොවීම පිලිකෙව් කරනා කතකි.
‘අම්බිගා කෙතරම් කාර්යශූර දක්ෂ ගැහැනියක වුවද ඇයගේ පිට බැඳි තේ කූඩය ඇය කිසිම විටෙක ඉවත් නොකිරීම මෙවැනි කාර්යබහුල අවස්ථාවක මහත් හිරිහැරයක් විය. ඇය උඩුකය වසාගත් රෙදි කැබැල්ල එල්ලා ගත්තේද නෑවේද නිදාගත්තේද ඇගේ ශරීරයේ එල්ලුණු කූඩය සමගය. එය ඇතැම් විට වෙනත් බඩු භාණ්ඩ මත වීදුරු කෝප්ප මත ගැටෙමින් වැටෙමින් ඒවා බිඳදැම්මේය. ඇනීටා කෙතරම් බයාදු ලෙස ඉල්ලා සිටියද පසුව අවසානයේ පිහියක් බෙල්ලට තබා තර්ජනය කර සිටියද ඇය එම කූඩය සිය ශරීරයෙන් ඉවත් කිරීමට මැලි වූයේ ඇගේ බෙල්ල කපා දැමීම එයට වඩා හොඳ බව නොකියා කියමිනි. ඈ අවංක යටහත්භාවයකින් කියා සිටියේ මේක නැතිවුනොත් මං මැරෙයි නෝනා කියාය.
(පිටුව 69)
විරාජිනී ගෙ මේ නවකතාව කෙරේ පාඨකයා ඇද බැඳ තැබීමට බෙහෙවින් ඉවහල් වන එක් සාධකයක් වනුයේ ඇය භාවිතා කරනා රචනා විලාශයයි. මාර්කේසියානු භාෂා විලාශයට බෙහෙවින් ආශක්ත බසකින් ඇය තම කතන්දරය දිගහරින්නී තරමක් දිගු එහෙත් සම්බන්ධය බිඳ නොගන්නා වාක්‍ය රටා ඔස්සේ පාඨකයාට ආශ්වාදජනක කියවීමකට ඉඩ සලසා දෙන්නීය. මනුෂ්‍ය කොට්ඨාශයන් දෙකක අපේක්ෂාවන්, ජීවන අරගලය, ඔවුන්ගේ ජීවන අරමුනු හැඩගැසෙන ආකාරය, තමනට මුහුන දෙන්නට වන අභියෝග හමුවේ ඔවුන් වෙන් වෙන්ව ක්‍රියා කරන ආකාරය මෙන්ම ඊට පසුබිම් වන තත්වයන් විරාජිනී ගේ නොමද අවධානයට ලක්වෙයි. එහෙත් මෙය ඉතිහාස නවකතාවක් ඉක්මවා ගිය මනුෂ්‍ය ජීවිත විවරණයක් බවට හැරවීමට ඇය සමත් වන අතරම අභ්‍යන්තරයේ දිවෙනා දේශපාලන හුයක්ද ඇය සාර්ථකව මෙහි සම්බන්ධ කරයි. එහෙයින්ම එය ලංකාවේ වතු වැවිලි කර්මාන්තයේ එක් යුගයක විකාශනය මෙන්ම රටෙහි දේශපාලන ආර්ථික වියවුල් හී පැතිකඩක්ද විමසුමට ලක් කරන්නක් බවට පත්වෙයි.
කෙසේ වෙතත් විරාජිනී ඇතැම් තැනෙකදී සිය කතාවේ ගලා යාමෙහි ඇති රිද්මය බිඳ ගන්නා බවක්ද දක්නට ලැබෙයි. 91 පිටුවෙන් පටන් ගන්නා කොටස ඊට සාක්ෂියකි. එතෙක් දුර ඇය ඉතා කදිමට හසුරුවනා භාෂා රිද්මය මෙහිදී බිඳී යයි. ඇය යළි තම පුරුදු රිද්මයට ආවද තවත් තැනකදී එය බිඳී යයි. එහෙත් මේ කතාවෙහි ඇති ආකර්ශණීය බව හේතුවෙන් පාඨකයා ඉන් බැහැර නොවී දිගටම කෘතිය හා බැඳෙන බවද කිව යුතුය. විරාජිනී විසින් තෝරා ගන්නා ලද රිද්මය ඇයටම අභියෝගයක් වන නමුදු ඇය සමස්තයක් වශයෙන් ගත් කළ සිය කෘතිය සාර්ථක නිර්මාණයක් බවට හරවන්නට සමත් වන්නීය.
කෙනකු හට මෙය ඇනීටාගේ කතාව නැතිනම් ඇගේ අරගලය ලෙස ගත හැකිය. තවත් අයෙකුට එය ජෙෆ්රිගේ කතාව ලෙසද කියවිය හැකිය. නැතිනම් එය අම්බිගාලාගේ කතාව ලෙසද කියවිය හැකිය. එහෙත් වැදගත් වනුයේ කවර කවුළුවකින් පිවිසුනද කතාවෙහි සමස්තය ග්‍රහණය කරගැනීමය. පාඨකයා ඊට සමත් නම් ඔහුට අපූර්ව නවකතාවක් හරහා ලංකා ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයක සංකීර්ණ සිතුවම මෙන්ම මනුෂ්‍යත්වයේ සංවේදී සිතුවමද දකින්නට ලැබෙනු ඇත.