ලාංකීය සිනමාවේ 70-80 දශකයන්හි අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම මානව හිතවාදියෙකු, දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගයන් දැයට අහිමි වී අද (16) දිනට වසර 38 ක් ගතවී තිබෙනවා.
1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංගයන් සිනමාවට පිවිසෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙනි.
ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛයාව 120 වන අතර වාණිජ හා කලාත්මක ධරාවේ සිනමාපට රැසක් ඒ අතර වේ.
හිත හොඳ මිනිහෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, යුගාන්තය, මමයි රජා, පෙරළිකාරයෝ, අංජනා, බැද්දේගම, මරුවා සමග වාසේ, පෙම්බර මධු, තුෂාරා , ආදරේ හිතෙනවා දැක්කම , හතරදෙනාම සූරයෝ, මහ ගෙදර , කැඩපතක ඡායා.. වැනි චිත්‍රපට ඒ අතරින් කිහිපයක් පමණි.
1983 සිට 1988 දක්වා අඛණ්ඩව 6 වතාවක් ජනප්‍රියම නළුවා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වීම ඔහුට ලැබුන ජනතා ආදරය මනාව පසක් කරන්නකි.
විශේෂයෙන්ම ඔහු රංගනයෙන් එක් වූ ‘නොම්බර 17’ හා ‘මමයි රජා’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂක සිත් සතන් වලින් කිසිදා අමතක නොවනු ඇත.
එමෙන්ම රංගනයට පමණක් නොව ගායනයට ද සමත්කම් පෑ කුමරතුංගයන් ගැයූ ගග අද්දර, සැරයැටියෙන් අපි යනෙන තුරා, වලාකුලක් ගෙන මුවා කරමු ඉර, උඩුගුවන් සර.. වැනි අතිශය ජනප්‍රිය ගීත 100 කට අධික සංඛ්‍යාවක් වෙයි.
පසුව දේශපාලනයට පිවිසෙන විජය කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුල්වී ක්‍රියාකළේය.
1978 පෙබරවාරී 20 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ දිවියට එළැඹි විජය දෙදරු පියෙකි.
ජනකාන්ත නළුවකු හා ප්‍රතිභාපූර්ණ ගායකයෙක් මෙන්ම මානව හිතවාදී දේශපාලනඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඝාතනයට ලක්වුණි.
ඒ යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් සිදු කළ වෙඩිතැබීමකින්ය.
විජය කුමාරතුංහයන් දැයට අහිමි වී වසර 38 ක් ගත වුවද, ඔහුගේ රංගන ප්‍රතිභාව මෙන්ම ඔහු ප්‍රකට කල මානව හිතවාදීත්වය නිසාවෙන් පරම්පරා ගණනාවක ප්‍රේක්ෂක සිත් සතන් තුළ ඔහු සදා ජීවමාණ වනු ඇත.
මූලාශ්‍ර - අන්තර්ජාල මූලාශ්‍ර, සිනමාවේදීන්















