ශිරන්ජිත් නිශාන්ත ගම්මඩුවගේ ෆේස්බුක් සටහනකි.
‘ලස්ට්‘ (රාගය) කියන්නේ ලිංගිකය වෙනුවෙන් අපට ඇතිවන මහත් ආශාව නැත්නම් රුචිය. ඒ වගේම තමයි ‘ලස්ට්‘ (රාගය) කියන හැඟීම ලිංගිකමය නොවන දේකටත්, වාහනයකට, තනතුරකට වාගේ වුණත් අපිට ඇතිවෙන්න පුළුවන්. අනිත් දේ තමයි ‘ලස්ට්‘ එකක් කියන්නේ අපි නිතරම හඹා යන දෙයක්. සංවේදනයක් විදියට ඉෂ්ඨ සිද්ධ කරගැනීමේ අභිලාෂය ඇතිව ඉඩක් ලැබුණු හැම විටම තෘප්ත කරගැනීමට ඇති උවමනාවක්. ඉතින් ‘ලස්ට්‘ එක ඇතුළේ ශෘංගාරය (ලිංගිකය) නොතිබෙන්නත් පුළුවන්. නැත්නම් ලස්ට් එක හරහා යනකොට ශෘංගාරය (ලිංගිකය) එහි අනිවාර්ය කොටසක් විදියට මුණගැසෙන්නත් පුළුවන්. ‘ලස්ට් ස්ටෝරීස් 2‘ කියන්නේ එහි පළමු චිත්‍රපටිය වගේම සිනමා කතා ඇන්තොලොජියක් (anthology). අපි දන්නවා ඇන්තොලොජි සිනමාවේ දී කිසියම් පොදු තේමාවක ඉඳල සිනමා කතා කිහිපයක් සෙග්මන්ට්ස් හැටියට ඉදිරිපත් කරනවා. ‘ලස්ට් ස්ටෝරීස් 2‘ සෙග්මන්ට්ස් හතරේ ම තියෙන්නේ මම ඔය මුලින් කිව්ව ‘ලස්ට්‘ එක සොයා යෑමේ ගමනයි.
සෙග්මන්ට්ස් හතරෙන් හොඳම සහ ප්‍රබලම නිර්මාණය තමයි කන්කොනා සෙන් ෂර්මා ගේ (Konkona Sen Sharma) ‘ද මිරර්‘. යටපත් කළ ලිංගික ජීවිතයත්, මානසික ආතතියත් හිස මත දරාගත් ‘ඉෂිතා‘ මෙම ජීවිත ආතතිය සමනය කරගැනීමට පොටක් පාදා ගන්නවා. ඒක තමයි ඇය ගේ නිවසේ දී ඇය මුහුණ දෙන අහඹු අවස්ථාවක් නැරඹුම්කාමී (Voyeuristic) සංවේදනයකට හරවා ගැනීම. මෙයට හේතු වන්නේ දිනක් රැකියාව නිම වී වේලාසනින් නිවස පැමිණෙන ඉෂිතාව විස්මයට පත් කරන සිදුවීමක්. නිවසේ සේවිකාව වන ‘සීමා‘ ඉෂිතා ගේ සයනය මත පිරිමියෙකු සමඟ රති මිහිර විඳිමින් සිටිනවා. මෙය දුටු මතින් ඉෂිතාව ඉතා අපහසුතාවයට පත්වුණත් ඇය ගේ යටපත් රාගී සංවේදනයන් අවදිවීම ඇයට වළක්වා ගැනීමට බැරි වෙනවා. තම සේවිකාව නෙරපා දැමීම වෙනුවට ඉෂිතා පෙළඹෙන්නේ හොරෙන් ඔවුන් ගේ රති ක්‍රියාව නැරඹීමට යි. මෙය දිනපතා සිදුවන අතර ඉෂිතා ද තම නැරඹුම්කාමී රාගී අශාව පුරුද්දක් ලෙස මේ හරහා වර්ධනය කරගන්නවා. ඉෂිතාගේ රහස් පුරුද්ද ගැන ඉව වැටෙන සේවිකාව වරදකාරී හැඟීමෙන් මිදී මෙම ලිංගික හැසිරීම ඉෂිතාට පෙනීමට සලස්වමින් ඇය ද එයින් ප්රදර්ශනකාමී (Exhibitionistic) සංවේදනයක් ලබනවා. ඉෂිතා නැරඹීමෙන් ආශාව තෘප්ත කරගන්නවා. සේවිකාව නැරඹීමට සැළැස්වීමෙන්, පෙන්වීමෙන් ආශාව තෘප්ත කර ගන්නවා. දෙදෙනාම එකිනෙකාට සත්‍යය වසන් කරන අතර දෙදෙනාම