කලකට ඉහත උඩරට ගමක, දිළිඳු ගැමියෙක් සිය නිවසේ පිල මත ඇන තියාගෙන සුවඳ හමන පැණි වරකා ගෙඩියක් මදුළු කරමින් සිටියේය.
ඒ මොහොතේ, ඉදිරිපස ගුරු පාරේ වංශවතෙක් ගමන් කරමින් සිටිනු දුටු සැමියා, ඔහුට ඇසෙන සේ, මෙසේ කීවේය.
“නිලමේ, වර-කා”
ගැමියා, වර-කා යන්න උච්චාරණය කළ විදිහ නිලමේට දිරෙව්වේ නැත. ඔහු, ආපසු නොහැරීම “මට බෑ. තෝ කා” කියමින් යන්නට ගියේය.
ගැමියන්ගේ මුවග පවතින, සියුම්, නිරායාස, උපහාසය එසේය. අර ගැමියා, නිලමේට, “වරෙන් - කාපන්” යැයි කීවේ නොදැනෙන්නටය.
මේ දවස්වල, නිතර ඇසෙන්නේ, “වරෙන්, කාපන් බුරියානි” යන කාරුණික ඉල්ලීමය. ඒ, ජනපති අපේක්ෂක දානපතියන් රැස්වන තැන්වලය. එහෙත්, ‘පුදනකොටම කාපි යකා’ කිව්වාක් මෙන්, ඒ තැන්වලට මැතිවරණ බලධාරිහු පැන, බුරියානි හට්ටි පිටින් ඔසවාගෙන යති. බුරියානි කන්නට පෙළගැසුණු උන්ට හුළංය!
නීතිය කෙසේ වෙතත්, මේ බුරියානි මෙහෙයුමේ, දුක හිතෙන පැත්තක් ද තිබේ. මේ දවස්වල සාමාන්‍ය මිනිස්සු, බුරියානි තබා, රයිස් ඇන්ඩ් කරියක්වත් කන්නේ, කෑ යුතු නිසාය. එහෙව් එකේ, නිකං ලැබෙන්නට ගිය බුරියානියටත්, හෙනහුරා ගැහීම, කැත වැඩකි.
තවත් පැත්තකින් බලන කල, නිකං බුරියානි කෑමට ලැබෙන්නේ, ඡන්දයකට කලින් පමණි. ඒවා දෙන එකා දිනුවත්, පැරදුණත් ඉන්පසු, ඡන්දය දුන් එකාට කැඳ උගුරක්වත් දෙන්නට, පැත්ත පළාතේ එන්නේ නැත. මේ නිසා, ඡන්ද සමයේ දී, ජනතාවට ලැබෙන නිකං බුරියානියට හරස් වීම, නීතිගරුක පුරවැසියනට පවා අනුමත කළ නොහැකි, අමානුෂික ක්‍රියාවක් සේ පෙනී යයි.
මීට කලකට ඉහත, ජනාධිපති මන්දිරයේ පවා, ඡන්ද දන්සල් පැවැත්වුණි. ඒවාට සහභාගි වූයේ, දුගී මගී යාචකයන් නොව, ආරාධිතයන්ය. වෘත්තිකයන්, රජයේ නිලධාරීන් හා කලාකරුවෝ ද ඒ අතර වූහ. ඒ දන්සල්වල, බුරියානි වෙනුවට, තිබුණේ ආප්ප සහ කොත්තුය. නමවත් නොදන්නා රට බීම පානය කළ සමහරු හිස් බෝතල් ද රැගෙන ගියේ, “සුවනියර්” වශයෙනි.
බංකොලොත්භාවයේ හතර විලි ලැජ්ජාව, අයි.එම්.එෆ්. අයියලාට පින් සිද්ද වෙන්නට, වසං කරගත් මේ දිළිඳු දූපතේ, හරිහමං තුන්වේලකට සරිලන ආදායමක් නැති මිනිසුනට, කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීම, බැලූ බැල්මට පින් අතේ වැඩකි. එහෙත්, ඒ නිකං බුරියානි හෝ පින් ආප්ප කා, කතිරය ද ගයා, ටික කලක් යන විට, අර මිනිසුන්ට හිතෙන්නේ වහ කෑවා නං, ඊට හොඳ බවය. දිගටම සිදුවුණේ මේ ටිකමය. නිකං දුන් දේ කෑවාට වඩා සිදුවී ඇත්තේ, ඉල්ලන් කෑමකි. මොණර මාළු කියා, කා ඇත්තේ කබර මාළුය.
