ජාත්‍යන්තර සම්මාන ලැබූ ඉරාන සිනමාකරුවෙකු වන Jafer Panhai (ජෆාර් පනාහි ) හට එරට අධිකරණයක් විසින් වසරක සිර දඩුවමක් සහ සංචාරක තහනමක් පනවා තිබෙනවා.
ඉරාන දේශපාලන ක්‍රමයට එරෙහිව ප්‍රචාරණය කල බවට චෝදනා කරමිනුයි ඔහුට මෙම දඩුවම පැනවීමට කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ පනාහි සිට ඇත්තේ ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ වන අතර, පසුගියදා ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රධාන සම්මාන උළෙලක් වන "Gotham Awards" සඳහා සහභාගී වීමට ඔහු මෙලෙස ඇමරිකාවට පැමිණ තිබුණා.
එමෙන්ම සම්මාන උළෙලේදී ඔහුගේ "It Was Just an Accident" චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් උනා.
2025 " Gotham Awards" සම්මාන උළෙලේදී Jafer Panhai ගේ "It Was Just an Accident" චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ත්‍රිත්වයක් හිමිවිය.
ජෆාර් පනාහිගේ සිනමාකරණ කටයුතු රාජ්‍ය තහනමකට ලක්ව තිබියදීත්, ඉරානය තුළ රහසිගතව රූගත කරන ලද මෙම චිත්‍රපටය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපට කාණ්ඩය සඳහා ප්‍රංශයේ නිල ඉදිරිපත් කිරීම ලෙසද තෝරාගෙන තිබෙනවා.
ද ගාර්ඩියන් පුවත්පතට අනුව, ඉරාන බලධාරීන් සමඟ වසර ගණනාවක් පැවති නොසන්සුන්තාවයෙන් පසුව පනාහි හට මෙම සිර දඬුවම හිමි තිබෙන පව පැවසෙනවා. ඔහුගේ නීතිඥවරයා අධිකරණයේ තීන්දුව තහවුරු කළ අතර, එයින් සිරගත කිරීමක් සහ ඔහුට සංචාරය කිරීමේ හැකියාව සීමා කිරීමක් සිදු කරයි. මීට පෙර ද 2010 වසරේදී රජයට එරෙහි විරෝධතාවලට සහාය දීම සම්බන්ධයෙන් වසර හයක සිර දඬුවමක් ලැබීමට සහ සෙසු සිනමාකරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීමෙන් පසු 2022 වසරේදී මාස හතක කාලයක් රඳවා තබා ගැනීම ඇතුළු අවස්ථා ගණනාවකට ඔහුට මුහුණ දිමට සිදු උනා. නිල තහනම් තිබියදීත්, අභියෝගාත්මක සහ රහසිගත තත්ත්වයන් යටතේ වුවද පනාහි සිනමා ක්‍ෂේත්‍රයේ සිය වැඩ කටයුතු අඛණ්ඩව කරගෙන ගොස් තිබෙනවා.
Gotham සම්මාන උළෙලේදී, තම ජයග්‍රහණය ස්වාධීන සිනමාකරුවන්ට කැප කරමින් පනාහි ප්‍රකාශ කළේ,
“කිසිදු සහයෝගයක් නොමැතිව, ඇතැම් විට තමන් සතු සියල්ල පරදුවට තබමින්, සත්‍යය හා මනුෂ්‍යත්වය කෙරෙහි ඇති විශ්වාසය පමණක් පෙරදැරිව නිහඬව කැමරාව ක්‍රියාත්මක කරවන සිනමාකරුවන්ට” මෙම සම්මානය කැප කරන බවයි.
(“filmmakers who keep the camera rolling in silence, without support, and at times, by risking everything they have, only with their faith in truth and humanity,")
තවද, ඔහු මෙසේද පැවසීය: “බැලීමට සහ දැකීමට ඇති අයිතිය අහිමි වී ඇති නමුත්, නිර්මාණය කිරීම සහ පැවැතීම දිගටම සිදු කරන සියලුම සිනමාකරුවන්ට මෙය කුඩා උපහාරයක් ලෙස සලකනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”
(“I hope that this dedication will be considered a small tribute to all film-makers who have been deprived of the right to see and to be seen, but continue to create and to exist." )
"It Was Just an Accident" චිත්‍රපටයේ කථා වස්තුව ගෙතී ඇත්තේ, අතීත සිරගත කිරීම්වලදී තමන්ට වධහිංසා පමුණුවා ඇතැයි චෝදනා කරන පුද්ගලයෙකු සමඟ ගැටෙන ඉරාන ජාතිකයන් පස් දෙනෙකු වටා ය. චිත්‍රපටය පිටුපස ඇති සැබෑ ජීවිත ආභාෂය පිළිබඳව පනාහි විවෘතව අදහස් දක්වා ඇති අතර, කතාව ඔහු සිරගතව සිටියදී ඇසූ තොරතුරු සහ "ඉරාන රජයේ ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය" සමඟ ඔහු ලැබූ අත්දැකීම් මත පදනම් වූවක් බව ප්‍රකාශ කළේය.
"It Was Just an Accident" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය>>
මෙම චිත්‍රපටය පසුගිය මැයි මාසයේදී ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී (Cannes Film Festival) ඉහළම සම්මානය වන "Palme d'Or" සම්මනයද ජයග්‍රහණය කිරීමට සමත් විය.
Jafer Panhai විසින් "It Was Just an Accident" චිත්‍රපටය වෙනුවෙන් පසුගිය (2025) කෑන්ස් සිනමා උළෙලේදී "Palme d'Or" සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවේ ඡායාරූපයක්