තම සමාජ තත්ත්වයත් පන්ති පරතරයත් ස්වාමි/සේවක සම්බන්ධයත් තියාගනිමින් මේ හරහා ඇති වන රාගය ලුහු බඳිනවා. නමුත් දිනක් මෙම රහස්‍යභාවය බිඳී යෑමෙන් දෙදෙනාම විරසක වීම ඇතිවන්නේ ඉෂිතා තම ස්වාමි බලය (Employer) පාවිච්චි කොට සේවිකාව නිවසින් පළවා හැරීමෙන්. සේවිකාව මෙපමණ කලක් එකතු වී ඇත්තේ ඇයගේම සැමියාව අනවසරයෙන් ඉෂිතාගේ නිවසට ගෙන්වාගෙන බව දැන් අප දැනගන්නවා. ටික දිනකට පසු සේවිකාව සමඟ නැවත සුහද වන ඉෂිතා ඇයගේ නිවසේ රැකියාවද සේවිකාවට නැවත ලබාදෙන්නේ දෙදෙනාගේම රාගී හුරු පුරුද්ද වන නැරඹුම්කාමයට සහ ප්‍රදර්ශනකාමයට (Voyeurism/Exhibitionism) නැවත ඉඩක් ආරම්භයක් ලැබෙන බවට ඉඟියක්ද ලබා දෙමින්.
මෙය හුදු රාගය ගැන කතාවක් නොවේ. එකිනෙකා ගැන ඇති හැඟීමෙත් සමාජ සංස්කෘතික අවබෝධයෙත් නොපෙණෙන ගැටුමක මිනිස් විවරණයකි. රාගය යනු ආශාව හඹායෑම නම් එය කුමන මොහොතක කුමන ආකාරයකින් මුණ ගැසේදැ යි අප නොදනී. එය කුමන ආකාරයකින් මුණ ගැසුණත් ඒ හැම ආකාරයකටම සුවිශේෂී වූ ශරීර මානසික භාෂාවක් ද මිනිස් සිත් සතන් තුළත් සංවේදනයන් තුළත් තිබීම විශ්මයකි. සරාගයත්, වරදකාරීත්වයත්, ස්ව අහංකාරයත් අතර සියුම් චිත්තාවේග මනාව හසුරුවමින් නරඹන්නාට අමතක නොවන රංගනයක් තිලෝතමා ෂොම් (Tillotama Shome) විසින් ඉෂිතා ගේ චරිතයට දෙනවා. සිනමාත්මක රූප රචනය තේමාවට හිමි රහස්‍යභාවය ඉස්මතු කොට පෙන්වීමට උත්සහ කරනවා. ඉෂිතා ගේ නිවසේ ඇති කැඩපත (Mirror) එම චරිතයේ ම ප්‍රබල රූපමය සංකේතය යි. ඇය වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිණියෙකි. රූපය දැකීම රූපය විඳීම අයට නුපුරුදු දෙයක් නොවේ. ඉෂිතා ඇය තුළ සිටින ආශාව ලුහුබඳින ගැහැණිය දකින්නේ තමන්ගේ ම කැඩපත හරහා යි. සේවිකාව ද ඇය තුළ සිටින ආශාව ලුහුබඳින ගැහැණිය දකින්නේ ඉෂිතා ගේ කැඩපත හරහා යි. තවත් ලෙසකට මිරරින් (Mirroring) නමැති මනෝ විද්‍යාත්මක අදහස ද මෙහි තියෙනවා. තමන් ඉදිරියේ ඇති කැඩපතින් දකින ‘ගැහැණිය‘ හා ආශාවෙන් සමපාත වීමට, අනුකරණය කිරීමට ඇතිවන පෙළඹවීම මිරරින් හරහා සිදුවෙනවා. ‘ලස්ට් ස්ටෝරීස් 2‘ සෙග්මන්ට්ස් හතරෙන් මෙය අධ්‍යක්ෂණය කොට ඇත්තේ කන්කොනා සෙන් ෂර්මාය (Konkona Sen Sharma). අනෙක් හතරම අධ්‍යක්ෂණය කරන්නේ පිරිමි අධ්‍යක්ෂකවරු විසින්. ‘ද මිරර්‘ රූපයෙන්, කතා තේමාවෙන්, රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ඉතා ඉදිරියෙන් තියෙනවා.