අපේ මිනිස්සු, කවදත් හැරුණේ ළඟ වාසියටය. කන්ට හිතුණාම කබරගොයාත් තලගොයා කර ගන්නේ ඒ නිසාය.
පැරණි ගමක සිටි, මිතුරන් දෙදෙනෙක්, අතමිට හිඟ දිනයක, දුමේ තිබූ සහල් කුඩු මුට්ටිය ගෙන, ඉන් කෑමක් සාදාගෙන, කුස පුරවා ගත්හ. පසු කලකදි ඔවුන්ට සරු කාලයක් උදා වුණි. එහෙත්, මිතුරන් දෙදෙනා, ඔවුනොවුන්ගේ කිසියම් වැඩක් කර ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉටු නොකළොත්, එදා කුඩු කෑ විත්තිය හෙළි කරනවා යැයි තර්ජනය කරන්නට වූහ.
සිරි ලංකාවේ ඡන්දදායකයෝ ද එසේය. ඡන්දය දී කලකට පසු, දත කට පියාගෙන සිටින්නේ, කුඩු කෑ රහස හෙළි වේ යැයි බියෙන් මෙනි. කඩුව ගිලපු එකාටත් වෙන්නේ ඒ ටිකමය. මුළුමනින් ගිලගන්නටත් බැරිය. වමාරන්නටත් බැරිය. දිරවන්නටත් බැරිය.
විධුර ජාතකයේ ද, කඩු ගිලීමක් ගැන මෙසේ කියැවෙයි.
නඩුව එක ලෙසට නැතුවාද මේ රට
වඩුව ගන්ට තිබුවා ඔට්ටුවට රට
කඩුව ගිලපු ලෙස මුණි ඒ කුරු රජුට
නඩුව කියන්නට යන් පණ්ඩිත ළඟට
ඒ කාලේ මෙන් නොව, මේ කාලේ නඩු කියන්නට, නඩු අසන්නට, විධුර පඬිවරු නැත. අති පඬිවරු නම් ඕනෑ තරම්ය. එහෙත් ඒ කිසිවකුට, ඒ දණ්ඩේ යා නොහැකිය. එසේ නම් වැල් පාලම ගැන කවර කතාද?
ඉන්දියාවේ, ප්‍රතිභා කරන් ප්‍රකටව ඇත්තේ ආහාර සංස්කෘතිය ගැන පර්‌යේෂණ කරමින් පොත් ලියන්නියක වශයෙනි. ඇය ලියූ ‘බිරියානි’ නමැති ග්‍රන්ථය, මහත් සේ ජනප්‍රිය විය. අප නොදත් විස්තර රැසක් එහි කියැවෙයි. බුරියානි වර්ග රාශියක නම් හා ඒවා පිළියෙළ කරන ආකාරය ඇය සඳහන් කරයි. එහෙත්, සිරි ලංකාවේ “ඉලෙක්ෂන් බුරියානි” ගැන එහි කිසිත් ලියා නැත. ඒ නිසා, එහි දෙවැනි මුද්‍රණයක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා, මෙම කොලමේ ඉංග්‍රීසි පරිවර්තනයක්, ප්‍රතිභා මහත්මිය වෙත යැවීමට අදහස් කරමි.
ඡන්දයත් සමඟම, කතාබහට ලක්වූ තවත් කෑමක් වූයේ රොටීය. වෙනසකට ඇත්තේ, රොටී කන්නේ ජනතාව නොව, ඡන්ද අපේක්ෂකයන් වීමය. රජ ගෙදරින් ආප්ප කෑ ඇහින්දාස් කෙනෙක්, රජකමටම පත් වූ හැටි සිහිවන විට, ගමේ කඩේක රොටී කන උන්දැලාටත් කලක් යාවි යැයි සිතිය නොහැකිද?
අවසාන වශයෙන් කිව යුත්තේ, බුරියානි සහ වෙනත් කෑම, බුෆේ සංග්‍රහ හා මත්පැන් සාද කෙරෙහි ඇති මැතිවරණ නීති ලිහිල් කළ යුතු බවය. කන බුරියානියක් කාපල්ලා යැයි පසෙකට බලා සිටිය යුතුය. ඊට හේතුව මේ දූපතේ වැඩි දෙනාට නිකං බුරියානියක් කෑමට ලැබෙන්නේ මැතිවරණ කාලයටම පමණක් වන බැවිනි. සද් ගුණවත්, සුපින්වත්, ජනපති අපේක්ෂකයන්ට නම් දිනුවත් බුරියානිය. පැරදුණත් බුරියානිය.
කපිල කුමාර කාලිංග - 'හීසරය' (දේශය පුවත්පත - හරබර)