ප්රවීණ කෙටි/ වාර්තා චිත්රපට අධ්යක්ෂකවරියක් වන අනෝමා රාජකරුණා නිර්මාණය කළ ටෙලි චිත්රපටයක් මෙය. 2007 වසරේදී මෙය නිර්මාණය කර ඇත්තේ එවකට පලාත් පාලනය තුල 25% ක කාන්තා නියෝජනය තහවුරු කර ගැනීමේ අරමුණෙන්. මෙය නිෂ්පාදනය කරන්නේ ජාතික කාන්තා කමිටුව : ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්යංශය විසින්. ශ්රී ලංකාව ලෝකයේ ප්රථම අගමැතියණිය බිහි කරත් වර්තමානය වන තෙක්ම දේශපාලනයට සම්බන්ද වන කාන්තාවන්ගේ දායකත්වය තිබුනේ ඉතා අවම තැනක. මීට දින දෙකකට පැවතුනු ශ්රී ලාංකීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමයි ලංකාවේ වැඩිම කාන්තා නියෝජනයන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. එය සමස්තයක් වශයෙන් තවත් දීර්ග වශයෙන් වර්ධනය විය යුත්තක් වූවත්, මෙය ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තා නියෝජනයන් තුල දුටු සැලකිය යුතු වර්ධනයක්. නමුත් අදටත් වලංගු මෙහි පසුපස තිබෙන ගැටළුව ඒ ආකාරයෙන්ම තිබෙනවා.ඒ " ශ්රී ලාංකීය දේශපාලනයට කාන්තාවන් සම්බන්ද නොවන්නේ ඇයිද " යන ප්රශ්නය. එයට පිළිතුර අනෝමා රාජකරුණා අධ්යක්ෂණය කළ හෙට අලුත් දවසක් කියන මේ ටෙලි චිත්රපටයේ ඇතුලත් වනවා.
පුවත්
පළාත් සභා මන්ත්‍රිනියක වීම අගෞරවයක්දැයි කියන චිත්‍රපටය
හෙට අලුත් දවසක්!
කතාව ගොඩනැගෙන්නේ ඈත ගමක ගුරු සේවයේ නියැලෙන පියවතී වික්රමනායක කියන චරිතය වටා. ඇය ජීවත් වන ගමේ ඇයට පෙර කිසිදු කාන්තා අපේක්ෂකයෙක් පලාත් සබා ඡන්දය වෙත ඉදිරිපත්වී නැත. පියවතී යනු ගුරුවරියක් වශයෙන් ගම තුල ඉතා ගෞරවාන්විත නමක් දිනාගත් කාන්තාවක්. ඇයගේ එම ගෞරවාන්විත ප්රතිරූපය අභියෝගයට ලක්වන්නේ පලාත් සභාව වෙනුවෙන් තරඟ වැදීමට ගත් මොහොතේ පටන්. පියවතීගේ චේතනාව කෙතරම් පිරිසිදු වුනත් ඇයට ගැටෙන්නට සිද්ද වෙන්නේ ජරා ජීර්ණ වුනු සමාජ දේශපාලනික පසුබිමක. මෙහි ඇය මුහුණපාන දැවැන්තම අභියෝගය වන්නේ පොළොවේ පවතින පිරිමි දේශපාලන සංස්කෘතියේ ඇති පසුගාමි ආකල්පයන්ය. ඇය ගැහැනියක් වශයෙන් දේශපාලනයට නුසුදුසු බව ඇතැමුන් මුහුණටම පවසනවා. ඇතැමුන් මඩ ගැසීමට පියවතීගේ අවිවාහක බවද ප්රශ්නාර්ථයට නගනවා. "පවුලක් පන්සලක් නොවිච්ච ගැහැනියෙක් කොහොමද රටක් පාලනය කරන්නේ " කියන අතිශය පසුගාමී අදහස් අපේ ඇතැම් පිරිමි දේශපාලකයින්ද කාන්තාවන්ට විරුද්දව භාවිතා කරන ආකාරය පහුගිය කාල තුල අපද දුටුවා. මේ ටෙලි චිත්රපටයේ පියවතීගේ කතාවද ඒ සියල්ලකගේ මිශ්රයක්. ලාංකීය දේශපාලනය තුල කාන්තාවක් වීම නිසා මුහුණපෑමට සිද්ද වන අභියෝගයන් සම්බන්දව මනා ඉදිරිපත් කිරීමක් මේ නිර්මාණය තුල තිබෙනවා.
මේ ටෙලි චිත්රපටයේ පියවතී වික්රමනායකගේ චරිතය රඟ දක්වන්නේ රත්නා ලාලනී ජයකොඩි. ඇයගේ මීට පෙර කිසි නොදැකපු ආරයේ චරිතයක් මෙය. ඇය මේ චරිතය ඉතා අපූරුවට රඟ දක්වනවා. මෙහි අනිකුත් උප ප්රධාන චරිත රඟ දක්වන සුජානි මේනකා, ජගත් මනුවර්ණ සහ ප්රියංකර රත්නායකද හොඳ රඟපෑම් ඉදිරිපත් කරනවා. ලාංකීය සිනමාවේ විශිෂ්ටතම තිර රචකයෙක් සහ අධ්යක්ෂකවරයෙක් වන තිස්ස අබේසේකරද මෙහි ආරාධිත රංගනයක් ඉදිරිපත් කරනවා. මෙය ඔහුගේ අවසාන තිර රංගනයක් ලෙසද සැලකෙනවා. මීට අමතරව අද ජීවමාන නොවන රෙබෙකා නිර්මලී, චන්ද්ර කළුආරච්චි සහ සම්පත් තෙන්නකෝන්ද මෙහි රංගනයෙන් දායක වනවා.
පියවතී එක තැනක කියනවා " අපේ රටේ කාන්තාවන්ට ඡන්දේ ඉල්ලන්න ඉඩක් ලැබුනා නම් ඉඩ ලැබුනේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ එහෙමත් නැත්තම් පියාගේ අඩුව පුරවන්න. මිනිස්සු ඡන්දේ දුන්නේ අනුකම්පාවට. අනුකම්පාවට තිත තියන්න කාලේ ඇවිත් ". අන්තිම පින්තූරේ ඉන්නේ පියවතී කියූ වෙනස සැබවින්ම කරපු කාන්තාවක්.
Agenda 14 යූටියුබ් චැනලය ඔස්සේ මෙය ඔබට නරඹන්න පුළුවන්.
රමිත විමුක්ති - සිනෙමායා Entertainment
-
Category
පුවත් -
Hits
117 times